නොබෝදා දිවි සැරියෙන් සමු ගත් ග්‍රේටා ජෙනට් ද සිල්වා – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
Image Source : vow.lk
“මුනී නන්දන සිරිපාද වඳිම් – සමනල කන්දේ …” යන අමරණීය ගීතයෙන් යුග යුග අප දෙසවන් ප්‍රීනනය කළ ග්‍රේටා ජෙනට් ද සිල්වා ශිල්පිනිය පසුගියදා සිය දිවිසැරියෙන් සමුගත්තාය. ඇය මීගමුව කට්ටුව ප්‍රදේශයේ ජන්ම ලාභය ලබන්නේ 1926 මැයි මස හයවෙනිදාය. 1945 වසරේ හෙන්රි ලුකස් රණසිංහ මහතා සමග විවාහවූ ඇය,දරුවන් පස්දෙනකුගේ මවක වුවාය.
අට හැවිරිදි වියේදී මොහිදින් බෙග් සමග පළමු යුග ගීතය ගායනා කිරීමෙන් ඇය සංගීත ක්ෂේත්රයේ වාර්තාවක් තබන්නීය.
සිංහල ග්රැමෆෝන් යුගයේ,හා පුරා කියා සිය කටහඬ තැටියකට නැංවූ පළමු ගායිකාව මෙන්ම පළමු බයිලා ගායිකාව ලෙසින්ද,ග්‍රේටා ජෙනට් ද සිල්වා මහත්මිය ඉතිහාසයේ අමරණීයත්වයට පත් වේ.
1938 දී ලංකා ෆිල්ම් සමාගමේ ග්රැමෆෝන් තැටියකට, “පානා මේ කුරුලන්ගේ හා මෙරුන් වගේ සතර අතින්” යන විරිදු සුරල්ඇය විසින් පටිගත කරනු ලැබුවාය.
“මුනී නන්දන සිරිපාද වඳිම් -සමනල කන්දේ…”යන ගීතය,ග්‍රේටා ජෙනට් ද සිල්වා ශිල්පිනියගේ මධුර ස්වරය ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම නංවන්නට පාදක විය.
ගුවන්විදුලි
Image Source : facebook
ඇය ජාතික ගුවන්විදුලියෙන් බිහි වූ විශිෂ්ටතම ගායිකාවකලෙසින් අබිසෙස් ලබන්නීය.
ග්‍රේටා ජෙනට් කොළොම්බියා ග්රැමෆෝන් තැටි සඳහා ගීත 30 ට ආසන්න සංඛ්‍යාවක් ගායනා කරමින් රසික දන හද දිනා ගැනීමට සමත් වූවාය.ඇය මෙම ගීත සමුදාය අතරින්, වැඩිම ගීත සංඛ්‍යාවක් ගායනය කර ඇත්තේ බෞද්ධ තේමාවන් කේන්ද්‍රණය කරගෙනය. ඇය උපතින්ම කතෝලික බැතිමතියක් වුවද, ඇය සිත් සතන්හී නිබදවම බුදු දහම කෙරෙහි දැඩි භක්ති ආදරයක් පැවැති බව පැවසේ. ඇස්. ඩී. ස්ටීවන් සිල්වා, මොහිදීන් බෙග්, එඩී ජයමාන්න, ස්ටැන්ලි මල්ලවාරච්චි,වසන්තා සන්දනායක ආදී ප්‍රකට ගායක ගායිකාවන් රැසක් ,ඇය සමග යුග ගී ගායනයට සහභාගි වූහ.
ඇය ගැයු ගීත අතර,තවත් වඩාත් ජනප්‍රිය ගීතයක් වන්නේ, “දුල් සල්වනේ ලකල්”යන කන්කළු ගීතයයි.
ඇය විසින් ඉහත ගීතයට සමානව ගායනා කර ඇති පහත දැක්වෙන ගීතය,නිතර අසන්නට නොලැබෙන දුර්ලභ ගීතයක් ලෙස සැලකේ.
රසික කැළ සහ කලාකරුවන්ගේ මතකයෙන් ගිලිහුණු ග්‍රේටා ජෙනට්-
ග්‍රේටා ජෙනට්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉකුත් මැයි 05 වන දින, මීගමුව, කට්ටුව පොදු සුසාන භූමියේදී සිදුකරනු ලැබීය.යුග යුග සිය ආකස්මික මිහිරි ස්වරයෙන් සුවහස් රසික දනන් සැනහු මෙම අසහාය ගායිකාවගේ අවසන් කටයුතු සඳහා සහභාගී වී ඇත්තේ ඉතා සුළු පිරිසක් බවත්, ඒ අතර කිසිදු කලාකරුවෙක් හෝ රාජ්‍ය නියෝජිතයෙක් නොසිටි බවත් වාර්තාවීම සංවේගය දනවන සුළුය.සුසාන භුමියේදී , ග්‍රේටා ජෙනට්ගේ මිනිබිරියක විසින් කෙරෙන මෙම හෙළිදරව්ව,පහත දැක්වෙන වීඩියෝවෙන් මැනවින් සපතවේ.
සුනිල් වන් අඹරේ සුදිලී, හුදකලාව බැසගිය පුන් සඳක් වන්,ග්‍රේටා ජෙනට් ද සිල්වා ශිල්පිනියට ,ඇය ඇදහූ ආගම අනුව, මෝක්ෂ සුවය ප්‍රාර්ථනා කරමු.
ආචාර්ය ගාමිණී කාරියවසම්.