Former Diyawadana Nilame N. Wijerathna’s Birth Anniversary Celebration-by Gamini Kariyawasam


ඇසළ මහා පෙරහර මංගල්‍යය යෙදෙන අගෝස්තු මාසයේම,09 වන දින, කීර්තිමත් දිය වඩන නිලමේවරයකුවූ නෙරංජන් විජේරත්න ශුරීන් ගේ 70 වන ජන්ම දිනය යෙදී තිබිණි.
. නෙරංජන් විජයරත්න මහතා 1985 වසරේ සිට 2005 වසර දක්වා නිල වශයෙන් වසර 20ක් අඛණ්ඩව දියවඩන නිලමේ ධුරය හෙබවීය. 1975 සිට 1985 දක්වා සිය පියාණන් වූ ආචාර්ය නිශ්ශංක විජයරත්න මහතා දියවඩන නිලමේ ධුරය දැරූ සමයේ, වරින්වර වැඩබලන දියවඩන නිලමේ තනතුර දැරීමට හෙතෙම භාග්‍යසම්පන්න විය.
දෙවන ධූර කාලයෙන් පසු දියවඩන නිලමේ ධුරයෙන් ඉවත් වීමෙන් පසු ඔහු ,මහනුවර මහ නගර සභාවේ විපක්ෂ නායකවරයා ලෙසින්ද කටයුතු කළේය.
නිශ්ශංක විජයරත්න සහ නීටා දුල්ලෑවේ යන දෙමහල්ලන්ට දාව උපන් ඔහු, සහෝදරයන් තිදෙනෙකු සහ සහෝදරියක අතර වැඩිමහල් දරුවා විය.. ඔවුහු මනෝ , අනුරාධ , ලංකේෂ් සහ නිශාංගනී ය. හෙතෙම අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයේ ය .නෙරංජන් විජයරත්න ගේ මුත්තනුවන් වුයේ , කැබිනට් අමාත්‍යවරයෙක් වූ එඩ්වින් විජයරත්න ශ්රීමතුන්ය.
Image Source:Commons.wikimedia
නෙරංජන් ළදරු වියේ ඔහුගේ සීයාවූ ,කැබිනට් අමාත්‍ය ශ්‍රීමත් එඩ්වින් විජයරත්නයන්ගේ සෙනෙහස ලබමින්.
ඔහු වෛද්‍ය ලක්ෂ්මිනාත් සහ චින්තා මැදිවකගේ දියණිය වන දේවිකා මැදිවක සමඟ විවාහ වී සිටින අතර , ඇය ශ්‍රී ලංකාවේ පළමු ජනාධිපති විලියම් ගොපල්ලව ශ්‍රීමතුන්ගේ මිනිබිරියවේ. නෙරංජන් දරුවන් දෙදෙනෙකු ගේ පිය පදවි උසුලයි. දියණිය මෝක්ෂනා නෙරන්දිකා විජයරත්න, ඇමෙරිකාවේ ජ්‍යෙෂ්ඨ පරිසර විශේෂඥ වරියකි.
Image Source:Colombotelegraph
පවුලේ සේයාරුවක්.පුතු නවීන්ද්‍ර විජයරත්න ඇමරිකා එක්සත් ජනපදයේ මහාචාර්යවරයෙකි
Image Source:Commons.wikimedia
දේවිකා මැදිවක කුල කුමරිය සමග අතිනත් ගත් දින.
උත්තරීතර දියවඩන නිලමේ නිලය ආශ්චර්යත්වයෙන් බැබලවූ වියතෙක් ලෙසින්,එතුමාගේ දිවි පෙවෙත ඉතිහාසයේ වර්ණවත්ව සනිටුහන්වේ.
දළදා ඉතිහාසය තුළ දියවඩන නිලමේවරුන්ගේ නාමාවලියේ කාගේත් ගෞරවයට පාත්රවන දියවඩන නිලමේවරුන් අතරෙන් එතුමාට ප්‍රමුඛත්වය හිමිවේ.
එතුමන් දළදා වහන්සේආරක්ෂා කර ගැනීමට කළ කැපවීම මේ දක්වා කිසිදු දියවඩන නිලමේවරයකුගෙන් සිදුවී නොමැත. වාර දෙකක්ම ඔහු දළදා වහන්සේ පිටතට වැඩමවා ත්රස්තවාදීන්ගෙන් දළදා වහන්සේ රැක ගත් අයුරු දන්නේ ඔහු හා සමීපයෙන් ඇසුරු කළ ස්වල්ප දෙනෙකු පමණි.මෙම ලිපිය සකසන මා ද ,එම භාග්‍ය ලද සුළු පිරිසෙන් කෙනෙකි.90 දශකයේ මුල් භාගයේ ,මා මහනුවර නාගරික කොමසාරිස් ලෙස රාජකාරි කළ සමයේ,අප අතර සමීප ඇසුරක් පැවැතිණි. එම වකවානුවේ මහනුවර නාගරික බල ප්‍රදේශය තුළ පොදු සමාජ සංවර්ධන කටයුතු සාධනය උදෙසා එතුමා අපරිමිත අනුග්‍රහයක් ලබා දුන්නේය.එදවස මාලිගා පරිශ්‍රය මැනවින් නඩත්තු කිරීම පිණිස, මහනුවර නගර සභාවේ කම්කරුවන් සමූහයක් නිත්‍ය වශයෙන් ලබා දීමට ද මම පියවර ගත්තෙමි.
1991 වසරේ එතුමා ගේ ඇරයුමෙන් , දළදා රන්දෝලි පෙරහරේ ගමන් ගැනීමේ අසිරිමත් භාග්‍ය මා වෙත උදා විය.එහිදී පෙරහරේ ගමන් ගන්නා විට නෙරංජන් විජයරත්න දියවඩන නිලමේතුමන්ගේ මහේශාඛ්‍ය ගමන් විලාසය,මෙම ලිපිය ලියන මොහොතේ පවා ,මා මනසේ සිත්තම්වේ. ඔහුගෙන් දිස්වූයේ රජෙකුගේ ගාම්භීර ගමන් විලාසයකි.
මෙම මහේශාඛ්‍ය ගමන් විලාසය ඔහු හුරු කරගනු ලැබූ අයුරු වරක් මෙසේ සදහන් කළේය.
Image Source:Gokandytaxi
දළදා මාලිගාව වර්තමානයේ ප්‍රභාශ්වරයෙන් දිදුලන,බැති සිත් සැදැහැයෙන් කුළුගන්වන ස්වරුපයෙන් ප්‍රවර්ධනය කිරීමේ ගෞරවය හිමිවන්නේ නෙරංජන් ප්‍රියදර්ශන, දූරදර්ශී නිලමේතුමා වෙතය. යටගිය දවස කොටි ත්රස්තවාදීන් ගේ බෝම්බ ප්‍රහාරයෙන් මාලිගාව විනාශ කළද, යළිත් දළදා මාලිගාව තිබුණාටත් වඩා ශක්තිමත්ව ප්‍රතිසංස්කරණය කිරීමට නෙරංජන් විජයරත්න මහතා,මහත් කැපවීමෙන් කටයුතු කළේය.
දළදා මාලිගාවේ ඇත් පන්තියට අලුතින් ඇතුන් ගණනාවක් එක්කර ගැනීමට මෙතුමා උත්සුක විය.
දළදා මාලිගාවේ පූජා භුමියේ වපසරිය පුළුල්කර ගැනීමට හැකිවුයේ ,එතුමාගේ උපායශීලීය නිසාය. රැජින හෝටලය දක්වා පූජා භුමියේ සීමා දීර්ඝ කරවූයේ නෙරංජන් නිලමේවරයා ගේ මැදිහත් වීමෙනි. එසේම පත්තිනි දේවාලය අසලින් තිබූ පන්සල් වීදීය වසා එම භුමි භාගය මහමළුවට එක්කළ ඔහු අලුත් මාලිගාව පිටුපසින් තිබූ හේමමාලා පාර වෙනස්කර එයද මාලිගා භුමියටම එක් කරවීමට සමත් විය.
දළදා මාලිගාවේ සංවර්ධනය උදෙසා අරමුදල් භාර කිහිපයක් ස්ථාපිත වන්නේ මෙතුමාගේ මෙහෙයවීමෙනි.
මාලිගා සංවර්ධන අරමුදල, බුද්ධ පූජා අරමුදල, විශ්‍රාම ශාලා අරමුදල, දහම් පාසල් අරමුදල, බෞද්ධ සුභසාධන අරමුදල, දළදා පෙරහර අරමුදල එසේ ස්ථාපිත භාරයන්ය.දෙමහල් කෞතුකාගාරය ද ,මෙතුමාගේ සංකල්පයක් මත නිර්මාණය කෙරිණි. මුරුතැන් ගෙය, දාන ශාලාවද මොහුගේ කාලයේ නිර්මාණයන්ය. මහවැලියට යටවූ ඓතිහාසික ගුරුදෙනියේ අටුව පල්ලෙකැලේ යළි ස්ථාපිත කරවීමට පෙරමුණ ගත්තේ ද මෙතුමාය.
මල්වතු අස්ගිරි මහා විහාරයන්ට උපසම්පදා කාලයේදී පූජා කෙරෙන ආහාර සහ වෙනත් ද්‍රව්‍ය මහ නාහිමිවරුන් සමග ගොස් දුෂ්කර ගම්වල දුප්පත් ජනතාවට බෙදාදීමේ කටයුතු මෙහෙයවුයේ ද මෙතුමාය.
එවකට දළදා තේවාව භාර සිටි, අස්ගිරි ගෙඩිගේ රජමහ විහාරාධිකාරී උඩුවාවල චන්දානන්ද නාහිමිපානන්,මෙම සියලු කටයුතුවලදී මෙතුමන්ට පුර්ණ අනුග්‍රහය ලබාදුන්සේක.
එතුමාගේ යුගයේදී, දළදා මාලිගය දෙස් විදෙස්හි ඉමහත් කීර්තියට පත් විය.එහි ප්‍රතිඵලයක් ලෙසින්,දළදා මාලිගාව වෙත ලෝකයේ විවිධ රටවලින් රජවරුන් බිසෝවරුන් ඇතුළු රාජ්‍ය නායකයන්බොහෝ දෙනෙක් පැමිණියහ.

1991 නොවැම්බර් 08 වන දින ,නිලමේ තුමා මාලිගාව අභියස,බංගාල දේශයේ අගමැතිනි බෙගම් කලිඩා සියා මැතිනිය පිළිගත් අවස්ථාව
දළදා මැදුරේ අභිවෘද්ධිය උදෙසා මෙවන් සුවිසල් කාර්ය සම්භාරයක් ඉටු කළ නෙරංජන් විජේරත්න ශුරීන් මේ වනවිට රඹුක්කන මීදුම වලව්වේ විවේක සුවයෙන් පසුවේ. හිටපු දියවඩන නිලමේතුමන්ට දළදා සමිඳු පිහිටෙන් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරමු.
Image Source:En.wikipedia
නෙරංජන් විජේරත්න මහතා විසින් මහත් ප්රභාශ්වරයක් විහිදූ, දියවඩන නිලමේ තනතුරෙහි ඓතිහාසික පසුබිම පිළිබඳව ද,විචාරාක්ෂිය යොමු කිරීම යෙහෙකැයි හැඟිණි.පාඨක දැනුම නිම් වළලු පුළුල් කරනු උදෙසා එය වැදගත් වනු නිසැකි.
දියවඩන නිලමේ තනතුරේ සම්භවය;
රාජාධිරාජසිංහ රජු සමයේ,මුල්ම දියවඩන නිලමේ ධුරය දරන ලද්දේ ,මොනරවිල කැප්පෙටිපොළ දිසාවගේ පියා වු, ගොලහැල කැප්පෙටිපොළ නිලමේ බව පැරණි තුඩපත් හි සදහනි.ඒ 1720 වසරේදීය. ගොලහැල නිලමේ දළදා මාලිගයේ පඩිපෙළෙන් වැටී මරණයට පත්වූ බැව් පැවසේ..
තුඩපත් යනු ලංකාවේ පෙර රජ දවස රාජ නියෝගයන් අදාළ ප්‍රදේශයේ දිසාවගේ අත්සනින් යුතුව ඉඩම් හෝ යම් දීමනාවන් ප්රදානය කිරීමට තල්පත්වල ලියා නිකුත් කරන ලද ලේඛන විශේෂයක් බැව් සලකා ගැනීම යෙහෙකි.
ගොලහැල නිලමේ විවාහ වී සිටියේ මොනරවිල කුමාරිහාමි සමඟ යි. විවාහයෙන් මේ දෙපළ දියණියක් හා පුතුන් දෙදෙනෙක් ලදහ. දියණිය ඇහැලේපොළ කුමාරිහාමි යි. වැඩිමහල් පුතා මොනරවිල වීර කැප්පෙටිපොළය.
දළදා නිලමේ පරපුර අණු පිළිවෙලින් .>
Image Source:Lankadeepa
අතීතයේ සිටම දළදා මාලිගාවත්, රජ වාසලත් දෙකක් වශයෙන් නොව එකම ගොඩනැඟිලි සංකීර්ණයක් ලෙස පැවතිනි.ඒ අනුව රජතුමාගේ රාජකාරී නිල පත්කිරීමද,එම ආයතන දෙක සදහාම එක ආකාරයකින් සිදුකිරීම සම්ප්‍රදායක්ව පැවතිනි. මහනුවර යුගයේ රජ මාලිගයේ පැවැති නිල නාමයන් හා ශ්‍රී දළදා මාලිගාවේ පැවැති නිල නාමයන් පිළිබඳ තොරතුරු ගවේෂණය කිරීමේ දී ඒ බව මනාව පැහැදිලි වේ. දළදා වහන්සේගේ භාරකරු වශයෙන් සිටි පුරාණතම නිලය දැරූ පුද්ගලයා ධාතු රක්ඛකාධිකාරී යනුවෙන් දාඨා වංශයේ සඳහනි. ධාතුන් වහන්සේ ‘ආරක්ෂා කිරීමේ අධිකාරී නිල බලය’ යන්න එහි අරුතවේ.දියවඩන නිලමේ යන්නට අතීතයේ දියරාළ, දියනිලමේ යනුවෙන් ව්‍යවහාර වී ඇත.
රජතුමා දළදා මාළිගාව වැඳ පුදා ගැනීම සඳහා පැමිණෙන අවස්ථාවන්හිදී, රජුන් දෑතට පැන්වැඩීම සඳහා නිලමේවරයෙකු පත්කර සිටීයේය. ඔහු වෙත රජුගේ දෑත් දෝවනය සිදුකොට දළදා වන්දනය සඳහා රජතුමා සූදානම් කිරීමේ රාජකාරිය පැවරී පැවතිණි.
අතීතයේ පටන්ම රාජ රාජ මහා මාත්‍යාදීන් ශ්‍රී දළදා වහන්සේ උදෙසා ගම් බිම් කෙත්වතු පූජා කොට ඇත. එම ගම්බිම් ඉඩකඩම්වල මනා පාලනයක් ගෙනයාම, ආරක්ෂාකිරිම, එයින් ලැබෙන ආදායම් ඒ ඒ කොටස්වලට බෙදා නිසියාකාරයෙන් පරිපාලනය කිරීම, ශ්‍රී දළදා මාළිගාවේ සිටි දියවඩන නිලමේවරයාට පැවරී තිබූ කාර්යයන් විය. එසේම රජ වාසල සිටි සෙසු නිලධාරීන් හා සේවකයන්ගේ අදාළ රාජකාරී නිසි පරිදි සොයා බැලීමද, පොදු ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් රජවාසලින් ඉටුවිය යුතු කටයුතු සිදුකිරීම ද, සියලු දෙනාගේම ප්‍රශ්න, ගැටලු, නඩුහබ ආදිය සොයා බලා විසඳීමද,වාර්ෂිකව පැවැත් වූ ඇසළ පෙරහර මංගල්‍යයන් නිසියාකාරයෙන් පැවැත්වීමද ඔහුට පැවරුණ කාර්යයන් විය.
දළදා වහන්සේ උදෙසා උදෑසන සහ දවල් තේවා කටයුතු වලදී තේවාවට අවශ්‍ය පැන්, නානු මංගල්‍ය පැවැත්වෙන අවස්ථාවලදී නානු සැකසීම ඔහු වෙත පැවරි සෙසු රාජකාරීන්ය.
දළදා සමිඳුන් වැඳපුදා ගැනීම පිණිස,මතු දළදා මාලිගය වෙත පිය නගන අවස්ථාවන්හිදී , මෙම ඓතිහාසික තොරතුරු සමුදාය ඔබ මතකයට නැගෙනු නිසැකි.
ආචාර්ය ගාමිණී කාරියවසම්.
Gaminee @gmail.com
සේයාරූ දළදා මාලිගාවේ වෙබ් පිටුවේ අනුග්රහයෙනි.







