News & Community eLanka

eLanka

Saturday, 4 Jul 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » එදවස කොළොම්පුරේ ශ්‍රියා – By ආචාර්ය ගාමිණී කාරියවසම්
ArticlesDr. Gamini Kariyawasam

එදවස කොළොම්පුරේ ශ්‍රියා – By ආචාර්ය ගාමිණී කාරියවසම්

eLanka admin
Last updated: August 2, 2023 5:43 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
23 Min Read
SHARE
Views: 38

එදවස කොළොම්පුරේ ශ්‍රියා – By ආචාර්ය ගාමිණී කාරියවසම්

Dr.Gamini Kariyawasam.

old colombo city - elankaකැලණි ගඟේ පැරැණි පාරු පාලම

‘‘පාරු පාලමෙන් කොළඹට – ගැල් පේලිය සැපැත් උනා
ගෑස් පහට ළං වෙනකොට – අපි හොඳටම හවස් උනා
සෙක්කු වීදියේ කම්බා දැක – උඹ මට මතක් උනා
කයිමන් දොර කොඩ ඉදපං – මං එනතුරු සෙලෙස්තිනා
කොළඹ රටේ ඉපදුනාට – මටම ඔබින සෙලෙස්තිනා
බේරෙ වැවට හඳ පෑව්වා වාගේ මට ඔබේ සිනා
කබාකුරුත්තාව ඇඳං – මුතු දෙපොටක් ගෙලේ දමා
සාන්ත බස්තියන් ඇළේ – පාරු පදිමු සෙලෙස්තිනා
පාමංකඩ කවි මඩුවක් – හෙට හවසට පැවැත් වෙනා
ට්‍රෑම් කාර් එකේ ගිහින් – කවි අහමුද සෙලෙස්තිනා
ඉංගිරීසි රැජිණ වගෙයි – මට නං උඹ සෙලෙස්තිනා…’’

 

මෙම ලිපිය කියවීම ආරම්භ කිරීමට පෙර,එදවස කොලොම්පුර සමාජමය සහ  පරිසරයේ භෞතිකමය පැතිකඩ සබැඳි සජීවී චිත්‍රයක් මනසින් ස්පර්ශ කර  ගැනීම පිණිස පහත දැක්වෙන යොමුවට පිවිසීම  ( CLICK  ) මැනවි.

යුරෝපා අධිරාජ්‍යවාදීන් කොලොම් පුර ඉතිරි කර ගිය මග සලකුණු ස්මාරක පිළිබඳව විමංශනාත්මක තොරතුරු සංග්‍රහ කෙරෙන මෙම ලිපිය තත් ගීතයේ පද වැලින් ආරම්භ කළේ, එවක සමාජ  සහ භෞතික පරිසරයේ පැතිකඩක් සංක්ෂිප්තව එමගින් නිරූපනය වන නිසාවෙනි. 

මෙම ගීතය, අප සිත් සතන් නිරායාශයෙන් ම ශතක කිහිපයක් ඇත අතීතය වෙත ගෙන ගොස් එහි රඳවන සුළුය. එවකට යුරෝපීයයන් ගේ ගති සිරිත් කොලොම්පුර දේශීය සමාජය ද දැඩි සේ වැළඳ ගත් අයුරු මෙම ගීතයෙන් සංකේතාත්මකව මැනවින් සජීවීමත් වේ. මෙහිදී කොලොම් පුර මානව සමාජ ක්‍රියාකාරකම් සිතුම් පැතුම් සංස්කෘතිය, සමාජ පරිසරය හැඩ ගැසෙන්නේ විජාතික අභාෂයට අනුගතවය. 

කැලණි නදී නිසලව ගලා බසී. සියනෑ කෝරළේ හද්ද පිටිසර ගමක තරුණයෙක් ගැලක නැගී, කොලොම් පුර වෙසෙන යුරෝපා පන්නෙට හැදුණු සිය සුපෙම්වත් යුවතිය සෙලෙස්තිනා දැක ගැනීමට ගඟ හරහා වූ පාලම් පාරුවෙන් සිදාදියට එතෙර වෙයි. කොලොම්පුරයේ ගෑස් පහට ළඟා වෙද්දී බෙහෙවින් ම හවස් වූ සෙයකි. තරුණයාගේ පෙම්වතිය යුරෝපා ගති සිරිත් වැළඳ ගත්යු වතියක බැව් ඇගේ ඉංගිරිසි ඌරුවට තෝරා ගෙනැති නාමයෙන් ම ගම්‍ය වේ. සෙක්කු වීදියේ දෙපස පිහිටි වෙළෙඳ සැල් අබිමුව දිස්වූ කම්බා සළු පිළි ඔහු මතකයට ගෙනාවේ සිය සොඳුරු සෙලෙස්තිනාවය. මද පමාවකින් හෝ තොරව, මග නොහැරීම ඇය හමුවීම පිණිස යෝග්‍යතම ස්ථානයක් ඔහු සිතෙහි සනිටුහන් වී තිබිණි. එවකට ප්‍රසිද්ධ ස්ථානයක් වූ කයිමන් දොරකඩ රැඳෙන ලෙස ඔහු සිය පෙම්වතියට හෘදයංගයෙන්ම ආයාචනය කරයි. කොළඹ ජන්මලාභය ලැබුවද ඒ ළඳ තමාටම අත්‍යන්තයෙන් ගැලපෙන බැව් හේ පවසයි.

old colombo city - elanka

old colombo city - elanka

බේරේ වැව ඉස්මත්තෙන් නැගී එන සුපුන් සඳ තරුණයාට සිහි ගන්වන්නේ සිය සෙනෙහෙවන්තියගේ ළබැඳි සිනහවයි. යුරෝපීය සමාජයේ කාන්තාවන්ට ආවේනික කම්බා කුරුත්තමින් සැරසී ගෙළ දිදුලන මුතු දෙපටක් පැළඳ බෙරේ වැව් ඉස්මත්තේ සිට සමුදුර බලා ගලා බස්නා ශාන්ත බස්තියන් ඇළ ඔස්සේ පාරු පදින්නට තම සිත තෙරපෙන ආශාව ඔහු ඇයට පවසයි. පසු දින සන්ධ්‍යාවේ, පාමංකඩ මුළු දෙන කවි මඩුවේ වින්දනීය ගායනයෙන් රස විඳ සැනහෙන්නට ට්‍රෑම් කාරයේ නැගී එහි යන්නටද පෙම්වතා ඇයට ඇරයුම් කරයි. සෙලෙස්තිනාවන්ගේ රූප ශ්‍රියාව පෙම්වතාට හැඟෙන්නේ දැනෙන්නේ ඉංග්‍රීසි මහා රාජිනියගේ රූ සිරියට සමාන ලෙසිනි. 

එදවස කැලණි මිටියාවතේ සියනෑ කෝරලයේ සිට කැලණි ගඟ හරහා කොලොම් පුරයට පිවිසීමට පාලම්  පාරුවක් 1822 දී එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාගේ නියෝගයෙන් තොටළඟ ඉදිකරනු ලැබිණි. එහි පසු කාලයේ එනම් 1897 දී ජෝන් ප්‍රේසර් ඉන්ජිනේරුවාගේ සැලැස්මක් මත කළු යකඩ පාලමක් ඉදිකරනු ලැබිණි. වික්ටෝරියා මහා රාජිනියගේ දියමන්ති ජුබිලිය යෙදී තිබුණේ එම වසරෙහි වූ බැවින් එය සැලකිල්ලට ගෙන නව පාලම වික්ටෝරියා පාලම ලෙසින් නම් කෙරිනි.

old colombo city - elanka

පිටකොටුවේ ගෑස් පහ හන්දියට එම නාමය ව්‍යවහාර වන්න වූයේ රාත්‍රී කාලයේ එහි අඳුර පළවා හරින්නට වට රවුමේ දැවැන්ත ගෑස් ලාම්පු පහක් සවිකර තිබීම නිසා යැයි පැවසේ. ඒ ආසන්නයේම පිහිටි 1873 දී බ්‍රිතාන්‍යයන් විසින් ඉදි කරන ලද පැරණි නගර ශාලාවේ දැනට ස්ථාපිත කෞතුකාගාරයෙහි මෙම ගෑස් ලාම්පු පහෙන් එකක් ප්‍රදර්ශනයට තබා ඇත. ගෑස් පහ හන්දිය සමීපයේම පිහිටි සෙක්කු වීදියට එම නම ලැබි ඇත්තේ එහි පොල් තෙල් හිඳීමේ කර්මාන්තය බහුලව සිදු කෙරුනු නිසාය. වීදිය දෙපස පිහිටියේ එවකට තරුණ කතුන් අතර බෙහෙවින් ම ජනප්‍රියව පැවති කම්බා රෙදි අලෙවි සැල්ය. වර්තමානයේ සෙක්කු වීදිය ශ්‍රී කදිරේසන් වීදිය ලෙසින් හැදින්වේ. 

old colombo city - elankaගෑස්පහ හන්දිය 

‘‘අපේ කොළඹ නැව් තොටට සුදු ඡවි වර්ණයෙන් යුතු විචිත්‍රවත් මිනිසුන් වර්ගයක් ගොඩ බැස සිටී. ඔවුන්  කබා ඇඳ යකඩ තොප්පි පැළඳ සිටී. විනාඩියක් එක තැනක විවේක නොගෙන එහේ මෙහේ දුව ඇවිදිති. ඔවුන්  ගල් කැබලි කා ලේ බොති. එක මාළුවෙක් හෝ දෙහි ගෙඩියක් සඳහා ඔවුන් රන් රිදී කැබලි දෙක තුනක් ලබා දේ. ඔවුන්ගේ කා තුවක්කු වලින් යුගන්ධාර පර්වතය පුපුරා යවන සුළු හඬ පතුරුවන වෙඩි නිකුත් වේ….’’

වීර පරාක්‍රමබාහු නිරිඳුන් වෙත පැමිණි පණිවිඩ කරුවකු මෙරටට ගොඩ බට පෘතුගීසින් පිළිබඳව නිරිඳුන් දැනුවත් කළ අපූර්වතාව රාජාවලී කතුවරයා සනිටුහන් කරන්නේ ඒ අයුරිණි. 1505 දී මෙලෙසින් ශ්‍රී ලංකාවට ගොඩ බට පෘතුගීසින් 1658 දක්වා පුරා වසර 153 ක් කොලොම් පුරවරයෙහි සිය ආධිපත්‍ය පැතිර වූහ. මෙම කාල වකවානුව තුළ කොලොම් පුරවරයෙහි ඔවුන් නිර්මාණය කළ භෞතික සිහිවටන නගරයෙහි තැන තැන දැකිය හැකිය. පෘතුගීසීන්ට පසුව අනුපිළිවෙලින් මෙරට ප්‍රදේශ ආක්‍රමණය කළ ලන්දේසි සහ බ්‍රිතාන්‍ය ජාතිකයින් ද ඒ අයුරින්ම නිම කළ භෞතික ඉඳිකිරීම් රාශියක් කොලොම් පුරවරයෙහි විද්‍යාමානිතය. ඓතිහාසික වැදගත් කමක් සහිත එවන් නිර්මාණයන් පිළිබඳව විමසා බැලෙන මෙම ලිපිය, ඇතැම් දේශ මාමකයන් තුළ කිසියම්කෝ පාග්නියක් දැල්වීමට ද කිසියම් ප්‍රවණතාවක් පවතිනු නිසැක. අප දේශයට වින කළ, දේශීය සංස්කෘතියේ කළු පැල්ලම් තැවරූ, දේශීය ආර්ථික ශාරය උකහා ගත් යුරෝපීය ආක්‍රමණිකයින් ගේ ස්මාරක පිළිබඳව විමසා බැලීම නිරර්ථක ප්‍රයත්නයක් ලෙසින් ඇතැම් දේශ ප්‍රේමී පාඨකයින් තුළ, මෙහිදී කිසියම් කුහුලක් මතුවනු නොවැළක්විය හැකිය. අධිරාජ්‍යවාදී යුරෝපා ජාතීන් නිර්මාණය කළ ද ඒවා දැන් ලංකාවේ ඉතිහාසය හා බද්ධ වූ ඓතිහාසික වස්තූන්ය. අප දේශයේ ඉතිහාසය හැදෑරීමේදී, අනුරපුර පොළොන්නරු වන් අපරාජිත යුගයන්හි නිර්මිත උත්තරීතර ස්මාරක මෙන් ම, දකුණු ඉන්දීය දමිළ ආක්‍රමණිකයින් මෙරට ඉතිරිකර ගිය ස්මාරක ද හැදෑරීමේ අවශ්‍යතාව ද මීට සමානය. දේශීය ඉතිහාසය හැදෑරීමේ ගතික ස්වභාවය එයයි. 

පෘතුගීසී යුගයෙහි කොලොම් පුර. අධිරාජ්‍යවාදී තුන් යුගය අතරින් මුලින්ම අප විමසුමට බඳුන්වන්නේ පෘතුගීසී යුගයෙහි ඉපැරණි ස්මාරක සමූහය වෙතය පෘතුගීසීන් කොළම් තොටට පැමිණෙද්දී, නැවේ කුඹ ගහ අතරින් දිස්වූ, වරාය ආසන්නයේ පිහිටි කුඩා කඳු ගැටය වෙත ඔවුන්ගේ විශේෂී අවධානය යොමු විය. ඔවුහු තම ප්‍රථම ලංකාගමනය සනිටුහන් කිරීම පිණිස මෙම ගල් කුල මත පෘතුගාල රජතුමාගේ රාජකීය ලාංඡනය සහ ඊට ඉහළින් කුරුසයක් කෙටුම්පත් කළහ. තමන්ගේ ආරක්ෂක ශාන්තුවර ශාන්ත ලෝරන්ස් නමින් එම කඳු ගැටය නම් කළ පෘතුගීසීන් ඒ ආශ්‍රිත බිම් තීරුවේ ඒ නමින්ම පල්ලියක් ද ඉදිකළහ. පෘතුගීසි කණ්ඩායමේ නායකයාගේ නමත් ලෝරන්ස් වීම මෙම නම් කිරීමට තවත් හේතුවක් වූ බැව් පැවසේ. 1518 දී ඉදිකරන ලද පෘතුගීසීන් ගේ පළමු බලකොටුව සැන්ට් බාබරා ලෙස හැඳින්වේ. ඔවුන් පසු කාලයේ එය අත්හැර 1554 දී නව බලකොටුවක් ඉදිකර ආරක්‍ෂාව තර කරනු ලැබිණි. 1655-56 වටලෑමේදී ලන්දේසීන් විසින් පෘතුගීසි බලකොටුව විනාශ කරන ලදී. දැනට ඉතිරිව ඇති එම බලකොටුවේ පැරණි බිත්තියක් කොටුව නාවික හමුදා කඳවුර තුළ දැකගත හැකිය. පෘතුගීසීන් විසින් පල්ලි කිහිපයක් කොලොම් පුරයෙහි ගොඩනගනු ලැබීය. සාඕ ෆ්රෑන්සිස්කෝ, සාඕ පවුලෝ, සාඕ ඩොමින්ගෝ, සාඕ ලොරෙන්කෝ යන දේවස්ථාන ඒ අතර ප්‍රධාන ස්ථානයක් ගනී. ලන්දේසීන් එම පල්ලි බොහොමයක් විනාශ කළ අතර දැනට කොළඹ නගරයෙහි පෘතුගීසීන් ඉදිකළ පල්ලි දක්නට ඇත්තේ ස්වල්පයකි. ශාන්ත පාවුළු දේවස්ථානය 16 වැනි සියවසේදී පෘතුගීසීන් විසින් ගොඩනඟන ලද රෝමානු කතෝලික දේවස්ථානයකි. එය හැඳින්වූයේ අපේ ආශ්චර්යයන්ගේ දෙව් දුව (Nossa Senhora Dos Milagres) යනුවෙනි. මිලාගිරිය යනු ප්‍රාතිහාර්ය යන අර්ථය ඇති මිලාග්‍රෙස් යන පෘතුගීසි වචනයෙන් සිංහලට අනුහුරුවූ නාමයක් සේ සැලකේ. එවකට දේවස්ථානය අසල පැවති ළිඳක ජලය ආශ්චර්යමත් සුව කිරීමේ ගුණ ඇති බව ප්‍රකටව පැවතිණි.

old colombo city - elankaගෝර්ඩන් උද්‍යානයේ පෘතුගීසී ස්මාරකය තැන්පත් කර තිබෙන අයුරු

බ්‍රිතාන්‍ය රාජ්‍ය නිලධාරීන්, පෘතුගීසීන් සිය ප්‍රථම ලංකා ගමන සිහිපත් කරන්නට ඔවුනගේ රාජ්‍ය ලාංඡනය කෙටූ ගල් කුටියෙහි ඓතිහාසික වැදගත්කම අවබෝධකර ගත්හ. ඒ අනුව ඔවුහු, 1912 දීතත් ගල් කුල කොළඹ කොටුවේ රජ ගෙදර ආසන්නයේ ගෝර්ඩන් උද්‍යානයේ තැන්පත් කිරීමට පියවර ගති. පසු කාලයේදී ගෝර්ඩන් උද්‍යානයට මහ ජනතාවට පිවිසීමේ අවසර අහිමි වූ හෙයින්, මෙම පෘතුගීසි ස්මාරකය කොළඹ වරාය පරිශ්‍රයේ ස්ථාපනය කරනු ලැබිණි. එය මහ ජනයාට පහසුවෙන් දැක ගත හැකි ස්ථානයක තැන්පත් කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුවීම යෙහෙකි. 

 

ලන්දේසී යුගයේ කොලොම්පුරය.  පෘතුගීසීන්ගේ තාඩන පීඩන වැඩිදුරටත් ඉවසනු නොහැකිවූ සිංහල පාලකයින්, ඔවුන් පලවා හැරීම පිණිස ලන්දේසීන්ගේ අනුග්‍රහය පැතීය. අපේක්ෂාවන්ස පුරාලනු පිණිස ලන්දේසීහු දෙවැනි රාජසිංහ රජු සමඟ 1638 මැයි 23 දින උඩරට ගිවිසුම  අත්සන් කළහ.  අනතුරුව 1658 සිට 1796 දක්වා වසර 138 ක් මෙරට ප්‍රදේශයන් කිහිපයක් ලන්දේසි ආධිපත්‍යයට නතුව පැවතිනි. එම වසර 138 තුළ කොලොම් පුරවරයෙහි ලන්දේසීන් විසින් නිර්මාණය කරන ලද ස්මාරක ගොඩනැගිලි කෙරෙහි අපගේ මීළඟ විමසුම යොමුවේ.

old colombo city - elankaලන්දේසීන් නිර්මාණය කළ කොළබ බලකොටුව 

( Demolition of the Dutch Fort, Colombo c.1865Source : www.imagesofceylon.com )

පෘතුගීසීන් පලවා හැර ලන්දේසි ආධිපත්‍යය වෙරළබඩ කලාපයේ පැතිරීමත් සමග, නැව් තොට යාබදව පැවති කුඩා ගල් කුල ආසන්නයේ පෘතුගීසීන් ඉදි කළ ශාන්ත ලෝරන්ස් පල්ලිය කඩා බිඳ දමනු ලැබුවේ පෘතුගීසි පාලනය මේ දිවයිනෙන් සහමුලින්ම පහ කළ බව සංකේතවත් කරමිනි. ලන්දේසීහු තම ජන්ම ආගමවූ ක්‍රිස්තු ධර්මය ඇදහීම හා මෙරට ප්‍රචලිත කිරීම පිණිස පිටකොටුවෙහි වුල්ෆොන්ඩාල් උස් බිමෙහි ග්‍රීක කුරුසියක ස්වරූපයෙන් ඉදි කළ දෙව් මැදුර, කොලොම් පුරයෙහි පිහිටි දැවැන්ත ලන්දේසි සිහිවටනයක් ලෙස සැලකේ. වුල්ෆොන්ඩාල් යන නම පසුබිමේ රසවත් වෘතාන්තයක්  සැඟවී පවතී. මෙම පල්ලිය ඉදි කළ උස්බිම සහ ඒ අවට අදින් වසර 270 ට පමණ පෙර කුඩා ළඳු කැලෑවකින් වැසී පැවතිනි. එම වන පෙත නරි රංචු බෙහෙවින් ගැවසුණු බවත්, වෘකයන්ගේ ස්වරූපයට සමාන වූ එම සතුන් ලන්දේසීන් අවබෝධ කරගෙන සිටියේ ඕලන්දයේ තමන් දැක පුරුදු වෘකයින් ලෙසිනි. ඒ අනුව ඔවුහු මෙම ප්‍රදේශය ලන්දේසි බසින් වෘක නිම්නය යන අරුත් දෙන වුල්ෆොන්ඩාල් යන නමින් හැදින්වූහ. 1749 දී ආරම්භ වූ පල්ලියේ ඉදිකිරීම් අවසන් කිරීමට වසර අටක්ග ත විය. 1757 මාර්තු 6 වැනි දින එය මැතියස් වර්මෙල්ස්කර්චර් පියතුමා විසින් මහජන නමස්කාරය සඳහා කැප කරන ලද බැව් එහි සිහිවටන පුවරුවෙහි සඳහනි. මෙම දේවස්ථානයේ පසෙක, මියගිය ලන්දේසි ආණ්ඩුකාරවරුන්ගේ සහ ප්‍රභූන් ගේ ඉපැරණි සොහොන් කොත් රාශියක් ද දැක ගත හැකිය. 

old colombo city - elankaවුල්ෆොන්ඩාල්  පැරැණි පල්ලිය

කොළඹ ප්‍රින්ස් වීදියේදී ධවල වර්ණ, ගෝලාකාර ප්‍රතාපවත් පෙනුමෙන් යුත් කුලු‍ණු මත රැඳුණු, රත් පැහැ උළු සෙවනිත ගොඩනැගිල්ල, එම වීදියට පිවිසෙන ඕනෑම පුද්ගලයකුගේ ක්ෂණික අවධානයට යොමුවේ, 1692 වසරේදී ලන්දේසී යටත් විජිත ආණ්ඩුකාර වෑන් රයිගේ නිල නිවස ලෙසින් භාවිතා වී ඇත්තේ මෙම ගොඩනැගිල්ලය. මැද මිදුළ පැතිරී උද්‍යානය සිත් ඇදගන්නා සුළුයි. උද්‍යානයේ කෙළවර පැරණි ළිඳකි. 1932 දී එහි පිටකොටුව තැපැල් කාර්යාලය පවත්වා ගෙන ගිය අතර පසු කාලයේ එය ලන්දේසී කෞතුකාගාරයක් බවට පත් විය. එහි ඓතිහාසික ලේඛන, ඡායාරූප, කාසි, වීදුරු භාණ්ඩ, පිඟන්, ආයුධ, ගෘහ භාණ්ඩ ආදී පැරණි ලන්දේසි කෞතුක භාණ්ඩ රාශියක් ප්‍රදර්ශනය කෙරේ. බේරේ වැව ද පෘතුගීසීන් සහ ලන්දේසීන් විසින් කොලොම් පුර තබා ගිය ජීවමාන ස්මාරකයක් ලෙසින් සැලකිය හැකිය. මුලින්ම පෘතුගීසීන් 1521 දී කුඩා වැවක් ලෙස බේරේ ජලාශය ඉදි කර ඇත්තේ තම බළකොටුව හා කොළඹ නගරය ගොඩබිම දෙසින් එන සතුරු ආක්‍රමණ වලින් ආරක්ෂා කරගැනීමේ අපේක්ෂාවෙනි. මුල් අවදියේ බේරේ වැව ආශ්‍රිතව ඇළ මාර්ග කීපයක් නිර්මාණය කර තිබුණු අතර, වර්තමානයේ ඒ අතරින් ඉතිරිව පවත්නේ සාන්ත බස්තියම් ඇළ පමණි.

old colombo city - elankaබේරේ  වැව 

බේරේ වැවට එනම ලැබුණු අයුරු පිළිබඳව මත දෙකක් ජනප්‍රවාද ගතය. මෙම වැව නිර්මාණය කළ  බෙයිරා’ නම් පෘතුගීසි ඉංජිනේරුවරයාගේ නම ස්මරණය පිණිස ඔහුගේ නමින් වැව හඳුන්වන්නට වූ බැව් පළමු ජන විශ්වාසයයි. වැව් සොරොව්වේ කැණීම් කිරීමේදී ග්‍රැනයිට් පුවරුවක් හමුවූ බැව් පැවසේ. එහි ‘ඩී බියර් 1700’, යන වදන කෙටුම්පත් කර තිබිණි. ඒ අනුව වැව නිර්මාණයෙහි හෝ ප්‍රතිසංස්කරණයෙහි මූලිකත්වය ගෙන කටයුතු කළ ඩී බියර් නම් ලන්දේසි ඉංජිනේරුවරයා සිහිපත්කි රීම පිණිස එම නාමය මෙම වැව හැඳින්වීම පිණිස ව්‍යවහාරයට පත්වූ බව දැනට ප්‍රචලිත දෙවැනි ජන විශ්වාසයයි. ආරම්භයේදී එම වැවෙහි ප්‍රමාණය හෙක්ටාර් 162 ක් ව පැවතිණි. පසු කාලයේ නොයෙකුත් අවශ්‍යතා සඳහා වැව ගොඩ කරන ලදුව දැනට මෙහි ප්‍රමාණය හෙක්ටයාර් 65.4 ට සීමාව පවතී. 

ඕලන්දය, ඇළ මාර්ග සංවර්ධනය පිණිසත්, ඇළ මාර්ග ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධයෙනුත් විශේෂඥ දැනුමකින් යුත් රටක් සේ සැලකේ. ලන්දේසීන්ගේ ජන්ම භුමිය වුයේ ද ඕලන්දයයි. ඔවුහු තමන් ඕලන්දයෙදී ප්‍රගුණ කරන ලද ජල විද්‍යාත්මක ඉංජිනේරු ශිල්පීය ක්‍රම (hydraulic engineering techniques) උපයෝගී කර ගෙන අප දේශය තුළ ද ඇළ මාර්ග ඉදිකිරීම සඳහා දැඩි උනන්දුවකින් ක්‍රියා කළහ. ලන්දේසීහු කොළඹ කොටුවේ දැඩි ආරක්ෂාව සඳහා කොටුව ගොඩබිමෙන් වෙන් කිරීමට උපායශීලී වූහ. බේරේ වැවට උතුරින් හා දකුණින් පිහිටි ඇළ මාර්ග ද්වයක් සංවර්ධනය කර ඒවා කොටුව මැදි කරමන්, මුහුද සමඟ සම්බන්ධ කරනු ලැබිණි. ගොඩබිම සහ කොටුව අතර සියලු‍ම ප්‍රවාහන කටයුතු ඇළ මාර්ගයෙන් බෝට්ටු භාවිතයෙන් සිදු කර ගැනීමට  තරම් ලන්දේසීහු තීක්ෂණ වූහ. 

බේරේ වැවේ සිට එක් ජල මාර්ගයක් වූ ශාන්ත ජෝන් ඇළ සමුදුර වෙත ගලා ගියේ සුප්‍රකට කයිමන් දොරකඩ හරහාය. එවකට බේරේ වැවේ බහුලව සිටි මිනී කන කිඹුලන් මෙම ඇළ මාර්ගය දිගේ නිරතුරුවම මිනිසුන් ගැවසෙන කයිමන් දොරකඩ වෙත ඇදී ආහ. පෘතුගීසී පාලකයින්, බරපතළ වැරදි සිදු කළ බවට ඔප්පු වූ විතිකරුවන් එල්ලා මරණයට පත් කළේ ද කයිමන් දොරකඩ බව පැවසේ. එසේ මරා දමන ලද චූදිතයන්ගේ සිරුරු ශාන්ත ජෝන් ඇළ මාර්ගය ඔස්සේ මුහුදට පාකර හරිනු ලැබිණි. බෙරේ වැවේ කයිමන් දොරකඩ අසළ ශාන්ත ජෝන් ඇළ දෑලේ කිඹුළන් බහුලව ගැවසීමට එය ප්‍රධාන හේතුවක් විය. පෘතුගීසීන් මුල සිටම පුර්ටෙ රෙයිනා (බිසෝ දොරටුව) යන නමින් හැඳින්වූ මෙම දොරටුව ලන්දේසීන් හැඳින් වූයේ කයිමන් දොරකඩ යනුවෙනි. කයිමන් යන ලන්දේසි වදනෙන්කි ඹුළා යන අරුත ද්වනිතවේ. ඒ අනුව කයිමන් දොරකඩ (KAYIMAN GATE) යන්නෙන් කිඹුළා පිවිසෙන දොරටුව ලෙසින් අනාදිමත් කාලයක සිට මෙම ස්ථානය හැඳින්වෙන්නට විය. ලන්දේසීන් විසින් මෙම ස්ථානයෙහි ආරුක්කු හැඩයෙන් යුක්ත ගල් කුළුනක සුවිසල් ඝාණ්ටාරයක් ස්ථාපනය කරන ලදී. කෝට්ටේ බුවනෙකබාහු නිරිදුන් වෙතින් ලන්දේසීන් ලද ත්‍යාගයක් ලෙස සැලකෙන ‘මෙම ඝාණ්ටාරය සවි කළ කුලු‍ණ අද දවසේ පවා පිට කොටුවේ පරණ නගර සභා ගොඩනැගිල්ල ආසන්නයේ දැක ගත හැකිය. ලන්දේසීන් කිසියම් නිවේදනයක් ජනතාවට දැන්වීමට පෙර, ඔවුනගේ අවධානය යොමු කර ගැනීම පිණිස මෙම ඝණ්ටාව නාද කළ බව පැවසේ. පසුකාලීනව මෙරට පාලන බලයට පත්බ්‍ රිතාන්‍යයන් පවා රාජකීය නිවේදන ජනතාවට සන්නිවේදනය කිරීමට පූර්වයෙන් මෙම ඝාණ්ඨාරය හැඬවූහ. 1926 ජනවාරි 21 වන දින පස් වැනි ජෝර්ජ් රජුගේ අභාවය ජනතාවට නිවේදනය කිරීම පිණිස බ්‍රිතාන්‍ය පාලකයින් විසින් ද මෙම ඝාණ්ඨාරය නාද කරවූ බැව් වාර්තා ගතය. 

කොලොම් පුරයේ වර්තමානයෙහි පවා ව්‍යවහාරිත බොහෝ වීදි හා නගර නාම හඳුන්වා දීමෙහිලා ද ලන්දේසීන් මුල්වී ක්‍රියා කළහ. 1655 ලන්දේසි බළඇණියේ නායක ජෙනරාල් පීටර්සූන් හල්ෆ්ට්නි රීක්ෂණ චාරිකාවක් සඳහා බළකොටුවෙන් පිටතට පැමිණි අවස්ථාවක පෘතුගීසි භටයෙක් තැබූ වෙඩි පහරකට ලක්ව එතනම මිය ගියේය. ජෙනරාල් හල්ෆ්ට්ගේ නිවස හා අණදෙන මූලස්ථානය පිහිටා තිබූ කුඩා කඳුගැටය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය, ඔහු සිහිවීම සඳහා ලන්දේසීන් විසින් හල්ෆ්ට්ස්-ඩෝර්ප්ය නුවෙන් හඳුන්වන්නට වූහ. වර්තමානයේ උසාවි සංකීර්ණය පිහිටියේ මෙම පෙදෙසෙහිය. 

හල්ෆ්ට්ස්-ඩෝර්ප් පල්ලිය.

වත්මනෙහි බ්ලූමැන්ඩල් ලෙස හඳුන්වන නාගරික ප්‍රදේශයෙහි, ලන්දේසි යුගයේදී පැතිරි තුරු යායන්නි රතුරු මලින් ගැවසී පැවතිණි. ලන්දේසි බසින්, නිතරම මල් පිපී ඇති නිම්නය යන අරුත් දෙන බ්ලූමන්ඩාල් යන නාමය එම පෙදෙස හැඳින්වීමට යොදා ගත්හ. කොම්පඤ්ඤ වීදිය පෙදෙස එනමින්හ ඳුන්වා දුන්නේ ද ලන්දේසීන් විසිනි. එම පෙදෙසේ ලන්දේසීන්ගේ (ඕලන්ද) ලස්කිරිඤ්ඤ හමුදා ඛණ්ඩයක් හෙවත් ලස්කිරිඤ්ඤ කොම්පැණියක් (lascarin compagnie) ස්ථාන ගත කර තිබිණි. කොම්පැණි වීදිය, කොම්පඤ්ඤ වීදිය ලෙසින් සිංහලට අනුවර්තනය වූ බවත් පැවසේ. 

බ්‍රිස්ටල් වීදියේ කොමර්ෂල් බැංකු පරිශ්‍රයේ පිහිටි ඩෙල්ෆ්ට් ද්වාරය ද අප මතකයට ගෙනෙන්නේ ලන්දේසි යුගයයි. ඩෙල්ෆ්ට් ගේට්ටුව කොළඹ ලන්දේසි කොටුවට ඇතුළු වන ප්‍රධාන පිවිසුම් තුනෙන් එකක්වූ  බැව් හඳුනා ගෙන ඇත. 

බ්‍රිතාන්‍ය යුගයේ කොලොම් පුර .1795 වර්ෂයේ අගෝස්තු මාසයේ ඉංග‍්‍රීසි හමුදාව ලන්දේසීන් සතුව තිබූ ත‍්‍රිකුණාමල වරාය අල්ලා ගැනීමෙන් පසුව රොබට් ඇන්ඩෲස් උඩරටට ගොස් රාජාධිරාජසිංහ රජු මුණගැසුණි එහි දී ලන්දේසින් පලවා හැරීමට ඉංග‍්‍රීසීන්ට ආධාර ලබා දීමට රජු එකඟ විය. සිංහල හා ඉංග්‍රීසි සේනා එ්කාබද්ධව ඉතා පහසුවෙන් ලන්දේසින් මෙරටින් පළවා හැරීමට සමත් වූහ. 1815 සිට 1948 දක්වාවූ වසර 133 ක් මෙරට පැවති බ්‍රිතාන්‍ය ආධිපත්‍යයේ සලකුණු ඔවුන් විසින් නිර්මාණය කළ විවිධ භෞතික ඉදි කිරීම් තුළින් දුට හැකිය.

උතුරු දිශාගතව පිහිටි කොළඹ වරාය සහ දකුණු දිශාගතව විහිදී බේර වැව අතර පිහිටි ලන්දේසින්වි සින් ද පවත්වා ගෙන ගිය පෘතුගීසි ප්‍රථම බලකොටුව බ්‍රිතාන්‍ය පාලකයින් විසින් එහි ඓතිහාසික වැදගත්කම සැලකිල්ලට නොගෙන නගරය පුළුල් කිරීම පිණිස 1870 දී කඩා බිඳ දමන ලදී. බල කොටුව විද්‍යාමාන නොවුනද වර්තමානයේ පවා කොළඹ කොටුව යනුවෙන් හැඳින්වෙන්නේ එම ප්‍රදේශයයි. යාපනය සහ ගාල්ල වැනි ප්‍රදේශයන්හි අධිරාජ්‍යවාදීන්ගේ බලකොටු ඒවායෙහි පවත්නා ඓතිහාසික වැදගත්කම සලකා සංරක්ෂණය කරනු ලැබිණි. කොටුව චැතම් වීදියේ ඔරලෝසු කණුව අධිරාජ්‍ය යුගයේ ‘ප්‍රදීපාගාරයක් ලෙසින් ‘ක්‍රියාත්මක විය. වත්මන් ‘ජනාධිපති මන්දිරය බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන්ගේ නිවහන ලෙසින් භාවිතයට ගැනිණි. 

old colombo city - elanka

කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ කෞතුකාගාර භූමි භාගයේ දක්නට ලැබෙන වික්ටෝරියා හා රාජිනියගේ ප්‍රතිමාව, බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වාදීන්, ඔවුන්ගේ මහා රැජිණිය වෙත යටත් විජිතයේ ජනතා බුහුමනට බඳුන් කිරීමේ අපේක්ෂාවෙන් ස්ථාපිත කරන ලද්දකි. 

victoria

1887 ජූනි 20 වැනිදා වික්ටෝරියා මහා රාජිණිය තමන්ගේ පාලන කාලය අවුරුදු 60 ක් සැපිරීම වෙනුවෙන් මහා බ්‍රිතාන්‍යයේ මෙන්ම තම යටත් විජිතයන්හීත් රිදී ජුබිලි ජයන්තිය පැවැත්වීමට රාජ්‍ය ආඥාවක් නිකුත් කරනු ලැබුවාය. 

එම උත්සවය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ මෙන්ම සිය යටත් විජිතවලත් ජනතා ආකර්ෂණය පිණිස ප්‍රදර්ශනයට තමාගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමා නිර්මාණය කරවීමට වික්ටෝරියා මහා රාජිණියගේ උදෙස් මත සිදුවූ බැව් පැවසේ. මාර්බල් වලින් නිර්මිත, එම ප්‍රතිමා සමූහයෙන් එකක් ලංකාවට එවනු ලැබිණි. මෙම ප්‍රතිමාව ගෝර්ඩන් උද්‍යානයේ ස්ථාපිත කර, ජුබිලි උත්සවය යෙදී තිබූ 1902 ජූනි 25 වෙනිදා නිරාවරණය කරනු ලැබිණි.

ගෝර්ඩන් උද්‍යානය,එවකට ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ශ්‍රීමත් ආතර් හැමිල්ටන් ගෝර්ඩන්ආ ණ්ඩුකාර නිල නිවස ආසන්නයේ පිහිටි අක්කර 4 ක වපසරියකින් යුක්ත භූමි භාගයකි. මහජනතාවට විවෘත පොදු උද්‍යානයක්ව පැවති ගෝර්ඩන් උද්‍යානය, 1980 දී ජනාධිපති මන්දිරයේ කොටසක් බවට පත් කිරීමත් සමග එම උද්‍යානයට පිවිසීමට මහා ජනතාවට තිබුණු ඉඩ ඇවිරිණි. 

එහි ප්‍රතිඵලයක් ලෙසින් ‘වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාව 2006 වර්ෂයේදී එතැනින් ඉවත් කර ජාතික කෞතුකාගාර භූමියේ ස්ථාපනය කිරීමට සිදුවිය. 1864 දී ඉදි කළ ගාලු‍ මුව දොර හෝටලය ද බ්‍රිතාන්‍ය යුගයේ නිර්මිත, වික්ටෝරියානු සහ ගොතික් සම්ප්‍රදායන් ප්‍රකට කරවන සුළු ආකර්ශනීය ගොඩනැගිල්ලකි. එය සැලසුම් කර තිබුණේ සාමාන්‍ය බ්‍රිතාන්‍ය තානායමක ස්වරූපයෙනි.

old colombo city - elanka

බ්‍රිතාන්‍ය පුනරුද ගෘහ නිර්මාණ ශිල්පයේ ශ්‍රේෂ්ඨ නිමැවුමක් ලෙසින් කොළඹ ජාතික කෞතුකාගාරයට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. ශ්‍රීමත් විලියම් ග්‍රෙගරි ගේ සැලැස්මකට අනුකූලව ඉදිකරන ලද මෙම කෞතුකාගාරය 1877 වසරේ ජනවාරි  1 දින  විවෘත කරනු ලැබිණි.

එඩින්බරෝ වෙළඳපොළ

1873 දී විවෘත කරන ලද, පිටකොටුව නගරයෙහි පිහිටි පැරණි නගර ශාලාවේ ගෘහ නිර්මාණ ශිල්පය,නව-ගොතික් ගොඩනැගිලි ලක්‍ෂණ වලින් අනූන විය. එහි උස් ආරුක්කු සහ වාත්තු යකඩ තීරු සිත් ඇදගන්නා සුළුය. පැරණි නගර ශාලාව අසල ඉදිකර ඇති එඩින්බරෝ වෙළඳපොළ විවෘත කරන ලද්දේද 1873 වසරේදීය. මෙම ගොඩනැගිල්ලෙහි පැරණි බ්‍රිතානයන් වාස්තු විද්‍යාත්මක ලක්ෂණ දැක ගත හැකිය.

old colombo city - elanka

බ්‍රිතාන්‍යයින් 1906 දී කොටුව කාගිල්ස් ගොඩනැගිල්ල ඉදිකළේ එංගලන්තයේ සාප්පු සංකීර්ණයකට අනුරූප වන පරිද්දෙනි. කොළඹ විශ්ව විද්‍යාල පැරණි ගොඩනැගිලි සංකීර්ණය ද බ්‍රිතාන්‍ය යුගයෙහි නිර්මාණයකි. කොළඹ පැරණි දුම්රිය පර්යන්තය 1858 දී ඉදි කරන ලද්දේ ද වික්ටෝරියානු ගෘහ නිර්මාණ ශිල්පය අනුව යමිනි. 1908 දී එම පර්යන්තයට යාබදව කොටුව දුම්රිය ස්ථානය ඉදි කරන ලද්දේ ද බ්‍රිතාන්‍යයන් විසිනි. 

old colombo city - elankaඑදා ට්‍රෑම් කාර්

දුම්රිය පෙට්ටියකට සමාන, මහා මාර්ගයේම පීලි දෙකක් මත දිවෙන විදුලි ට්‍රෑම් කාරය ද මෙරට ප්‍රවාහනය සඳහා හඳුන්වා දෙනු ලැබුවේ බ්‍රිතාන්‍යයන් විසිනි. 1900 ජනවාරි 13 වැනි දින ට්‍රෑම් රථ මහජනතාවට විවෘත විය. ශ්‍රී ලංකාවේ 1950 ගණන්වලදී ට්‍රෑම් රථ ධාවනය නතර වූයේ ට්‍රොලි බස් සේවාව හඳුන්වා දීමෙන් අනතුරුවය.

1948 පෙබරවාරි 04 වැනි දින බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලන යුගය නිමා කරමින් අප ලද ස්වාධීනත්වය සංකේතවත් කරන නිදහස් අනුස්මරණ මන්දිරය පිළිබඳ වූ පාඨක මතකය අලුත් කරමින් ස්මාරක පිළිබඳව වූ මෙම ලිපිය නිමා කිරීමට අදහස් කළෙමි. ශ්‍රී ලංකාවේ දීර්ඝ හා ආකර්ෂණීය ඉතිහාසය ප්‍රකට කෙරෙන ස්මාරකයක් ඉදිකිරීමේ ජාතික අවශ්‍යතාව මුලින්ම අවධාරණය කරනු ලැබුවේ,මෙරට ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක විසිනි.

old colombo city - elanka

නිදහස් මන්දිර ගොඩනැගිල්ල සැලසුම් කරනු ලැබුවේ ටොම් නෙවිල් වයින් ගේ නායකත්වයෙන් යුත්  ද්විතීය ගෘහ නිර්මාණ ශිල්පීන් අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසිනි. ෂර්ලි ද අල්විස්, ඔලිවර් වීරසිංහ, ජස්ටින් සමරසේකර යන කීර්තිමත් සිංහල ගෘහ නිර්මාණ ශිල්පීන් තිදෙනා ද මෙම කණ්ඩායමට ඇතුළත් වූහ. නිදහස් මන්දිරය නිර්මාණය කිරීමේදී එහි දේශීයත්වය මතු කිරීම පිණිස, (1815 මාර්තු 5 වැනි දින බ්‍රිතාන්‍යයන් සහ උඩරට ප්‍රධානීන් උඩරට සම්මුතිය අත්සන් කරනලද) මහනුවර මගුල් මඩුවේ ආකෘතිය මූලික වශයෙන් සැලකිල්ලට ගනු ලැබිණි. ග්ලූස්ටර් හි ආදිපාදවරයා වූ හෙන්රි කුමරු විසින් මෙරට පළමු පාර්ලිමේන්තුව විවෘත කිරීමත් සමඟ ස්වයං පාලනයේ ආරම්භය සනිටුහන් කළ රාජ්‍ය උත්සවය, මෙම මන්දිරය ඉදිකිරීමට යෝජිත භූමි භාගයේදී, 1948 පෙබරවාරි 4 වැනි දින විශේෂ වේදිකාවකදී සිදු විය. එම ජය බිම, නිදහස් මන්දිරය ඉදිකර විවෘත කරනු ලැබුවේ 1953 වසරේදීය.

මෙම ස්මාරකයේ සෑම වාස්තු විද්‍යාත්මක වර්ග අඟලක්ම දිවයිනේ ප්‍රෞඩ ඉතිහාසය සහ ජාතික නිදහස පිළිබඳ විචිත්‍රවත් සංකේත ඉස්මතු කරවන සුළුය. ගොඩනැගිල්ලට ඇතුළු වන ස්ථානයේ ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍යවරයා වූ ඩී.එස්. සේනානායක මැතිතුමාගේ ප්‍රතිමාව පිහිටියේය. එහි, ආරක්ෂකයන් ලෙසින් තේජාන්විත පාෂාණමය සිංහයන් සිවු දෙනෙකු සිව් කොනේ නිර්මිතය. මෙම සිංහ රූප ප්‍රතිනිර්මාණය කර ඇත්තේ, 13 වැනි සියවසේ යාපහුව රාජධානියේ සිංහ රූප ආශ්‍රය කර ගෙනය. ස්මාරකයේ ප්‍රමුඛතම අංගය වන රැස්වීම් ශාලාව ඉදිකර ඇත්තේ, මහනුවර රජුගේ රාජකීය මළුව වන මඟු‍ල් මඩුවේ ප්‍රතිනිර්මාණයක් ලෙසිනි. අහඹු ලෙස, 1815 දී උඩරට අධිපතීන් විසින් දිවයිනේස්වෛරීභාවය බ්‍රිතාන්‍ය කිරීටයට පවරා දෙනු ලැබුවේ මහනුවර මගුල් මඩුවේදීය. පවරා දෙනු ලැබූ එම ස්වෛරීභාවය 1948 දී යළි ශ්‍රී ලාංකිකයන් වෙත පිරිනැමීම සංකේතවත් කිරීම පිණිස ද එවන් ප්‍රෞඩ මන්දිරයක් නිර්මාණය කිරීම අතිශයින්ම අර්ථවත් පියවරක් ලෙස අගය කළ යුතු වේ. රැස්වීම් ශාලාවේ බාහිර පෙනුම සෞභාග්‍යය සහ සමෘද්ධිය සංකේතවත් කරන “පුන්කලස” සමූහ කින් සරසා ඇත. ශාලාවේ අභ්‍යන්තරය 14 වැනි සියවසේ ගම්පොළ රාජධානියේ සුප්‍රසිද්ධ ඇම්බැක්කේ ලී කැටයම් වලට අනුගතව සරසා ඇති කුළුණු 60 කින් සමන්විත වේ. කිසියම් යුගයක, නිමවූ භෞතික ඉදිකිරීම්, ලියැවුණු පත පොත, දනන් මුව මුව රැව් දුන් ජන කවි, ජනප්‍රවාද, ජනශ්‍රැති ආශ්‍රයෙන්වි හිදෙන ආලෝකය තුළින් එම යුගය හා සබැඳි සජීවී චිත්‍රයක් මවා ගන්නට වර්තමානිකයින්ට සැලසෙන්නේ නොමද පිටිවහලකි. යුග යුග වෙනස් වෙමින්, එහෙත් අවිච්ඡින්නව විකාශනය වන ජාතික, ආගමික මෙන්ම සංස්කෘතිකමය හා සමාජයීය ප්‍රවාහයේ ස්වභාවය මනසින් හා දෑසින් ස්පර්ශ කිරීම තුළින්, අපගේ ජාතික උරුමයන් හා සබැඳි ජීවන පරිඥානයේ නිම් වළලු‍ පුලු‍ල්වන්නේ නිතැතිනි.

ආචාර්ය ගාමිණී කාරියවසම්

gaminee@gmail.com 

කොලොම් පුරේ ශ්‍රියා මුර්තිමත් කෙරෙන ,එඩී ජයමාන්න ශුරීන් ගේ  දුර්ලභ ගීතයක්  ,පහත දැක්වෙන යොමුවට පිවිස ( CLick  කර  ) රස විදිය හැකිය.

TAGGED:ආචාර්ය ගාමිණී කාරියවසම්කැලණි නදීකොලොම්පුර
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Kingslake Kingslake inspires manufacturing industry with 2023 Empower Conference
Next Article Elanka newsletter eLanka Newsletter – 2nd August 2023 – 1st Edition – Sri Lankans In Australia
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
Never Give Up-eLanka

SUNDAY CHOICE – Shake it off and step up – by Charles Schokman

Sanga Sasuna Pura Sanda, සඟසසුන පුරසඳ, Nimal Sedera, Nimal Sedara, Donald Sarath Gunatillake, Wattegama Dhammawasa Maha Nayaka Thero, Ven Dhammawasa Thero, Buddhist biography, Sri Lankan Buddhist monk, Amarapura Nikaya, Maha Nayaka Thero, Buddha Sasana, Sri Lankan Buddhism, Buddhist leadership, Buddhist book review, Sinhala books, Sinhala biography, Buddhist literature, Subodharamaya Peradeniya, Forest Lake Buddhist Temple Brisbane, Brisbane Sri Lankan community, Buddhist temple Australia, Dhamma School, Buddhist education, Buddhist monks Sri Lanka, Buddhist community Australia, Peradeniya temple, Sri Lankan authors, inspirational Buddhist books, Buddhist spiritual leadership, Sri Lankan heritage, Buddhist culture, Pirivena education, Bhikkhu ordination, Buddhist social service, religious biography, Sinhala literature, Buddhist history, Sri Lankan community in Australia, Buddhist traditions, Buddhist values, Dhamma preaching, Buddhist temple development, Buddhist community service, Sri Lankan Buddhist culture, religious leadership, Buddhist inspiration, Buddhist publications, eLanka book review

Book Review: Sanga Sasuna Pura Sanda (සඟසසුන පුරසඳ) by Nimal Sedera – By Donald Sarath Gunatillake

Sri Lanka Appoints First Resident Permanent Representative to IRENA

Sri Lanka Appoints First Resident Permanent Representative to IRENA

From Village Tanks to Modern Crises: Why D.S. Senanayake’s Rural Vision Still Echoes Across Sri Lanka-by Harold Gunatillake

Cannes Lions-eLanka

Today – Ad Oscars, Bengal Bandits, medical breakthroughs and more!

Related News
Articles

Stars align for Australian Canadian Co-production now filming in Melbourne

Kokgala (Koggala)
Articles

Stories Behind the Names of Places in Sri Lanka: Kokgala (Koggala) – By Nimal Sedera

Black July 1983, Sri Lanka riots 1983, Colombo violence, Niranjan Selvadurai poem, May We Pass Brother poem, Sri Lankan civil unrest poetry, ethnic violence Sri Lanka, 1983 riots eyewitness account, Sri Lankan English poetry, historical poems Sri Lanka, mob violence Colombo, identity and survival Sri Lanka, cultural identity conflict, language and ethnicity Sri Lanka, road to safety poem, Sri Lankan diaspora literature, trauma poetry Sri Lanka, social commentary poetry, Sri Lankan history literature, Black July reflections, Colombo 1983 events
Articles

May We Pass Brother? – By Niranjan Selvadurai

Articles

National NAIDOC Week

Articles

Convenor’s Message – By Dr. Himaya S.W.A

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.