News & Community eLanka

eLanka

Saturday, 4 Jul 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » දළදා මැදුරේ රන්කොත මුදුනේ – මිනි කිරණින් මුළු රටම අවදිවේ – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

දළදා මැදුරේ රන්කොත මුදුනේ – මිනි කිරණින් මුළු රටම අවදිවේ – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: April 12, 2025 5:00 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
21 Min Read
SHARE
Views: 64

දළදා මැදුරේ රන්කොත මුදුනේ – මිනි කිරණින් මුළු රටම අවදිවේ – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

kandy

Image Source : culture.cp.gov.lk

kandy

Image Source : dailymirror.lk

එළැඹෙනඅප්‍රේල් මස 18වනදා ‘සිරි දළදා දැක්ම’  ආරම්භවේ. අප මුළු මහත් දේශයට සෙත කැන්දන,අසිරිමත්  දළදා ප්‍රදර්ශනයක් පැවැත්වෙන්නේ වසර 16 කට පසුවය.අප්‍රේල්  12 වන දින බක් පුර පසළොස්වක පොහොය උදාවේ .එම පොහොය  ගෙවී ගොස්, සතියකින් සිරි දළදා දැක්ම ආරම්භ කිරීමට සැළසුම් කිරීම  අතිශයින් ම කාලෝචිතය. ඒ මන්ද යත්,බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදුව  ඇත්තේ ද බක් පුර පසළොස්වක පොහොය දිනයක වීම නිසාවෙනි.

වංස කථාවන්හි දැක්වෙන ආකාරයට බුද්ධත්වයෙන් පස්වන වසරේ බක් මස අමාවක පොහොය දිනයේ දී බුදුරජාණන් වහන්සේ දඹදිව ජේතවනාරාමයේ සිට ලක්දිව නාගදීපයට වැඩම කළේ චූළෝදර මහෝදර  දෙපිරිස් අතර , මිණි පළඟ හේතුකොට ගෙන ඇති වූ කලහය දැක නාගයන් කෙරෙහි අනුකම්පාවෙනි.

බොදුනුවන්ට, ශාන්ති නායකයාණන්ගේ අසූහාර දහසක් ශ්‍රී ධර්මස්කන්ධය ස්පර්ෂිත දළදා  සමිඳුන්,සියසින් දැක ,වැඳ පුදා ගැනීමට අවස්ථාවක් ලැබීම,ජීවිතයේ ලද හැකි පරම භාග්‍යයකි.

මෙම කාල වකවානුවේ ,සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව, සිව් දන්ත ධාතුන් වහන්සේලා  සබැඳි අතීත තොරතුරු දැන ගැනීම කෙරෙහි බොදුනු ජනතාව  උනන්දුවක් දක්වනු  නිසැකි.ඔවුනගේ  දැනුම්  නිම් වළලු  පුළුල් කිරීමේ අධ්‍යාශයෙන් මෙවන් ශාස්ත්‍රීය ලිපියක් සැකසීම කෙරෙහි මා සිත් යොමු විය.

දළදා පුරාණය.

දාඨා වංශයෙන් හෙළිවන පරිදි ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව එක් දළදාවක් ශක්‍රයා විසින්ද, සෙසු දන්තයන් , ගන්ධාර දේශයේ හර්ෂවර්ධන රජු හා නාලොව නාග රජුන් විසින්ද ලබා ගෙන පුද පෙළහර පවත්වනු ලැබීය. සිවු දළදාවන්ගෙන් ඉතිරි දළදාව ඛේම නම් මහරහතන් වහන්සේ ක්‍රි.පු. 433 දී කලිඟු රට දන්ත පුර බ්‍රහ්මදත්ත රජුන් වෙත පිරිනැමූ සේක. බ්‍රහ්මදත්තයන් රන් රුවනින් අලංකාර වූ අනගි සුවිසල් ධාතු මන්දිරයක් ගොඩ නංවා දළදා සමිඳුන් එහි තැන්පත් කොට මහත් භක්තියකින් පුදනු ලැබිණි. ඔහුගේ ඇවෑමෙන් පිලිවෙළින් රාජත්වයට පත් කාසි රාජ, සුනන්ද, ගුභසීව යන රජදරුවන් විසින් ද මේ මාහැඟි පූජනීය වස්තුව දිවි දෙවැනි කොට ආරක්ෂා කරමින් පූජා පැවැත්වූහ. ශුභසීව  රජු දවසදී පාණඩු නම් මිසදිටු රජු නිසා දළදා සමිඳුන් විවිධ අතවරවලට බඳුන් විය. එසේ වුවද දළදා හිමි අවුරුදු 850 කට ආසන්න කාලයක් නිරුපද්‍රිතව කලිඟු රටෙහි යෙහෙන් වැජඹිණි.

ගුභසීව රජුගේ රාජ්‍යරක්ෂාව යටතේ කලිඟුරට දන්ත පුරයේ තැන්පත්ව පැවති දළදා සමිඳුන් වෙත පැමිණි, උදේනි රජුගේ පුත් කුමරුවෙක් දළදා සිරියෙන් මහත් ප්‍රසන්තාවයට පත්ව දළදා සමිඳුන්ට තේවාව පවත්වමින් එහිම වාසය කළේය. දළදා හිමි වෙනුවෙන් සිය කාලය කැප කිරීම නිසා හේ  දන්ත කුමරු නමින්  පසු කලෙක ප්‍රසිද්ධියට පත්විය . දළදාවේ ආශ්චර්යමත් බව ලොව දස දෙස පැතිර යද්දී, දඹදිව ක්ෂීරධාරා රජු සේනා ගෙන දළදාව තමන් වෙත පවරා ගැනීම පිණිස ගුභසීවයන් හා සටනට පැමිණියේය. දළදාව සතුරු රජුන්ගෙන් මුදා ගනු වස් ශුභසීව රජු සිය දියණිය වූ හේමමාලා සහ දන්ත කුමරුන් කැඳවා දළදාව රැගෙන රහසින්ම ලක්දිව සිටින තම මිත්‍ර මහසෙන් රජු වෙත යන ලෙස සැළ කර සිටියේය.

මෙම සිදුවීමට  කළෙකට ඉහත ලංකාවේ මහසෙන් රජු සිය මිතුරු වූ ගුභසීව රජුට පඩුරු යවමින් දළදා ආශිර්වාදය ලත් පැන් බඳුනක් එවන ලෙස දන්වා සිටි බවට, දාඨාවංශ කර්තෘ කරන සඳහන අනුව, මෙම අවදානම් අවස්ථාවේ කලිගු  රජුන්ට ලක් නිරිඳුන් සිහිපත් වීම අරුමයක්  නොවේ.

kandy

Image Source : flickr

මාලිගා පරිශ්‍රයෙහි හේමමාලා දන්ත පිළිරුව 

බැමිණි වෙස් ගත් හේමමාලා කුමරිය, දළදා සමිඳුන්ගේ දැඩි ආරක්ෂාව පතා, එය සිය දිගු සුනිල්වන් කේශ කලාපය තුළ සඟවාගෙන දන්ත කුමරුන්ද සමඟින් ක්‍රි.ව.362 දී ලංකාද්වීයට පා තැබුවාය.

හේමමාලා කුමරිය දළදා වහන්සේ සිය කෙස් කළඹේ සගවාගෙන පැමිණියේ , දළදා වහන්සේ කුඩා කරඩුවක තැන්පත් කරගෙනය.  තත්  කරඩුව නිර්මාණකර ඇත්තේ  දළදා වහන්සේගේ ප්‍රමාණයටම බැව් පැවසේ.එය හේමමාලා කරඩුව ලෙසින් ව්‍යවහාරිතය. දළදා වහන්සේගේ ආරක්ෂාව පිණිස ,රටේ  විවිධ ස්ථානවලට රහසේ වඩම්මන ලද අවස්ථාවන්හිදී  ,දළදා වහන්සේ තැන්පත් කර තිබුනේ , මෙම හේමමාලා කරඩුව තුළය.

හේමමාලා කරඩුව

හේමමාලා කරඩුව

ඉතා වැදගත් ඓතිහාසික වටිනාකමකින් යුක්ත හේමමාලා කරඬුව,වර්තමානයේ දළදා වහන්සේ වැඩ සිටින මහ කරඩුව තුළ තැන්පත් කර ඇති බව හිටපු දියවඩන නිලමේ නෙරංජන්  විජේරත්න මහතා, තොරතුරු විමසීමේදී මා සමග පැවසීය. එතුමා සඳහන් කරන පරිදි,දළදා වහන්සේ වෙත නිරතුරු ගෞරවය,භක්තිය දැනවීම පිණිස,හේම මාලා කරඬුව වටා  රතු මැණික් ගල් අල්වා තිබේ. තම හිසෙහි රදවා ගත් කරඬුවෙහි මිණිකැට දීප්තිය  , පිටතට නොදිස්වන ලෙස, ආරක්ෂිත පියවරක් ලෙසින් ,රතු මැණික් ගල් ඔපමට්ටම් නොකිරීමට ද දන්ත සහ හේම මාලා යුවළ සැළකිළිමත්වී ඇති බැව් හිටපු දියවඩන නිළමෙතුමා පෙන්වා දුන්නේය. 

නෙරංජන් විජේරත්න

හිටපු දියවඩන නිළමේ නෙරංජන්  විජේරත්න මැතිතුමා

අතර මඟදී ඔවුනට නාගයින් අවහිර කළ බවත්, එම බාධක මඟහැරෙන තුරු ඔවුහු දළදාව කෘෂ්ණ නදී තීරයෙහි දින්නෙයි නම් ස්ථානයෙහි වැලි අතරේ සැඟවූ බවත් දාඨාවංශයෙන් හෙළිවේ. මුලින්ම අනුරපුරයෙහි මහමෙවුනාවේ  මේඝ ගිරි විහාරයට ගිය දන්ත කුමරුන් සහ හේමමාලිය එහි මහ තෙරුන් මුණ ගැසී සියළු පුවත් හෙළි කළේය. මේ අවදිය වන විට ගුභසීවයින් ගේ මිත්‍ර මහසෙන් රජු මියපරලොව ගොස් සිටි හෙයින් ඔහුගේ පුත් කීර්ති ශ්‍රී මේඝවර්ණයන්  දළදාව භාර ගැනීමට ඉදිරිපත් විය.

kandy

Image Source : sundayobserver.lk

මහා වංශයෙහි කාල නීර්නයට අනුව මෙම අනුස්මරණීය සිද්ධිය ඇති වූයේ කිත්සිරි  මෙවන් රජුගේ අභිෂේකයෙන් නමවන වර්ෂයේදීය.ක්‍රි.ව. 460 උපතිස්ස රජුගේ රාජ්‍ය සමයෙහි පැතිරී මහා නියඟයකින් රට මුදා ගැනීම පිණිස රජතුමා දළදා සමිඳුන් හස්තියෙකු පිට වඩා හිදුවා අනුරපුර නගරයෙහි පෙරහැර පැවැත්වූ බවත්, සැනෙකින් විසල් වැසි වට බවත් , චූලවංශ කතුවරයා සඳහන් කරයි.

ක්‍රි.ව.516-526 අතර සමයෙහි රාජ්‍ය විචාල ධාතුසේන මහ නිරිඳුන් දළදා වහන්සේ වෙනුවෙන් රුවන්මය  කරඩුවක් තනා පුද කළේය. කිත්සිරි මෙවන් රජු දවස පටන් සිව්වෙනි මිහිදු රජුගේ දසවෙනි වස තෙක් වර්ෂ 701 ක් මුළුල්ලේ දන්ත ධාතූන් වහන්සේ සුරක්ෂිතව අනුරාධපුර රාජධානියෙහි වැඩසිටි බව සනාථ කෙරෙන ඉතිහාසගත සාධක රාශියකි.

kandy

Image Source : dreamstime

සිව්වන මිහිඳු රජුන්ට කේරලයන්ගේ බලවත් කැරැල්ලකට මුහුණු දෙන්නට සිදුවිය.  එය මැඩලීමට තරම් බලසම්පන්න නොවූ මිහිඳු රජු දළදා වහන්සේ ද රැගෙන රහසේම රෝහණ දේශයට පලා ගියේය. රෝහණ රාජ්‍යයයේ සීදුගල ටික කලක් ගත කළ හෙතෙම පසුව කපුගල නම් ස්ථානයේ කුඩා නුවරක් ඉදිකරවා දළදා හිමි තැන්පත් කොට ප්‍රාදේශීය රජෙකු වශයෙන් රාජ්‍ය කළේය. රුහුණේ යුව රජ පදවි දරමින් සිටි කීර්ති කුමරු ක්‍රි.ව.1058 1174 පොළොන්නරුව අගරජ දහන කොට පළමුවන විජයබාහු නමින් රාජපද ප්‍රාප්තියට පත්වීමත් සමඟම දළදා සමිඳුන් වෙත  යහපත්කාලපරිච්ඡේදයක් උදාවිය. හෙතෙම රුහුණු රට සඟවා තිබුණු දළදාව පොළොන්නරුවට වැඩමවා අලංකාර පහයක තැන්පත් කොට පෞරාණික පුද සිරිත් පවත්වන්නට විය.

kandy

Image Source : tripadvisor

වසර 157 ක් යෙහෙන් වැජඹි පොළොන්නරු පුරවරයද කාලිංග මාඝයන්ගේ දරුණු ආක්‍රමණයට ගොදුරු විය. මේ අවස්ථාවේ වාචිස්සර මහා තෙරනුවෝ දළදාව සඟවාගෙන කොත්මලේට පලා ගොස් පුහුල්පිටියේ මල්හැව ග්‍රාමයෙහි එය නිදන් කළ සේක. විසිඑක් වසක් පමණ මෙහි අප්‍රසිද්ධියේ නිදන්ගතව පැවති ශ්‍රී දළදාව ක්‍රි.ව.1220 රාජ්‍යත්වයට පත් වත්හිමි විජයබා රජුගේ භාරයට පත්විය. එතුමා බෙලිගල මැදුරක් කරවා ශ්‍රී දළදා සමිඳුන් එහි තැන්පත් කළේය.

kandy

Image Source : amazinglanka

මායා රට දඹදෙනියේ රාජධානී පිහිටුවාගත් කළිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු නිරිදුන් , ක්‍රි.ව.1224 දී ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ  තම රාජධානියට වැඩමවා ඉපැරණි පුද පිළිවෙත් ඒ අයුරින්ම පැවැත්වීමට අවශ්‍ය විධිවිධාන යෙදීය. යාපහුවේ රජ පැමිණි පළවෙනි බුවනෙකබාහු රජුද තම රාජධානියේ සමෘද්ධිය පතා දළදා සමිඳුන් යාපහුව වෙත වැඩමවා ගත්තේය.

kandy

Image Source : sarisaraweb

ක්‍රි.ව.1271 දී යාපහු නුවර ආක්‍රමණය කළ ඉන්දියාවේ කුලශේකර රජුගේ ආර්ය චක්‍රවර්ති නම් පඩි සෙනෙවි විසින්, ශත වර්ෂ දහසකට ආසන්න කාලයක් සිංහල බුදුනුවන් හදවත් සඳහම් සිසිලෙන් නැහැවූ දළදා සමිඳුන් හා පාත්‍ර ධාතුවද පැහැර ගෙන පඩිරට මධුරා පුරයට ගෙනයනු ලැබීය. මීළඟට ලක්දිව රාජ්‍යත්වයට පත් තුන්වැනි පරාක්‍රමබාහු රජු පඩි රජුන් හා මිත්‍ර සම්බන්ධතාවය තර කර ගෙන දළදාව හා පාත්‍ර ධාතුව පොළොන්නරුවට වැඩමවා ගැනීමට සමත් විය. නොබෝ දිනකින් දෙවන බුවනෙකබාහු කුමාරයා තුන්වන පැරකුම්බාවන් පරදවා දළදා වහන්සේ  කුරුණෑගලට ගෙනැවුත් තුන් මහල් පහයක තැන්පත් කළේය.

kandy

Image Source : amazinglanka

අනතුරුව දළදා සමිඳුන් ගම්පොල නියම්ගම් පාය ස්ථානයට වැඩමවන ලදි. මෙහිදී සිව්වෙනි බුවනෙකබාහු නිරිඳුන් විසින්  රිදී හත් දාහකින් තැන වූ කරඞුවක දළදා සමිඳුන් තැන්පත් කරනු ලැබීය. ගම්පලින් පල්ලේපිටියට වැඩමකළ සමිඳුන් වෙත තුත්වන වික්‍රමබාහු රජු විසින් වෙඞරුපිටිය පුදන ලදි.

kandy

Image Source : wikipedia

පසුකාලයේ සෙංකඩගල නුවර සහ  ගම්පල වැඩසිටි ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ, වීරබාහු නිරිඳුන් ජයවර්ධන පුර කෝට්ටේ රාජධානිය පිහිටුවාගත් පසුව කෝට්ටේට වැඩමවා ගත් බව වාර්තා වේ. කෝට්ටේ රජ පැමිණි පැරකුම්භාවන්ගෙන් ද දළඳා හිමි වෙනුවෙන් අනුස්මරණීය සේවාවක් ඉටු විය. එතුමා දළඳා වහන්සේට උපහාර පිණිස වාර්ෂිකව පෙරහැරක්ද පැවැත්වීමට කටයුතු යෙදීය. එකල එම පෙරහැර පවත්වන ලද්දේ සිංහලයන්ගේ ජාතික මහෝත්සවය යෙදුනු සිංහල අවුරුදු සමයේදීය. පරාක්‍රමබාහු නිරිඳුන් දළඳා පෙරහැර තම බල පරාක්‍රමය පෙන්වීමේ මාධ්‍යයක් වශයෙන් ද සැලකීය.

kandy

ශ්‍රි රහල් හිමියන් සිය ධූත සැළලිහිණියාට මිනිරැස් විහිදුවමින් ගණ රන් කොතින් දිලෙන චන්ද්‍රකාන්ති පාශානයෙන් කළ ජයවර්ධන පුරවරයෙහි පිහිටි දළඳා මැදුරට සිය භක්ති ප්‍රමාණය පුද කරන ලෙස ඇරයුම් කරන්නේ සජීවී කාව්‍යමය සිතුවමකිනි.

“ලොව විහිදා සුදු  පැහැ  සඳ   රැසෙව් සැ දී

දෙන  නොමදා සිරි සඟමොක් සැප නිසැ දී

ලද  මුනිදා  දම්   කද   පහස   මන     බැ ඳී

වදු   දළදා  හිමි   තෙමහල්   පහය      රැ දී  “

ශ්‍රි රහල් හිමියන් ගේ   මෙම හෘදයාංගම‍  කාව්‍යමය සිත්තම ,අමරදේව ශූරීන් සහ නන්දා මාලිනිය ,භාව පූර්ණ ගීතයක් ලෙසින් අප සවනට යොමු කළ අරුම

හත්වෙනි බුවනෙකබා රජ දවස පෘතුගීසීන් කෝට්ටේ රාජ්‍යයෙහි බලවත් තත්වයට පැමිණි අතර මෙසමයෙහි දළදා වහන්සේ කෝට්ටේ වඩා හිදුවා තබා ගැනීම යෝග්‍ය නොවීය. මෙකල දළදා හිමිගේ තේවාව භාරව කටයුතු කළේ හිරිපිටියේ රාළ නැමැත්තෙකි. දිනක් ඔහුට රාත්‍රි නින්දේදී පෙනුනු කිසියම් පිරිවැජියෙක් ‘‘කෝට්ටේ හැරාලේ – දත මැදගන් රාළේ “ යනු වෙන් කනට කොඳුරා අතුරුදහන් වූ බව කියැවේ. සිහිනෙන් ඇසුන ඒ කව් දෙපදයට, කෝට්ටේ ආලය හැරදමා රාළේ දළදාව රට මැදට ගනු මැනවි යනුවෙන් අර්ථකථනය කළ දෙවනගල වෙහෙර විසූ ශ්‍රේෂ්ඨ පඞිරුවනක් වූ රත්නාලංකාර තෙරනුවෝ වහාම දළදාව රැගෙන කෝට්ටෙන් පළායන ලෙස හිරිපිටියේ රාළට උපදෙස් දුන්නේය. ඇත් දළයකින් පෙනුමෙන් දළදාවම වැනි වූ ආකෘතියක් තනා  ජයවර්ධනපුර රජමැදුරෙහි කරඞුවේ තබා, නියම දළදාව රැගැත් හිරිපිටියේ රාළ සීතාවක රාජ්‍යත්වයට පත්ව සිටි මායාදුන්නේ වෙත ගොස් එය ඔහුට භාර කළේය.

1574 දී බුරුමයේ පේගු නුවර බයිනුවාං රජු සිංහල රජකුමරියක් කැඳවාගෙන යාම පිණිස කෝට්ටේට බුරුම දූත පිරිසක් එවූ අවස්ථාවේ දොන් ජුවන් ධර්මපාලගේ ගබඩා රක්ෂක සෙම්බගප්පෙරුමාල් නැමැත්තා ගිරිපිටියේ රාළ කෝට්ටේ තබා ආ දළදාවේ ආකෘතියක් වූ ඇත් දළ කැබැල්ල බුරුම දූත පිරිසට පරිත්‍යාග කළේය. ඒ නියම දළදාව යැයි රැවටුනු බුරුම රජු ඊට කළගුණ සැලකීමක් වශයෙන් වසරක් පාසා මහත් ධන සම්භාරයක් හා සහල් නැවක් ලංකාවට එවීමට ගිවිස ගත්තේය.

දළදාව තමන්  සතුකරගත් සීතාවක මායාදුන්නේ සඹරගමුවේ හෙළ පල්ල පලාතේ පිහිටි සඳගිරියෙහි ගල්ටැම් මත අලංකාර මන්දිරයක් කරවා එහි  දළදා හිමි තැන්පත් කළේය. මායාදුන්නේ එම පූජනීය වස්තුව පෘතුගීසීන්ගෙන් රැක ගැනීම පිණිස සඳගිරිය වටා ආයුධ සන්නද්ද මුර වළලු කිහිපයක් ද ස්ථාන ගත  කළ බව දැක්වේ.

kandy

Image Source : amazinglanka

පසු අවස්ථාවක දැඩි ආරක්ෂාව පතා දළදාව දෙල්ගමු විහාරයට වැඩමවන  ලදි. ජනප්‍රවාදයේ එන පරිදි දෙල්ගමු විහාරාධිපතීන් වහන්සේ විසින්  දළදාව කෙරෙහි පැවති අනුපමේය භක්තිය නිසාම උන්වහන්සේ දළදාවේ දැඩි ආරක්ෂාව පිණිස කදිම උපක්‍රමයක් යෙදීය. ඇත් දතකින් කෘතිම ධාතු දෙකක් කරවා , ඉන්  එකක් දළදාව වැඩ සිටි ස්ථානයෙහි  තැන්පත් කොට, අනික වීදිය බණ්ඩාරට දී නියම දළදා වහන්සේ සිය ඉණේ සඟවා ගෙන පලාබත්ගලට පලා  ගොස් විසීය. ඒ අතර පෘතුගීසීන් සීතාවක ආක්‍රමණය කළ අවස්ථාවේ කොන්ස්තන්දසා  නම් පෘතුගීසි නිලධාරියා එහි තිබූ කෘතිම දළදාවත්, යාපනයේ දී අත්අඩංගුවට ගත් වීදිය බණ්ඩාර සතුව තිබූ කෘතිම දළදාවත් රැගෙන ගෝවට යවා එහිදී පුළුස්සා විනාශ කළ බව දැක්වේ. මෙම පුවත හෙළිවනුයේ ඇමර්සන් ටෙනන්ට්ගේ ‘‘ලංකාව“ නැමැති කෘතියෙනි. කෘතිම දළදාව  විනාශ කිරීමේ සිද්ධියෙන් නොමග ගිය ද ක්වෙරෝස් වන් ඉතිහාසඥයින් 1560 දී පෘතුගීසීන් දළදා වහන්සේ විනාශ කළේයයි සිය ඉතිහාස කෘතීන්හී සඳහන් කළහ.

මායාදුන්නේගෙන් පසුව සීතාවක රාජධානිය කරගත් ඔහුගේ පුත් පළමුවන රාජසිංහ රජු කිරුළු දැරූ එකොලොස් වස තුළම නොකඩවා දළදා පෙරහැර පවත්වා දෙල්ගමු වෙහෙරින් මහ සමන් දේවාලයට දළදා වහන්සේ වැඩමවන ලදි. මෙතුමන් දළදා සමිදුන්ගේ නඩත්තුව පිණිස නින්දගම් විසි දෙකක්ද, දළදාව වැඩමවීමට විශාල හස්තිරාජයකුද පිදූ වගට ඉපැරණි දෙල්ගමු විහාර ලේකම් මීටිය සාක්ෂි දරයි.

කොනප්පු බණ්ඩාර ගෝවට පැන ගොස් දොන් ජුවන් නමින් කතෝලික සමය වැළඳ ගෙන පෘතුගීසි සේනාවක්ද රැගෙන රාජසිංහයන් හා සටනට එළඹි කළ, දළඳා වහන්සේ  රන් කරඞුවෙන් ඉවත්කොට  දෙල්ගමු වෙහෙරෙහිම කුරහන් ගලක සිදුරක් තුළ සඟවන ලදි. දෙල්ගමු වෙහෙරේ බුදු පිළිමයට පිටුපස සවි කළ පාෂාණමය ලෑල්ලක් මත තබා තිබුණු මෙම කුරහන් ගල අද පවා එහි දක්නට ඇත.

kandy

Image Source : amazinglanka

දෙල්ගමුව රජ මහා වෙහෙර

kandy

Image Source : amazinglanka

දෙල්ගමුව රජ මහා වෙහෙර ,ධන්ත ධාතුන් සගවා තිබු කුරහන් ගල

දොන් ජුවන්, රාජසිංහයන් පරදවා පෘතුගීසී බලයද මැඩ, බුදු සමය වැළඳ ගෙන කන්ද උඩරට පළමුවන විමලධර්මසූරිය නමින් අභිෂේකයට පත්වූ පසුව, දළදා වහන්සේ එතුමන් වෙත භාරවිය. එතුමා නව රුවනින් බැඳි  කරඞුවක් කරවා, දන්ත ධාතූන් වහන්සේ එතුළ තැන්පත් කළේය. අද දවසේ  දළදා සමිඳුන් ප්‍රභාශ්වර විහිදුවමින් විරාජමානව වැඩ සිටිනුයේ මෙම කරඞුව තුළය.

1818 ඉංග්‍රීසීන්ට විරුද්ධව මතුවූ කරැල්ලේ දී, සිංහලයන් දළදා හිමි ආරක්ෂාව පතා මාළිගයෙන් බැහැර කොට ආරක්ෂක ස්ථානයක් කරා ගෙන ගියේය. මෙම අවදියේ දී මොනරවිල කැප්පෙටිපොල මහ විරුවන් හේවාහැට ගොඩමුනේ නම් ස්ථානයේ දී, තමා භාරයේ පැවති දළදාව මහජනතාවට ප්‍රදර්ශනය කිරීමෙන් පසුව, සිංහලේ නිදහස් සටන වෙනුවෙන් ප්‍රබල  ජනතා සහයෝගය ගලා එන්නට විය. රජ කිරුළට උරුමකම් ඇත්තේ දළදා සමිඳුන් හිමි වූ තැනැත්තා බවට ඈත පුරාණයේ පටන්ම ජනතාව තුළ දැඩි විශ්වාසයක් පැවතීම මීට ප්‍රධානතම හේතුව වූ බව පෙනේ.

දොන් ජුවන්, රාජසිංහයන් පරදවා පෘතුගීසී බලයද මැඩ, බුදු සමය වැළඳ ගෙන කන්ද උඩරට පළමුවන විමලධර්මසූරිය නමින් අභිෂේකයට පත්වූ පසුව, දළදා වහන්සේ එතුමන් වෙත භාරවිය. එතුමා නව රුවනින් බැඳි කරඞුවක් කරවා, දන්ත ධාතූන් වහන්සේ එතුළ තැන්පත් කළේය. අද දවසේ දළදා සමිඳුන් ප්‍රභාශ්වර විහිදුවමින් විරාජමානව වැඩ සිටිනුයේ මෙම කරඞුව තුළය. 1818 ඉංග්‍රීසීන්ට විරුද්ධව මතුවූ කරැල්ලේ දී, සිංහලයන් දළදා හිමි ආරක්ෂාව පතා මාළිගයෙන් බැහැර කොට ආරක්ෂක ස්ථානයක් කරා ගෙන ගියේය. මෙම අවදියේ දී මොනරවිල කැප්පෙටිපොල මහ විරුවන් හේවාහැට ගොඩමුනේ නම් ස්ථානයේ දී, තමා භාරයේ පැවති දළදාව මහජනතාවට ප්‍රදර්ශනය කිරීමෙන් පසුව, සිංහලේ නිදහස් සටන වෙනුවෙන් ප්‍රබල ජනතා සහයෝගය ගලා එන්නට විය. රජ කිරුළට උරුමකම් ඇත්තේ දළදා සමිඳුන් හිමි වූ තැනැත්තා බවට ඈත පුරාණයේ පටන්ම ජනතාව තුළ දැඩි විශ්වාසයක් පැවතීම මීට ප්‍රධානතම හේතුව වූ බව පෙනේ.

kandy

Image Source : facebook

 ඉංග්‍රිසින්  රට යටත්කරගත් පසුවත්  දළදා මාලිගාවට විශේෂ ආරක්ෂාවක්  සපයා තිබිණ. දළදා මාලිගාවේ යතුරු,දැඩි ආරක්ෂාව පතා  මහනුවර ඉංග්‍රීසි  දිසාපති භාරයේ පැවතිණ.   1853 දි ඉංග්‍රීසි ආණ්ඩුව දළදා වහන්සේගේ භාරකාරිත්වය මල්වතු අස්ගිරි  උභය විහාරවාසී මහනාහිමිවරුන් දෙනම හා දියවඩන නිලමේ වෙත  විශේෂ ලියවිල්ලකින් පවරනු ලැබිණි.

මේජර් ෆෝබ්ස් විසින් ලියන ලද ලංකාවේ එකොලොස් වසක් නම් කෘතියෙහි සඳහන් වන පරිදි කීර්ති ශ්‍රී රාජසිංහ රජුගෙන් පසුව ප්‍රථම වරට දලදා වහන්සේ ප්‍රදර්ශනය කරන ලද්දේ 1828 මැයි 29 වන දිනය. එඩ්වඩ් බාර්න්ස් ආණ්ඩුකාර තැන මෙම දළදා ප්‍රදර්ශනයෙහි ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි විය.

කුරුණෑගල පුර සමයේදී දළදාව ආශ්‍රය කර ගෙන කෘතීන් කිහිපයක්ම සිංහල සාහිත්‍ය වංශයට එක්විය. මෙම කෘති අතුරෙන් ක්‍රි.ව.1325 දී සිවුවන පරාක්‍රමබාහු රජ දවස දෙව්රද දම් පසඟිනාවන් කළ  දළදා සිරිතට ප්‍රමුඛස්ථානයක් හිමිවේ . සංක්ෂිප්ත බුද්ධ චරිතය, කිත්සිරි මෙවන් රාජ්‍ය කාලයේ පටන්  සිව්වැනි  පැරකුම්බා දක්වා ඉතිහාසය, දළදා සමිදුන්ට පැවැත්විය යුතු පුද සිරිත් ඇතුළත් ව්‍යවස්ථා පන්තිය යන අංශයන් දළදා සිරිතට වස්තු විෂය විය.

kandy

Image Source : exploreslk

දෙල්ගමුවේ වැඩසිටි දළදා සමිඳුන් පළමුවන විමලධර්මසූරිය රජු විසින් සෙංකඩගල පුරවරයට වැඩමවා, එදින රාත්‍රියෙහි අස්ගිරියේ ආදාහන මලුවේ ගෙඩිගේ විහාරයෙහි තැන්පත් කරවන ලදි. පසුදින දිවාකල මහ පෙරහැරින් සමිඳුන් රජ මාලිගයට වැඩමවනු ලැබිණි. එවක් පටන් මේ දක්වා අවුරුදු පතා ඇසළ සමයේ දී පෙරහැර පවත්වා දළදා සමිඳුන් පුජෝපහාර පැවැත්වීම සිංහල වංශයේ චාරිත්‍රයක් බවට පත්විය.

https://www.elanka.com.au/wp-content/uploads/2023/08/-%E0%B6%AF%E0%B7%85%E0%B6%AF%E0%B7%8F-%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%AB%E0%B6%BA.-08-eLanka-e1693246596109.jpg

බ්‍ර්තාන්‍ය යුගයේ දළදා  පෙරහැරක්

kandy

Image Source : stock.adobe

දළදා පෙරහැරට අමතරව දළදා මාලිගාව ආශ්‍රිතව එක වසරක් තුළ මංගල්‍ය හතරක් පැවැත්වේ. සිවු මහා මංගල්‍ය  නමින්ද හැඳින්වෙන මේ උත්සව මාලාවට අලුත් සහල් මංගල්‍යය, අලුත් අවුරුදු මංගල්‍යය, වෙසක් මංගල්‍යය සහ කාර්තික මංගල්‍යය ඇතුළත්ය./

පෝය දිනවලදි දළදා වහන්සේ උදෙසා පුජාව තබන්නේ කීර්ති ශ්‍රි රාජසිංහ රජතුමා විසින් පුජාකළ රන් පාත්‍රවලටය.පැන් වත් කරන්නේ රජතුමා පුජාකළ රන් කෙණ්ඩියෙනි.අනෙක් දිනයන්හි දළදා පුජාව තබන්නේ රිදියෙන් සෑදු රන් ආලේපිත පාත්‍රවලිනි.

දළදා මාලිගයේ උත්සව දිනවලදීද, පොහෝ දිනවලදීද, දළදාව ප්‍රදර්ශනය කරන අවස්ථාවලදීද මාලිගයේ කවිකාර මඩුව, නාගසිත්තම්, තම්බෝරුව සහ ආලත්ති බෑමක් කළ යුතු බවට පෙර රජ දරුවන්  ව්‍යවස්ථා පනවා ඇත.

‘‘දෙයියෝ බුදු වන්ඩ ආයුබෝවා “

‘‘චිරාත් කාලයක් ආයුබෝවා “

‘‘කප්වාන් දහසක් ආයුබෝවා“

ඔබ සැදැහැ සිතින් දළදා මැඳුරේ ප්‍රධාන දොරටුව වෙත පියමන් කරන අවස්ථාවක මෙබඳු ආ වැඩීමක් ඔබ  දෙසවන් ගැටෙන්නට ඇත. දළදා මැඳුරට ප්‍රවේශව සමිඳුන් වැඩ ඉන්නා මණ්ඩපයට ආසන්න වත්ම රිදී පහන් දෑතේ දරමින් ආ වැඩීමෙහි යෙදෙන එම වනිතාවන් ඔබට හොඳින්ම දැක ගත හැකිවේවි .ළඳුන් විසින් ඉටු කරනු ලබන චාරිත්‍රය ආලත්ති බෑම යනුවෙන් හැඳින්වෙයි. මෙම ඉපැරණි චාරිත්‍රය දළදා මැඳුර වෙත සමීප වූයේ කසේදැයි විමංශනශීලීව සොයා බැලීමේදී , අපට එක්වරම සිහිපත් වන්නේ පැරණි රජදරුවන්ගේ සමෘද්ධිමත් රජ මැඳුරුවල පැවති වත් පිළිවෙත්ය.

kandy

ආලත්ති බෑමේ පුරාණ චාරිත්‍රය ඉටු කරන ,ආලත්ති මෑණිවරු

පෙර රජුන් සිරි යහන් ගැබට යන අවස්ථාවල රූමත් ලලනාවන් රජතුමා සමීපයේ රැඳී, රිදී පහන් තම  අත්ල මත දරමින් ආශිර්වාදාත්මක ගායනයන් පැවැත්වීම සිරිතක්ව පැවතුනි. සිංහල රජදරුවන් රජ වාසල  තමන් විඳී සෑම යස  ඉසුරක්, සැප සම්පතක්ම නොඅඩුව දළදා සමිඳුන් වෙනුවෙන් ද ඉටු කිරීමට වගබලා ගත්හ . ඒ අනුසාරයෙන්, රජුන්ගේ නියෝගයෙන් ආලත්ති බැම දළදා මාලිගාවේ චාරිත්‍ර අතරට එක්වූ බව පැවසේ.

ආලත්ති බෑම අතරේ  කවිකාර මඩුවේ වන්දීන් තාලයට ඉපැරණි දළදා සිංදුව ගායනය කරනු ශ්‍රවනය කළ හැකිය.

තුන් යාමය තුළම පංච තූර්ය නාදයෙන් දළදා සමිඳුන් පිදීම ඈත පුරාණයේ පටන් අද දක්වාම නොනැසී පවත්වා ගෙන එන වැදගත්  චාරිත්‍ර විධියකි . මාලිගයේ ස්ථාවර නීති පද්ධතියෙහි මෙම තූර්ය වාදනය හඳුන්වා ඇත්තේ සිංගාරාම නමිනි. සිංහල රජ දරුවන් මෙම කාර්යය ඉටු කිරීම සඳහා පළාත් හතරකින් පනික්කි නමින් හැඳින්වූ වාදක ප්‍රධානීන් සිවු දෙනෙක් පත් කර තිබිණි.

පංච තූර්ය නාදයෙන් දළදා සමිඳුන් පිදීම

දළදා මාලිගයේ රාජකාරිය – තේවාව ඉටු කිරීම සඳහා නුවර යුගයේ රජදරුවන් විසින් රජවාසල ඇතුල්කට්ටලයේ 21 දෙනෙක්ද පිට කට්ටලයේ 18 දෙනෙක් හා දියවඩන නිලමේ ප්‍රමුඛ නිළධාරීන් 41 දෙනෙක්ද පත්කර තිබුණි..  පෙර රජ දවස දළදා මාලිගයේ  ප්‍රධාන පාලකයා ලෙස කටයුතු කරනු ලැබූවේ මහා අධිකාරම් තැනය. 1853න් පසුව එම ධූරය දියවඩන නිලමේ වෙත හිමි විය.

රාජ නියමයෙන් දළදා මාලිගයෙහි සේවාව වෙනුවෙන් සිය මුළු මහත් ජීවිත කාලයම කැප කර සිටින නිලධාරීන් සමූහයකි.

කාරිය කෝරාල, වට්ටෝරු රාළ, කංකානම් රාළ, ගෙබ රාළ, මොහොට්ටාල, කොට්ටාල් බදු රාල, ආරච්චිල, දුම්බර පිදවිල්ලේ ආරච්චිල, හමුදා වාලේ මුරකාරයා, හක්ගෙඩි කාර අප්පු මෙම සේවක කොටස් අතුරෙන් වැදගත් තැනක් ගනී.

මාලිගයේ හැම ප්‍රශ්නයකදීම දියවඩන නිලමේ විසින් මුලින්ම කැඳවනු ලබන නිලධාරියා කාරිය කෝරාළය. මාලිගයේ අඩුපාඩු සොයා බලා ඒවා සම්පූර්ණ කිරීම මොහු වෙත පැවරි නිල කටයුත්ත විය. මුළු තැන් ගෙයි සිට හේම කද නමින් යුත් දන් පැස රැගෙන කත්තියන රාළලා පිටත් වූ සැනින් මාලිගය සිසාරා හක්ගෙඩි නද පැතිරෙයි. මේ හක්ගෙඩි කාර අප්පු තමන් වෙත පැවරි නිල කාර්යය ඉටු කරනු ලබන අවස්ථාවයි. කිසියම් හදිසි අවස්ථාවක් ඇති වුවහොත් මාලිගයේ සෙසු සේවකයින් කැඳවනු පිණිස හක්ගෙඩිකාර අප්පු හක් ගෙඩියක්ද අතැතිව රාත්‍රියේ මාලිගය මුර කිරීමේ වගකීමද ඉටු කරනු ලබයි . දළදා සමිඳුන් වෙනුවෙන් තේවාව කිරීම පිණිස සදා කැපවී සිටින මෙම නිලධාරීන්ගේ යැපීම පිණිස නුවර යුගයේ රජදරුවන් ඔවුන්ගේ භුක්තියට ඉඩකඩම්, ගම් බිම් ලියා දී ඇති බව ඉපැරණි ලේඛනවලින් සනාථ වේ.

kandy

Image Source : facebook 

දළදා මැදුර තුළ විවිධ අංශයන් හැඳින්වීම සඳහා ඒවාටම ආවේණික වූ විශේෂිත නම් ව්‍යාවහාරිතය . දළදා කරඞුව තැන්පත් කොට ඇති මංඩපය වැඩ ඉන්නා මංඩපය නම් වේ. උඩු මාලයට තරප්පුවෙන් ගොඩ වූ තැනම හමුවන්නේ සල පතළ මංඩපයයි. ඉන් ඔබ්බෙහි හඳුන් කූඩම නම් කොටස පිහිටියේය. බැතිමතුන් දනින් වැටී සමිඳුන් නමදින්නේ මෙහි සිටය.

දළදා මාලිගය හාත්පස ඵෙතිහාසික වැදගත් කමින් යුත් පරිවාර අංගෝපාංගයන් අතර, පත්තිරිප්පුවට සුවිශේෂ ස්ථානයක් හිමිවේ. මෙම මන බන්දනීය වූ  පත්තිරිප්පුව ශ්‍රී වික්‍රම රාජසිංහයන් විසින් කරවන ලද්දකි. පැරණි රජ දවස, ඉදිරිපස වූ මහ මළුවට රටවැසින් සමූහ වශයෙන් එක් රැස්වී රජතුමන්ට ආචාර සමාචාර පවත්වද්දී, රජතුමා පත්තිරිප්පුවේ සිට සිය ජනතාව අමතනු ලැබිණි. දළදා ප්‍රදර්ශනය පවත්වන අවස්ථාවලදී පත්තිරිප්පුව නොහොත් දැකුම් මණ්ඩපය වෙත පැමිණෙන රජතුමා, සියතින් ම දළදා වහන්සේ වැඩමවා මහමළුවේ රැස්ව සිටින ජනතාව වෙත පෑමද වාරිත්‍රයක්ව පැවතිනි. මහනුර සමයේ ඇති වූ ද්‍රවිඩ බලපෑම් නිසා, පාත්තු(බලනවා) +ඉරිප්පු (ඉඳගෙන)  යන ද්‍රවිඩ වදන් දෙක  සන්ධි වීමෙන් පත්තිරිප්පුව යන්න ව්‍යවහාරයට පැමිණියේය. මහ වාසලට අයත්ව පැවති පත්තිරිප්පුවත්, දළදා මාලිගයත් උඩරට ඉංග්‍රීසි අධිපත්‍යයට නතුවීමෙන් පසු ඉංග්‍රීසීන්ගේ භාරයට පත්විය. ඉංග්‍රීසී ආණ්ඩුව යටතෙහි මහනුවර දිස්ත්‍රික්කයෙහි පාලනය භාරව කටයුතු කළ ඩොයිලි 1815 අප්‍රේල් 13 වන දින පත්තිරිප්පුව තැවතත් මල්වතු අස්ගිරි විහාරද්වය වෙත පිරිනමනු ලැබීය.

ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com

මගේ රටට දළදා හිමි සරණයි

TAGGED:දළදා මැදුර
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Ravana king Ravana: The Real King of Sri Lanka – By Nadeeka – eLanka
Next Article SUNDAY CHOICE – Remind Me Dear Lord – By Charles Schokman
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
Never Give Up-eLanka

SUNDAY CHOICE – Shake it off and step up – by Charles Schokman

Sanga Sasuna Pura Sanda, සඟසසුන පුරසඳ, Nimal Sedera, Nimal Sedara, Donald Sarath Gunatillake, Wattegama Dhammawasa Maha Nayaka Thero, Ven Dhammawasa Thero, Buddhist biography, Sri Lankan Buddhist monk, Amarapura Nikaya, Maha Nayaka Thero, Buddha Sasana, Sri Lankan Buddhism, Buddhist leadership, Buddhist book review, Sinhala books, Sinhala biography, Buddhist literature, Subodharamaya Peradeniya, Forest Lake Buddhist Temple Brisbane, Brisbane Sri Lankan community, Buddhist temple Australia, Dhamma School, Buddhist education, Buddhist monks Sri Lanka, Buddhist community Australia, Peradeniya temple, Sri Lankan authors, inspirational Buddhist books, Buddhist spiritual leadership, Sri Lankan heritage, Buddhist culture, Pirivena education, Bhikkhu ordination, Buddhist social service, religious biography, Sinhala literature, Buddhist history, Sri Lankan community in Australia, Buddhist traditions, Buddhist values, Dhamma preaching, Buddhist temple development, Buddhist community service, Sri Lankan Buddhist culture, religious leadership, Buddhist inspiration, Buddhist publications, eLanka book review

Book Review: Sanga Sasuna Pura Sanda (සඟසසුන පුරසඳ) by Nimal Sedera – By Donald Sarath Gunatillake

Sri Lanka Appoints First Resident Permanent Representative to IRENA

Sri Lanka Appoints First Resident Permanent Representative to IRENA

From Village Tanks to Modern Crises: Why D.S. Senanayake’s Rural Vision Still Echoes Across Sri Lanka-by Harold Gunatillake

Cannes Lions-eLanka

Today – Ad Oscars, Bengal Bandits, medical breakthroughs and more!

Related News
Articles

Stars align for Australian Canadian Co-production now filming in Melbourne

Kokgala (Koggala)
Articles

Stories Behind the Names of Places in Sri Lanka: Kokgala (Koggala) – By Nimal Sedera

Black July 1983, Sri Lanka riots 1983, Colombo violence, Niranjan Selvadurai poem, May We Pass Brother poem, Sri Lankan civil unrest poetry, ethnic violence Sri Lanka, 1983 riots eyewitness account, Sri Lankan English poetry, historical poems Sri Lanka, mob violence Colombo, identity and survival Sri Lanka, cultural identity conflict, language and ethnicity Sri Lanka, road to safety poem, Sri Lankan diaspora literature, trauma poetry Sri Lanka, social commentary poetry, Sri Lankan history literature, Black July reflections, Colombo 1983 events
Articles

May We Pass Brother? – By Niranjan Selvadurai

Articles

National NAIDOC Week

Articles

Convenor’s Message – By Dr. Himaya S.W.A

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.