31/10/2026 නොවැම්බර් 03 දිනට යෙදෙන අමරදේව මහා ගාන්ධර්වයාගේ 10 වන මරණ සංවත්සරය-by Gamini Kariyawasam

Image Source:Mirrorarts
අමරදේව මතක ආවර්ජනා
සිංහල සංගීතයේ,ගීත සාහිත්‍යයේ නව ගමන් මගක් නිර්මාණය කළ පණ්ඩිත අමරදේව යුග පුරුෂයාණන්, 2016 නොවැම්බර් මස 03 වන දින, ශ්‍රී ජයවර්ධනපුර ශික්ෂණ රෝහලේදී සිය දිවි සැරියෙන් සමු ගෙන ,මෙම වසරේ නොවැම්බර් 03 දිනට දස වසරක් සපිරේ.මෙම මහා ගාන්ධර්වයාගේ 10 වන මරණ සංවත්සරය යෙදෙන මෙම අවස්ථාවේ, එතුමන්ට උපහාරයක් ලෙසින්, එතුමන්ගේ දිවි මංතලාවේ විසිතුරු පියසටහන්, වදන් වියමනකින් සිත්තම් කරන්නට මා විසින් ගත් ප්රයත්නයක ප්‍රතිඵලයක් ලෙසින් මෙම ලිපිය සලකා ගැනීම යෙහෙකි. එම වදන් සිත්තම සජීවීමක් කිරීම පිණිස ,එතුමා වෙනුවෙන් පබැඳි උපහාර ගීතය රසාස්වාදනයෙන් අනතුරුව, මෙම අනුස්මරණ ලිපිය කියවීමට සහෘද ඔබට ඇරයුම් කරමි.
අඩ සියවසකට අධික කාලයක් ගායන මාධුර්යයෙන් , වාද්‍ය මිහිරියාවෙන් මෙන්ම අරුත් බර , නිර්මාණශීලී පද සංයෝජනයෙන් රසික මනෝභාවයන් උද්දීපනය කළ ඔහු සිය සංගීත දිවිය ආරම්භ කලේ වයලීන් වාදකයෙකු ලෙසිණි .
Image Source:English.gossiplankanews
වඩු කාර්මිකයෙකු වූ වන්නකුවත්තවඩුගේ දොන් ජිනෝරිස් පෙරේරා සහ ඔහුගේ භාර්යාව වූ බලපුවාවඩුගේ මැගී වෙස්ලියානා මෙන්ඩිස් දෙමහල්ලන්ගේ බාල පුතනුවන් ලෙසින් ,වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා (අමරදේව ) ජන්ම ලාභය ලබන්නේ 1927 දෙසැම්බර් මස 05 වැනිදාය. ඒ මොරටුවේ කොරලවැල්ල නම් ගම්පියසෙහිය.ඔහු හැදී වැඩුනේ සහෝදරයන් හතර දෙනෙකු සහ සහෝදරියන් දෙදෙනෙකු ගේ ඇසුරෙහිය. ඇල්බට්ගේ වැඩිමහල් සහෝදරයා වූ ඩබ්ලිව්. ඩී. චාල්ස් පෙරේරා සංගීතය ප්‍රගුණ කළ අයෙකි..ඔහු ඇසුරින්,කුඩා ඇල්බට් සරිගම අත්පොත් තැබීය. ඔහුගේ පියා ,ජිනෝරිස් වඩු බාස් උන්නැහේත් වයලින් වාදනයට සමතෙකි. මෙතෝදිස්ත බැතිමතියක් වු මව මෙතෝදිස්ත පල්ලියේ ලයාන්විතව ගීතිකා ගායනා කළ කාන්තාවකි .මෙම සංකලනය, කුඩා අවදියේ ඔහුට විහාරස්ථානයේ මෙන් ම පල්ලියේ සස්කෘතිය හා ගායනා විලාශයන් හා සබැදි අත්දැකීම් වලින් පෝෂණය ලබන්නට අවස්ථාව සලසා දුන් සෙයකි.
සිය බාල පුතනුවන්ගේ සංගීත හැකියාවන් මැනවින් හදුනා ගෙන සිටි පියා,ඔහුගේ හත්වන උපන් දිනයේදී ,සියතින් තැනූ වයලීනයක්, ඔහුට ජන්ම දින තිලිණය ලෙස පිරිනැමුවේය.
ඇල්බට් සිය ප්‍රාථමික අධ්‍යාපනය කොරළවැල්ලේ ශ්‍රී සද්ධර්මෝදය විද්‍යාලයෙන් නිමා කර,වැඩිදුර අධ්‍යපනය , පානදුර ශ්‍රී සුමංගල, කළුතර විද්‍යාලය, බලපිටියේ සිද්ධාර්ථ විද්‍යාලය සහ මොරටුව විද්‍යාලය ආදී පාසල් ගණනාවකින් ලද බැව් සදහනි. මොරටු විද්‍යාලයේදී ඇල්බට් සිසුවා පද්‍ය ගායනා තරගයකින් ප්‍රථම ස්ථානය දිනාගති. සිය කුසලතා ඉදිරිපත් කිරීම පිණිස, දිවියේ මුල් වතාවට ගුවන්විදුලි කාර්යාලට පියමන් කිරීමේ භාග්‍යය මෙමගින් ඔහුට හිමි වෙයි.
දාහත් හැවිරිදි ගැටවර ඇල්බට්, ගවුස් මාස්ටර් ගේ,1947 අප්‍රේල් 09 වැනි දින තිරගතවූ “අශෝකමාලා” චිත්රපටයෙහි තාපසයාගේ චරිතය රඟපාමින් ‘ඇයි කරේ යමෙක් ආලේ’ සහ ‘භවේ භීත හැර දේශිත තිලොනා’යන ගී දෙක ගායනා .කිරීමේ දුර්ලභ අවස්ථාව හිමිකර ගනී.
“අශෝකමාලා” චිත්රපටයෙහි ඇල්බට් (අමරදේව ) තාපසයාගේ චරිතය රඟපාමින් ‘ඇයි කරේ යමෙක් ආලේ’ ගීතය ගායනයෙහි යෙදුනු නිමේෂය .>
මහාචාර්ය එදිරවීර සරච්චන්ද්‍රගේ ‘පබාවතී’ නාට්‍යයට පසුබිම් සංගීතය සම්පාදනයෙන් හා ගීත ගායනයෙන් සිංහල නාට්‍ය ක්ෂේස්ත්‍රය ද හේ දිග් විජය කළේය. ගුවන්විදුලියෙහි ගායන ශිල්පී වර්ගීකර්ණය සඳහා සපැමිණි භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාලයාධිපති ශ්‍රී රතන්ජංකර් පඬිතුමා විසින්, ඩබ්ලිව්. ඩී. ඇල්බට් පෙරේරා විශිෂ්ට ශ්‍රේණියේ ගායකයකු ලෙස නම් කරන ලදී.මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර , ලයනල් එදිරිසිංහ,ඩී. බී. ධනපාල යන වියතුන්ගෙන් ලද අනුග්‍රහයෙන් හෙතෙම ලක්නව්හි භාත්ඛණ්ඩේ සංගීත් විද්‍යා පීඨයට ඇතුළත්වුයේ අමරදේව යන කීර්තිමත් අමරණීය නාමය ද ආදේශ කරගෙනය.
භාත්ඛණ්ඩේ සංගීත් විද්‍යා පීඨයේදී අමරදේව ශ්‍රී විෂ්ණු ගෝවින්ද් ජෝග්, උස්මාන් ඛාන් වැනි ශ්‍රේෂ්ඨ සංගීතාචාර්යවරුන් වෙතින් ශ්රැති ,රාග ,තාල , ළය යන සිවු සංගීත ඥානය ද පරතෙරට උගත්තේ.1956 වසරේදී සංගීත හා වාද්‍ය විශාරද උපාධියෙන් ප්‍රථම පන්ති සාමාර්ථය ලබා ගන්නට ඔහු සමත් විය.චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය සඳහා ද, චිත්‍රපට පසුබිම් ගායනය සඳහා ද අමරදේවයන් දිනාගත් ජනාධිපති සම්මාන, සරසවි සම්මාන, ස්වර්ණ සංඛ සම්මාන, දීපශිඛා සම්මාන සංඛ්‍යාව අපමණය.
2001 දී පිලිපීනයේ Ramon Magsaysay සම්මානය ද , 2002 වසරේදී ඉන්දියාවෙන් පද්ම ශ්‍රී සම්මානය ද ,පේරාදෙණි, කැළණි,රුහුණු සරසවි ත්‍රීත්වයන් අචාර්ය උපාධියෙන් ද එතුමන්ට ගෞරව දක්වනු ලැබිණි. අමරදේවයන්ගේ අභාවයෙන් පසුව ,2017 දී ශ්‍රී ලංකා රජය විසින්, ශ්‍රී ලංකාභිමාන්‍ය ඉහළම ජාතික ගෞරව සම්මානය පුද කරමින්, එතුමන්ගේ ශ්‍රීනාමය අගය කළේය.
මෙපරිද්දෙන් දේශයේ හා ජාත්‍යන්තරයේ යශෝරාවයට පත් වුවද ,අමරදේවයන් දිවිපෙවෙත ඉතා සරලය.අනතිමානී ගුණයෙන් පිරිපුන්ය.ලෝකයා එතුමන් දෙපාමුල සම්මාන ,ආචාර්ය පට්ටම් සහසක් ඇතිරුවද ,එතුමා මිහි මත පය තබා දිවිගෙවූ සාමාන්‍ය පුද්ගලයෙක් විය.බුද්ධිමත් මිනිසුන්,රසිකයන් ප්‍රිය කලේ ඒ සරලකමටය. අමරදේවයන්ගේ මුළු දිවිපෙවෙත පුරා විද්‍යාමානවූයේද අව්‍යාජ්‍ය වූ ඒ උත්තරීතර සරල ස්වභාවයයි.
ගායන ක්ෂේස්ත්‍රයෙහි ඔහු පෑ අභිමන් විකුමන් විමසත්ම,සිරුරින් කුඩා මේ සොදුරු මිනිසාගේ ,යෝධ සංගීත විශාරදත්වයේ මහිමය මෙතෙකැයි කියා නිම කළ නොහැකි සෙයක් හැගේ.චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ භාව පුර්ණ පද සංයෝජනයක් ,සිය භාවාත්මක මියුරු සරින් පමණක් නොව, තම විපුල සංගීත ඥානයෙන් වර්ණවත් කර,මනෝරම්‍ය හැගුම්බර ගීතයක් බවට පත්කළ අපුර්වතාව,පහත දැක්වෙන ගීතයෙන් තීව්ර ලෙස ගම්‍ය වේ.

ජගන් මෝහිනී
“ප්‍රේම තටාකේ මේකයි මැණිකේ
ආදර රැල්ලයි අර දිව යන්නේ//
අභිමන් අභිමන් කියලයි මැණිකේ
ඒ රැලි ඉවුරෙ වදින්නේ..” >
අමරදේව ශූරීන්,වජිරා බාලසූරිය සමඟ සුගායනෙහි යෙදෙන තත් ගීතයෙන් ,යොවුන් පෙම්වතුන් යුවළක දෙහද නිපන් ප්‍රේමනීය සිතුවිලි දාමයක චමත්කාරය, හාත්පස සොබා පරිසරයේ උපමා රූපක තුළින් සජීවීව මතු කරවන සුළුය.
1959 අමරදේවයන්ගේ සෞන්ධර්ය චාරිකාවේ හැරවුම් ලක්ෂය සනිටුහන්වූ වසරක් වේ. අමරදේවයන් ගුවන්විදුලියේ වාදක මණ්ඩල ප්‍රධානී තනතුරින් පිදුම් ලබන්නේ එම වර්ෂයේ දීය. එහිදී තවත් දෛවෝපගත සිදුවීමකින් ඔහුගේ සංගීත වන්දනා චාරිකාව නව ජීවනයක් ලබයි.
1960 වසරේදී මහගම සේකර ගුරු වෘත්තිය හැරදා , නිබන්ධ සම්පාදකයකු ලෙස ගුවන්විදුලියට බැඳුණේය.සේකරයන්ගේ එම ආගමනය අප දකින්නේ අමරදේවයන් හා බැදී පැවති පෙර සසර සැරූ හුරුවේ ප්‍රතිපලයක් ලෙසිනි. සේකරයන් හා අමරදේවයන් පළමු වතාවට නිර්මාණාත්මකව එක්වූයේ ගුවන්විදුලි මහගෙදරදීය.මහාචාර්ය සරච්චන්ද්‍රයන් ගේ මග පෙන්වීම යටතේ,ගුවන්විදුලි ඉතිහාසයේ නොමියෙන ‘මධුවන්ති’ සංගීත දැහැන අමරදේව සේකර යුග පුරුෂයින් අතින් නිර්මාණවේ. ‘මධුවන්ති’සංගීත දැහැන,ගුවන්විදුලි තරංග ඔස්සේ ගම් නියං ගම් තරණය කරන්නේ,ශ්‍රාවක මනෝ භාවයන් ඒකාත්මික කරමිනි.‘‘මධුවන්ති’ සංගීතමය විචිත්‍රාංගයට එකී නම යොදන ලද්දේ ද අමරදේවයන් විසිනි. උත්තර භාරතී රාග පද්ධතියේ මධුවන්තී නමින් රාගයක් පවතින බව මෙහිලා වෙසෙසින් සදහන් කළ යුතුය.

මළ ඉර බසිනා හැන්දෑ යාමේ’ ගීතය අමරදේව – සේකර නිර්මාණ සුසංයෝගයේ පළමු ඵලය වෙයි
ඈත කඳුකර හිමව්අරණේ’අමරදේව, සේකර නිර්මාණ සුසංයෝගයේ අග්‍රඵලයක් ලෙස නිපන් තවත් ප්රශස්ත ගීතයකි.එය නිර්මාණය වන්නේ චිත්රසේනයන්ගේ ‘නළ දමයන්ති’ ඉඟි නළුවේ තේමා ගීතය ලෙසිනි.
“මධුවන්ති”ගුවන්විදුලි වැඩසටහනට ,සේකර නිර්මාණය කළ අමරදේව ඔහු හා එකාත්මිකව සප්ත ස්වරයට නගාලූ ,”රත්න දීප ජන්ම භූමි“ සමස්ත ජාතියේ ඒ මහත් අභිනන්දනයට බඳුන් වූ,දේශ වාත්සල්‍ය කුළුගන්වන සුළුවූ හැගුම්බර ගීතයකි.
රත්න දීප ජන්ම භූමි >
ජනම භූමිය රත්න දීපයකැයි රූපකාර්ථයෙන් ගෙන ඇත්තේ ඒ සියලු ගුණ ජන්ම භූමියේ ඇති බැවිනැයි ශ්‍රාවක සිතට ග්‍රහනයවේ..මෙහිදී සංස්කෘත සාහිත්‍යයෙහි ජන්ම භූමිය හදුන්වා ඇති ස්වරූපය නිතැතින් ම අප සිහියට නැගේ.ඒ කෙසේද යත්, ජන්ම භූමිය මවට සමාන කරමිනි. ස්වර්ගයට අසමාන කරමිනි. ස්වර්ගය පහත හෙලමිනි.
මහගමසේකර, අමරදේව සුසංයෝගය,සිංහල සිනිමා වංශය වෙත ද ලබාදුන්නේ ප්රාතිහාර්යාත්මක ආලෝකයකි. ‘සත්සමුදුර’ (සිනිඳු සුදු මුතු තලාවේ),‘පරසතුමල්’ (තොලින් තොලට වෑහෙන ගී සින්දූ), ‘රන්සළු’ (සිරිපා පියුමේ)වන් ගීත ඊට නිදසුන්ය.
අමරදේවයන් සතුවූ හඬ පෞරුෂය හා බැදි ප්‍රතිභාව අසන්නන් දැහැන් ගත කිරීමට ඉවහල් වන සුවිශේෂී ඉරියවු පද්ධතියක් ද ,ඔහුගේ ගායන විලාශයේ දී මතුවන අයුරු එදවස මම නිරීක්ෂණය කළෙමි. එතුමන් සිය හිස , දෑත සහ සිරුර ගීතයේ භාවයන් අනුව නම්‍යශීලී ලෙසින් මෙහෙයවන්නේ ,රසිකයන් සිත් ඇදගන්නා ආකාරයෙනි.
1963 වසරේ අගෝස්තු 27 වැනිදා,අමරදේවයන්,දිගුකාලීන පෙම් සබැදියාවකින් පසුව විමලා සමග යුග දිවියට පිවිසේ.ඇය දක්ෂ ජන ගී ගායිකාවක් සහ නර්තන ශිල්පිනියකි. විවාහයේ සාක්ෂිකරුවන් වුයේ එච්.එම්. ගුණසේකර හා මහගමසේකර යන දෙදෙනායි. එම විවාහයෙන් අමරදේව විමලා යුවළ එක් පුතෙක් (රංජන් ) සහ දියණියන් දෙ දෙනෙක් (සුභානි, ප්‍රියංවදා) ලදහ.ඔවුහු ද දක්ෂ ගායන ශිල්පින්ය .

Image Source:Dailymirror
අමරදේවයන් සිය බිරින්දෑ විමලාවන් සමග,ජනගී ආර ඇසුරින් නිර්මාණිත යුග ගී රාශියක් ගීත සාහිත්‍යයට දායාද කර ඇත.
අමරදේව සංගීත වාද්‍ය වෘන්ධය රන්ජන්,සුභානි,ප්‍රියංවදා තිදෙනා සහ සිය බිරිද විමලාවන් සමග අමරදේව ශුරීන්
දේ කුමුදු මලේ සිරියා
සඳ කාන්ති වැදී සෞම්‍යා
එයි නැගී හද ප්‍රේම තරංගා
මේ අමා දහරේ
නෙක තුරුලිය නැළැවෙන්නේ
මේ සීතල මඳ පවනේ….”
අමරදේව ශූරීන් වෙත වැඩිම ගීත සංඛ්‍යාවක් නිර්මාණය කර ඇත්තේ ආචාර්ය සුනිල් සරත් පෙරේරා සුමිතුරාණන් විසිනි. සුනිල් අමරදේවයන් වෙනුවෙන් නිර්මාණය කළ අවසන් ගීතය ලෙස සැලකෙන්නේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති තේමා ගීතයයි.අමරදේව ශූරීන්ගේ ප්‍රධානත්වයෙන් ගායනය කරන මෙම ගීතයෙහි සහාය ගායනයට සනත් නන්දසිරි, නන්දා මාලිනී, අමරසිරි පීරිස් ඇතුළු ප්රබුද්ධ ගායක පිරිසක්ද සහභාගි වී ඇත.
අමරදේව ශූරීන් වෙත වැඩිම ගීත සංඛ්‍යාවක් නිර්මාණය කර ඇත්තේ ආචාර්ය සුනිල් සරත් පෙරේරා සුමිතුරාණන් විසිනි. සුනිල් අමරදේවයන් වෙනුවෙන් නිර්මාණය කළ අවසන් ගීතය ලෙස සැලකෙන්නේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති තේමා ගීතයයි.අමරදේව ශූරීන්ගේ ප්‍රධානත්වයෙන් ගායනය කරන මෙම ගීතයෙහි සහාය ගායනයට සනත් නන්දසිරි, නන්දා මාලිනී, අමරසිරි පීරිස් ඇතුළු ප්රබුද්ධ ගායක පිරිසක්ද සහභාගි වී ඇත.
මෙම මහා සංගීතඥ ප්‍රඥයා විසින්, “ නාද චිත්තම්” ,”සංගීත සංකල්ප විශ්ලේෂණ” නමින් ග්රන්ථ ද්වයක් ද සිංහල සාහිත්‍ය වංශයට තිළිණ කර ඇත.

අමරදේව ශූරීන් හා සබැඳි,අමරණීය මතක සටහන්
මගේ වෘත්තීය ජීවිතයේ දී ,අමරදේව ශුරීන් ඉතා සමීපයෙන් ඇසුරු කිරීමේ භාග්‍ය මා වෙත උරුම විය. මට එතුමන් මුලින්ම හමුවන්නේ මා ජාතික ගුවන්විදුලියේ ශබ්ධ පරිපාලකවරයෙක් ලෙසින් සේවයෙහි නිරතව සිටි හැත්තෑව දශකයේ අවසාන භාගයෙහිදීය. ඒ සමයෙහිය එක්තරා දිනෙක එතුමාගේ සරළ ගී වැඩසටහනක්, ගුවන්විදුලියේ 05 වන මැදිරියේ පටිගත කිරීමේ හා හඩ හැසිරවීමේ රාජකාරිය පැවරී පැවතියේ මා වෙතය.අමරදේවයන් වැඩසටහනේ මුල් ගීතය ගායනා කර මැදිරියෙන් බැහැරව ගොස් බොහෝ වෙලා ගත විය.මධ්‍යහන 12 ට ආසන්නය. වාදක මණ්ඩලය දිවා ආහාරයට යාමට මහත් නොඉවසිල්ලෙන් පසුවන අයුරු ද දිටිමි. මා,ගුවන්විදුලියේ ආපන ශාලාව ඇතුළු සියලු තැන් පීරමින් එතුමා සෙවීමෙහි උත්සාහයක යෙදිණි.අවසානයේ එතුමා ,ගුවන්විදුලියේ පළමුවන මැදිරියේ හුදකලාව, තම හිස, එහි වූ පියානෝව මත තබාගෙන නින්දේ පසුවනු දිටිමි.
“මාස්ටර් , සැප නිදක වගේ,වාදක මණ්ඩලය ගායකයා රෙකෝඩින් එකට එනකං බලා ඉන්නවා… “මම පැවසීමි.“මා නින්දක් දැම්ම නොවයි ගාමිණී ,මම අලස සුවය විදිමින් හිටියේ…” හේ පිළිවදන් දිණි.එක දිගට ගීත කිහිපයක් පටිගත කිරීමේදී ,ඒ අතරතුර නිසල,නිහඩ තැනකටවී ,අලස සුවයක් විද ගැනීම ඔහුගේ ජීවිතයට ආවේනික හුරුවක් බව මා පසුව අවබෝධ කර ගතිමි.
මගේ වෘත්තීය දිවියේදී දෙවන වර මට අමරදේව ශුරීන් හමුවන්නේ,මා ස්වාධීන රූපවාහිනි සේවයේ සාමාන්‍යාධිකාරී ලෙස සේවයෙහි නිරතව සිටි සමයෙහිය. ඒ ඔහුගේ අමරණීය ගීත සමුදායක් ,රූපවාහිනී ගත කිරීම පිණිස,යෝග්‍ය පරිසරයක් සොයා ඔහු සමග කිතුල්ගල ගම්පෙත වෙත ගිය අවස්ථාවෙහිදීය.එම ගමනට ආයතනයේ ජ්‍යෙෂ්ඨ කාර්මික නිලධාරී නිහාල් අබේසූරිය මහතා ද අප හා එක් විය. අප දින කිහිපයක් කිතුල්ගල තානායමේ නැවතී, කැලණි ගං තෙර සහ අවට සොඳුරු වනපෙත් පසුබිම් කර ගනිමින් , අමර දෙව් අමරණීය ගීත කිහිපයක් රූපවාහිනී ගතකර ගැනීමට යුහුසුලු වූවෙමු. පටිගත කිරීම් නිමාවීමෙන් පසුව , මෙම සෞන්දර්ය වේදියානන් සමඟ කැලණි නදියට බැස, සිහිල් ජලයෙන් විඩාව නිවාගත් අයුරු මගේ මතකයේ රැඳී පවතී. තානායමේදී අප රාත්‍රී ආහාරය ලබා ගත්තේ මද මදු විතකින්ද සප්පායම් වෙමිනි. එම නිමේෂයේ, ඔහු සිය අතීත අත්දැකීම් අප හමුවේ සිත්තම් කළේ හෘදයාංගම ලෙන්ගතු ස්වරූපයකින්ය.
මා ආයුර්වේද කොමසාරිස් ලෙස නාවින්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සේවයෙහි නිරතව සිටි කාල වකවානුවෙහි,තෙවන වරටද ,අමරදේවයන් හා සමීප ඇසුරට එක් වීමේ භාග්‍ය උදාවිය. එතුමන් පදිංචිව සිටියේ,මගේ කාර්යාලය ආසන්නයේම පිහිටි නාලන්දාරාම මාවතේය. දිනපතා උදෑසන ,නාවින්න ඔසු උයනෙහි,සුවතාව පතා වටයක් දෙකක් ඇවිද ,මා සමග ඔසු කැද කෝප්පයක රස බලන්නට මගේ කාර්යාලට පැමිණීම සිරිතක්ව පැවතිනි.මද වේලාවක් ඔහු හා සතුටු සාමීචියේ යෙදීමෙන් මා මහත් ආස්වාදයක් ලද අයුරු සිහිපත්වේ.
ආයුර්වේදයේ ප්‍රඥාවේ හරය කාලානුරූපී ගීතයකට ග්‍රහණය කර ගනිමින් මවිසින් එම අවදියේ ආයුර්වේද නව තේමා ගීතයක් නිර්මාණය කළෙමි . එම සරල ,සුමට විචිත්‍රවත් පද රචනයේ හරයට, යෝග්‍ය තනුවකින් ජීවය ලබා දෙමින් ,මගේ ඇරයුමින් අමරදේවයන් සිය භාවපුර්ණ ,ආධ්‍යාත්මික සරින් එම ගීතය ගායනය කළේය.ආයුර්වේද තේමා ගීතය >
ඊට අදාලව, 1999 ජුලි 6 වන දින ඩබ්.ඩී.අමරදේව ගාන්ධර්වයා වෙත මවිසින් යොමු කළ ලිපියට, එතුමන් විසින් එවන ලද ලිපියේ ඡායස්ථ පිටපතක් පහතින් හුවා දක්වන්නේ ,අමරදේව ශුරීන්ගේ අත්අකුරු වල කලාත්මක ස්වභාවය පාඨකයාගේ අවධානයට යොමු කිරීම උදෙසාය.

1993දෙසැම්බර් මස 05 වන දිනට යෙදී තිබූ,අමරදේවයන්ගේ 66 වන ජන්ම දිනය වෙනුවෙන්, එවකට ගුවන් විදුලි අධ්යක්ෂ ජනරාල් වරයා වශයෙන් මවිසින් එතුමන්ට සුවිශේෂී මුහුමන් දැක්වීමේ උත්සවයක්,ගුවන් විදුලියේ හයවැනි මැදිරියෙහි සංවිධානය කරනු ලැබිණි. උත්සවය අවසානයේ මා එතුමන් සමඟ පෙනී සිටි ඡායාරූපයක්.


අමරදේව ශුරීන් දැයෙන් සමු ගෙන 10 වසරක් සපිරෙන නිමේෂයේ, එතුමන් ගේ අවසන් ගායනයේ පද වැල් කිහිපය මා මතකයට නැගේ. “ බිම් කරුවල විත් නිම්නයෙ වැතිරී
පාණ්ඩු පාටින් අඳුරු වෙවී
කඳු මුදුනෙන් බැස සීතල ගඟදිය
මා මළ දවසේ නිදනා තණ බිම
ගඟ එගොඩහින් යන්නන්ට පෙනේ …..”

පණ්ඩිත අමරදේව යුග පුරුෂයාණන් ගේ දස වන මරණ සංවත්සරය යෙදෙන 2026 නොවැම්බර් මස 03 වන දින,පැලවත්ත අපේගම පරිශ්‍රයේ ස්ථාපිත අමරදේව සෞන්දර්යය සහ පර්යේෂණ කේන්ද්‍රයේ දී පැවැත්වේ. අමරදේව සුසාන ඝරයට, පුෂ්පෝපහාර දැක්වීම,ආගමික සහ සංස්කෘතික අමාත්‍ය ආචාර්ය සුනිල් සෙනවි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
අනතුරුව අපේ ගම රංග ශාලාවේදී, අමර ගීත ප්‍රසංගය ආරම්භවේ. මුඛ්‍ය දේශනය මහාචාර්ය සරත් විජේසුරිය ශුරීන් ගෙනි. සහෘද ආමන්ත්‍රණය,සෞන්දර්යය සහ පර්යේෂණ කේන්ද්‍රයේ සභාපති බුද්ධදාස ගලප්පත්ති මහතා විසින් සිදු කරනු ඇත.
At eLanka, we respect the rights of creators. If we have used an image you own and you’d like it removed, please email us at info@elanka.com.au and we’ll handle it promptly.
Thanks.
eLanka team
eLanka Disclaimer
Content published on eLanka may be created by the eLanka team, submitted by contributors or third parties, reproduced or adapted from other sources with appropriate source acknowledgement, or provided as promotional/advertising material by our clients. While eLanka takes reasonable care in preparing and publishing content, we do not warrant its completeness or accuracy. Views expressed are those of the respective authors or contributors and do not necessarily represent the views of eLanka. Third-party contributors, content providers and advertisers are responsible for the accuracy of material they supply and for ensuring they hold the necessary rights and permissions for its publication. Advertising and promotional content should not be regarded as an endorsement by eLanka of any product, service or claim.







