The Love Story of Radha and Krishna-by Gamini Kariyawasam

Image Source:Natyasutraonline
“ හිම දියවී හිමාලයේ
යමුනා ගඟ නගයි තරංගා..
සුදු පෙණ කැටි බලන්න රාධා..
සුළඟ හමයි සීතල සාදා..
සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා..”
යමුනා නදියේ ඇරැඹුම සිදුවන්නේ ,හිම වැතිරී හිමාලය පව්වෙනි . දිය වන හිම, යමුනා ගඟේ ජල ප්‍රවාහය විලසින් නලියමින් පෙරට ගලා යන්නීය. සීතල හිම, උණුසුමේ පහසින් රැලි නගමින් ගලායන්නේ රාධා සහ ක්‍රිෂ්ණා ප්‍රේමයෙන් මංමත් වී, උණුසුම් වී ඇති බව ව්‍යංගයෙන් කොඳුරන්නා සේය.රාධා සහ ක්‍රිෂ්ණා යමුනා නදී තෙර ගල් තලාවක් මත වැතිර සිටි සොඳුරු නිමේෂයකි. ගඟ දිය,ගලින් ගල වැදී විසිරී, සුදු පෙණ කැටි විසිරෙන්නේ , ඔවුන් සිත් සතන්හි , නිරායාසයෙන් ම අනුරාගී හැඟීම් පුබුදාලමිනි.
“සිනා රැලි නගා උතුරණ
ඔය හදවත් නීල ජලාසේ..
පීණන මේ ස්වර්ණ හංසයෝ..
අකීකරුද මෙතරම් රාධා..”
පෙම්වතිය ළමැද ස්වර්ණ හංසයන් සදිසි පුන් පියයුරු, නීල ජලාශයේ දිය රැළි අතර තෙරපී ඔබ මොඹ සළිත වෙයි.
“ ඉඩ දී දෙන්නට දඩුවම්
දෑස පියා ගන්නම් ක්‍රිෂ්ණා..”
ඉඩ දී දෙන්නට දඩුවම්, යනුවෙන් ව්‍යංගයෙන් පැවසෙන්නේ, තම ලැම හංසයන් තෙරපමින් , කැමති ඕනෑම දඬුවමක් දීමට, ක්‍රිෂ්ණාට ඉඩ දී දෑස පියාගෙන ඒ සුව විඳීමට රාධා දැඩි ආශක්ත සිතකින් පසුවන සෙයකි. “දෑස පියාගෙන “යන ඖචිත්‍ය ගැබ් වූ ක්‍රියාපදයෙන් ක්‍රිෂ්ණාවන් දෑතින් තම ළමැද ස්පර්ශයේදී ,රාධා සිත්හි නළියන ,භාවාත්මක ආශ්වාදනීය හැගුම් සමුදාය මොනවට මතු කරනා සුළුය.
මා සරසවි අධ්‍යාපනය ලබමින් සිටි යොවුන් වියේ, ගීත ගෝවින්දය සහ එම අමරණීය කාව්‍ය නිර්මාණය කළ, භාරතයේ ජයදේවයන් පිලිබදව අධ්‍යයනය කළ විසිතුරු තොරතුරු, ( ධම්මික බණ්ඩාර ලියු,අමරසිරි පීරිස්,වසන්තා තිලකාංගනී සුගායනයේ යෙදෙන) හිම දියවී හිමාලයේ…..ගීතය ශ්‍රවණයේදී මගේ මතකයට ගලා ආවේ නිරායාසයෙනි.එම මතකයන් ආශ්‍රයෙන් , මෙවන් ලිපියක්,නිර්මාණයෙහිලා මා සිත් පොළඹවනු ලැබිණි.
Image Source:Amazon
එම ගීතයට මුලාශ්‍ර වී ඇත්තේ, සංස්කෘත සාහිත්‍යයේ,ශ්‍රී ජයදේව නම් වූ පඬිවරයා විසින්,නිර්මාණය කරන ලද ,ගීත ගොවින්දයේ එන රාධා ක්‍රිෂ්ණා ප්‍රේම පුරාවෘත්තයේ අවසන් පද්‍ය කිහිපයයි.
එම ගීතය නිර්මාණය කළ ,ධම්මික බණ්ඩාර ශුරීන් යථෝක්ත ගීතය පිලිබදව මවන සිත්තමක විසිතුරු ග්‍රහණයෙන් අනතුරුව මෙම ලිපිය කියවීම යෙහෙකි.
මෙම ගීතමය විශිෂ්ඨ කෘතිය භක්ති ගීත කාව්‍යයක් පමණක් නොව ඉන්දියානු සෞන්දර්යය, සංගීතය සහ නර්තන සම්ප්‍රදායන්, සියුම් ලෙස හැඩගැස්වූ කලා කෘතියකි.
ගීත ගොවීන්දය නිර්මාණය කළ ජයදේව.-
Image Source:Wikipedia
භාරතයේ,පුරි ප්‍රාන්තයේ ජගන්නාත් දේවාල පරිශ්‍රය ආශ්‍රිත පුරාවිද්‍යාඥ කැනීම් වලින් මතු කරගත්,ජයදේවයන්ගේ ඓතිහාසික ප්‍රතිමාව
ශ්‍රී ජයදේව ගෝස්වාමි බෙංගාලයේ රජු වූ ශ්‍රී ලක්ෂ්මණ සේනගේ මාලිගාවේ ප්‍රධාන පුරෝහිත ලෙස සේවය කළේය. ජයදේවයන් උපත ලබන්නේ පූරි කලාපයේ ප්‍රාචි නිම්නයේ ප්‍රධාන වශයෙන් බ්‍රාහ්මණයන් වාසය කළ ශාසනික ගම්මානයක් වන කෙන්ඩුලි හි ය.
ජයදේව සහ ප්‍රවීණ නර්තන ශිල්පිනියක්වූ ඔහුගේ බිරිඳ පද්මාවතී, තරුණ වියේ සිට ශ්‍රී ක්‍රිෂ්ණා දෙවිදුන් මහත් බැතියෙන් ඇදහූ යුවළක් වූහ.
ජයදේව කාව්‍යමය දක්ෂයෙකුට අමතරව දක්ෂ සංගීතඥයෙකු සහ නර්තන ශිල්පියෙකු ද විය. ජයදේවයන්ගේ පන්හිදෙන් නිපන් ගීත ,පද්මාවතිය ඇගේ නර්තනයෙන් සජීවීමත් කළාය. මෙම යුවළගේ අමරණීය සංයුතියෙන් , සංගීත වීර කාව්‍යයක් සහ නිර්මල භක්තියේ ස්මාරකයක් බිහි විය.
ගීත ගෝවින්දය නිර්මාණය කර නිමාවීමෙන් අනතුරුව , ජයදේව ජගන්නාථ පූරි වෙත ගොස් ,සිය ජීවිතයේ අවසාන භාගය එහි සන්සුන් දිවියක් ගත කළේය. ජගන්නාථ දෙවියන්ගේ සතුට සඳහා ඔහු දිනපතා දේවමාළිගාවේ ගීත ගෝවින්දයේ ගී ගායනය හඳුන්වා දුන්නේය.
ඉන්දියාවේ සාහිත්‍ය හා සංගීත සම්ප්‍රදායන් තුළ ජයදේව ඉතා ගෞරවයෙන් සලකනු ලැබේ.
සංස්කෘත සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨ කවියෙකු ලෙස ඔහුගේ පෞරුෂය අවිවාදිත ය. ජයදේවයන් ක්‍රිෂ්ණ දෙවියන්ගේ බැතිමතෙකු වූ අතර, ඔහුගේ කාව්‍ය දිව්‍යමය , අධ්‍යාත්මික එකමුතුවක් පිළිබිඹු කරයි.
ගීත ගෝවින්දය
Image Source:Amazon
මෙම ග්‍රන්ථය පරිච්ඡේද 12 කට පෙළ ගස්වා ඇති ගීතමය කාව්‍යයකි. සෑම පරිච්ඡේදයක්ම ප්‍රබන්ධ ලෙස හඳුන්වන අනු කොටස් 24 කට තවදුරටත් උප-බෙදීම් කර ඇත.
ගීත ගෝවින්දය ආරම්භ වන්නේ දසාවතාර ස්තෝත්‍රයකින් ය. ජයදේවයන්ගේ දසාවතාර අතර , බුදුන් වහන්සේ විෂ්ණුගේ අවතාරයක් වන බැව් සදහනි.
ඒ සෑම ගීතයක්ම ප්‍රබන්ධය කර ඇත්තේ ගායනය කළ හැකි රිද්මයානුකූල,භාව පූර්ණ පදමාලාවකිනි . කේන්ද්‍රීය තේමාව වන්නේ ක්‍රිෂ්ණ සහ රාධා අතර ආදරය, අනුරාගය , විරහව සහ ප්‍රීතිමත් සංයෝගය යන සිව් අවස්ථා නිරූපණයයි.
සංවේදී නමුත් අධ්‍යාත්මික, සෞන්දර්යාත්මක නමුත් භක්තිමත්, සංස්කෘත අලංකරනයේ අද්විතීය සංකලනයක් ,ගීත ගොවින්දය අප මනසට සමීප කරවයි.
රාධා සහ ක්‍රිෂ්නා –
Image Source:Pinterest
භාරතීය පුරාවෘත්තයන්හි අසංඛ්‍යාත කථා අතර, රාධා සහ ක්‍රිෂ්ණාවන් ගේ ආදරය තරම් භක්තියෙන්, අලංකාරයෙන් සහ අතික්‍රමණයෙන් සාහිත්‍ය වංශය ඔප් නැංවු වෙනත් කතාවක් මගේ මතකයට නොනැගේ . ඔවුන්ගේ ආත්මීය සුසංයෝගය , සජීවීමත් ලෙසින් ඉදිරිපත් කිරීමට, ශ්‍රී ජය දේව ඍෂිවරයා දක්වා ඇති සාමාර්ථතාව සුළුපටු නොවේ.
කාලයෙන් ඔබ්බට ආදරයේ සංකේතය.-
Image Source:Shutterstock
රාධා සහ ක්‍රිෂ්ණා යනු හුදෙක් ඉතිහාස හෝ මිථ්‍යා කථා වල චරිත නොවේ. ඔවුන් ලෞකිකත්වයෙන් ඔබ්බට ගොස් අධ්‍යාත්මික ක්ෂේත්‍රයට ඇතුළු වන ප්‍රේමයේ පරමාදර්ශයක් මූර්තිමත් කරවයි. වෘන්දා වනයේ සෙල්ලක්කාර ගෝ පාලකයා වන ක්‍රිෂ්ණා, විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් ලෙස වන්දනාමානයට පාත්‍රවේ. රාධා නියෝජනය කරන්නේ ක්‍රිෂ්ණා වෙනුවෙන් ම හදවත ස්පන්දනය වන උත්තරීතර සෙනෙහෙවන්තියක ලෙසිනි. ඔවුන්ගේ ආදර කතාව සමාජ සම්මුතිවලින්, විවාහයෙන් හෝ ලෞකික බැඳීම් වලින් තොරය.
Image Source:Pinterest
උතුරු ඉන්දියාවේ පුජනීය වෘන්දා වනය ඔවුන්ගේ සිත් ඇදගන්නා කතාවට පසුබිම් වේ. මෙහිදී, ක්‍රිෂ්ණාගේ නළා රිද්මය වනාන්තරය සසල කරමින් දෝංකාර දෙන සෙයක් හැගේ. ඔහු සමඟ රඟන්නට ගෝපිකාවන් (ගව කන්‍යාවන්) කැඳවයි. ඔවුන් අතර, රාධා උත්තරීතර වූවාය – ක්‍රිෂ්ණා වෙනුවෙන් ඇගේ ආදරය, ඇගේ ආශාව සහ ඇගේ ස්නේහය අසමසම විය.
භාරත සමාජයේ රාධා: භක්තියේ ආත්මය ලෙසින් ඇඟයුමට බඳුන්වේ.
රාධා ප්‍රධාන ගෝපි ළදුන් වශී කළ ඔහුගේ නළාවේ සුමියුරු රිද්මය දේව කැඳවීම සංකේතවත් කරයි.
Image Source:Shutterstock
ගීත ගෝවින්දයේ දාර්ශනික අර්ථය සහ සංස්කෘතික උරුමය–
රාධා-ක්‍රිෂ්ණා සබැඳියාව දාර්ශනිකයන් විසින් විග්‍රහ කර ඇත්තේ අපරිමිත හා අසීමාන්තික සංයෝගයක් ලෙසිනි.
12 වන සියවසේ ජයදේවගේ ගීත ගෝවින්දයේ සිට නූතන ගීත, නැටුම් සහ කලා අසංඛ්‍යාත කෘතීන් වෙත රාධා සහ ක්‍රිෂ්ණාගේ කතාව ආභාසය ලබා දී ඇත. චිත්‍ර ශිල්පීන් කදම්බ ගස් සෙවනේ ඔවුන්ගේ මන බන්ධනීය හැසිරීම් රටා ග්‍රහණය කර ඇත. කවියන් රාධාගේ සියුම් ලෙන්ගතු ස්වභාවයේ මහිම සහ ක්‍රිෂ්ණාගේ බට නළාවේ දෝංකාරය ප්‍රතිනිර්මාණය කර ඇත. නර්තන ශිල්පීන් රාධා ක්‍රිෂ්ණා ගේ සියුම් වැළඳ ගැනීම් ,හැසීරීම් රටා යළි යළිත් වේදිකාවේ සජීවීමත් කර ඇත. අද පවා, මෙම අමරණීය ප්‍රේමයේ ගිනි සීළු සජීවීමත් කරමින්, ඉන්දියාව පුරා සහ ඉන් ඔබ්බෙහි ඇති හින්දු කෝවිල් “රාධා ක්‍රිෂ්ණා” ගායනාවලියෙන් ගිගුම් දෙයි.
රාධා සහ ක්‍රිෂ්ණාගේ කතාවෙන් ගම්‍ය වන්නේ, හුදෙක් දිව්‍යමය යුවළක ප්‍රේමණීය වෘතාන්තයක් පමණක් නොවේ. එය අප මානව සංහතිය ම,නිරායාසයෙන්ම වැළඳ ගැනීමට රිසි ,ස්ත්‍රීන් සහ පුරුෂයන්ගේ අධ්‍යාත්මික මෙන්ම අනුරාගී අපේක්ෂාවන්ගේ මුඛ්‍ය ස්වරූපයයි.
Image Source:Shutterstock
ඉන්දියාවේ මහිපල්පුර් හි ,දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපල ඉදී රියේ ස්ථාපිත ,මෙම රාධා ක්‍රිෂ්ණා යෝධ ප්‍රතිමාව,අධ්‍යතන යුගයේ පවා ජනතා සන්තානයෙහි මෙම ප්‍රේමණීය යුවළ සජීවමානව සිටින බැව් තහවුරු කිරීමට කදිම සාධකයකි
රාධා-ක්‍රිෂ්ණා තේමාව ඉන්දියානු කලා, සාහිත්‍යය සහ සමාජ කාර්ය සාධනයේ හැඩ තල , ශතවර්ෂ ගණනාවක් පුරාවට හැඩගස්වා ඇත. මථුරා විහාර මූර්තිවල සිට මනිපුරි සහ ඔඩිසි වැනි ශාස්ත්‍රීය නැටුම් දක්වා එම අභාෂය උරුම කරගෙන පවතී. වර්තමානයේ පවා, වෘන්දවානයේ සහ ඉන් ඔබ්බෙහි, රාධා සහ ක්‍රිෂ්ණා දේවාලයන්හි ,ඔවුන් දෙදෙනා එකට නමස්කාර කරනු ලබන්නේ වෙන් කළ නොහැකි ලෙස, දිව්‍ය එකමුතුව සංකේතවත් කරවමිනි .
Image Source:
භාරතයේ රාධා ක්‍රිෂ්ණා මහා දේවාලය.
භාරතයේ අද දවසේ පවා, ඝාන්ඨාර නද , වස්දඩුරාවය හා මුසුව භජන් ගායනා කරන, හින්දු කෝවිල්හි රාධා සහ ක්‍රිෂ්ණාගේ සදාකාලික කතාව ජීවමාන වේ. >
https://www.facebook.com/share/v/1YmXdVKzaa/










