Ashoka Colombage-by Gamini Kariyawasam


ශ්රීලංකා පරිපාලන සේවයේ ජේෂ්ඨතම නිලධාරියකුවූ අශෝක කොළඹගේ මහතා දිවිසැරියෙන් සමු ගෙන,
ඔක්තෝම්බර් 19 දිනට එකොළොස් වසරක් සපිරේ. ජාතික ගුවන් විදුලියේ ත් , පසු කාලයේ ශ්රී ලංකා පරිපාලන සේවයේත් ඔහු හා සමීපයෙන් රාජකාරි කළ සුමිතුරෙක් ලෙසින්, අශෝකයන් පිළිබදව මෙවන් සමරු සටහනක් තැබීම කෙරෙහි මසිත් යොමුවුයේ නිරායාසයෙනි.
අසෝක කොළඹගේ, ගුවන් විදුලි ඉතිහාසයේ පළමු නිවේදකයා මෙන්ම විචක්ෂණ මාධ්ය ප්රාඥයෙක්වූ , ඩී .එම් . කොළඹගේ ශූරීන්ගේ ජ්යේෂ්ඨ පුත්ර රත්නය ලෙසින් ජන්ම ලාභය ලබන්නේ 1940 පෙබරවාරි 22 වන දිනය. සිරිසීලී ගජනායක මැතිනිය ඔහුගේ දයාබර මෑණියන්ය.ආනන්ද හා උපාලි ඔහුගේ දෙසොහොයුරන්ය.
අශෝක කුසලතා පුර්ණ සාහිත්ය ධරයෙක් මෙන් ම ප්රකට ජන මාධ්ය වේදියෙකි. ඔහු විචක්ෂණ පරිපාලන වේදියෙකි.කෙටි කතාව ,නාට්යය , නව කතාව , කවිය හා ගීතය යන පංචවිධ සාහිත්ය මාධ්ය ඔස්සේ ඔහුගේ බහුවිධ කුසලතා විද්යාමාන විය. විශ්ව විද්යාලයේදී ඔහුගේ විෂය ධාරා වූයේ දර්ශනවාදය හා සංස්කෘත භාෂා සාහිත්යයයි.
අශෝකයන්ගේ ලිවීමේ අභ්යාසය ඇරැඹුණේ පාසල් වියේ සිටය. ඔහුගේ මුල් ම සාහිත්ය කෘතියවූ “අසමත් වූවෙකුගේ චර්යා සටහන” කෘතියෙහි ලා ඔහු මෙසේ පවසයි. “මේ කාලයේ විද්යාලය මගින් පළ කළ සඟරාවට මම කෙටි කතාවක් ලිව්වෙමි. එය ළමා මනස පිළිබඳ කතාවකි. එය කියවූ කිහිප දෙනෙක් මට ප්රශංසා කළහ. මම වනිතා විත්ති පුවත් පත ඇතුළු වෙනත් පුවත් පත්වලට කෙටිකතා හා කවි ලිව්වෙමි. එක් කෙටිකතාවක මැය වූයේ”ලණු ඇඹරීම” ය. ඉන් කියැවුණේ රෝගී දරුවකුට බෙහෙත් අරන් දීම සඳහා, රෝගී දරුවා තනිපංගලමේ දමා ලණු ඇඹරීමෙහි යෙදුණ දුගී මවක ගැන කතාවකි.
කොළඹගේ ශූරීන්ගේ කුසලතා ඔප්නංවා ගැනීම උදෙසා පුවත්පත් මෙන්ම ගුවන් විදුලිය වෙතින් ද ප්රබල අනුබලයක් ලැබිණි. ඔහු තුළ පැවති නාට්ය හා ගීත රචනා කෞශල්යය මුලින්ම ප්රකවුයේ ගුවන් විදුලියේ ළමා පිටිය මගිනි. තම ගුවන් විදුලි ළමා ගීත නාටකයකට ඔහු විසින් රචිත “බුදු සාදු මම සමන් වැලක් වෙන්නම්” යන හෘදයංගම ගීතය ඊට මනා නිදසුනකි. නන්දා මාලිනිය ගුවන් විදුලි ළමා පිටියේ ගායිකාවක වශයෙන් ගැයූ පළමුවන ගීතය මෙය බවද මෙහි ලා සඳහන් කිරීම වටී.
“බුදු සාදු මම සමන් වැලක් වෙන්නම්” …>
අසෝකයන් පසු කලෙක කෘතහස්ත ගුවන් විදුලි නාට්ය රචකයෙකු මෙන්ම විවිධ ශාස්ත්රීය වූත් සාහිත්යමය වූත් ගුවන් විදුලි රචනා සම්පාදකයෙකු ලෙසිනුත් මහත් වූ කීර්තියක් අත්පත් කරගති. “මහපොළොව සිනාසෙයි” යන නමින් පළව ඇත්තේ ඔහුගේ ගුවන් විදුලි නාට්ය මංජරියකි. අසෝකයන් රාජ්ය සම්මානයට පාත්ර වීමට මුල් වූ ඔහුගේ “ඉර කොහේද හැංගිලා” නමැති කෙටිකතා සංග්රහයයි.“පෙරමඟ බලා සිටියෙමි“ සහ “තොණ්ඩුව“ ඔහු විසින් රචිත නවකතාවන්ය.
“ග්රහ තරු” නමින් කෘතියක් ඔහු විශ්ව විද්යාල උපාධි අපේක්ෂකයෙකුව සිටි කාලයේ රචනා කළේය. පේරාදෙණි විශ්ව විද්යාලයේ ඉංග්රීසි අංශයේ මහාචාර්යවරයාව සිටි ඈෂ්ලි හල්පේ මහතා විසින් එය වේදිකා නිෂ්පාදනයක් බවට පත් කෙරුණි. අසෝකයන්ගේ නිසග උරුමයක් වන් ගැඹුරු හාස්යය හා උපහාසය ඒ නාට්යයේ ආත්මය බවට පත්ව තිබුණි. එකල ප්රේක්ෂකයන් එය වැලඳ ගත්තේ දුර්ලභ ගණයේ අපූර්ව අත්දැකීමක් ලෙසිනි. පසු කලෙක කෘතහස්ත , පරිණත , ජ්යේෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වශයෙන්ද කීර්තිමත් වූ අසෝකයන්ගේ මුල්ම කෙටි කතා සංග්රහය වන “අනුන්ගේ මුහුණු” පළ වූයේ 1965 වසරේදීය. එවිට ඔහුට වයස 25 කි. ඉන් පසු ඔහු කෙටි කතා සංග්රහයන් පහක් නවකතා දෙකක් කාව්ය සංග්රහයක් හා ගුවන් විදුලි නාට්ය සංග්රහයක් සහෘදයන්ට දායාද කළේය.- “සියල්ල මෙතැනින් නැවතිණි“ – “දරු සුවඳ“ “අසරණ වූ විනිසුරු“ – “ආදි කල්පිත සත්තු ඇවිදින්“ කෙටිකතා පොත් ලියුවේ ද ඔහු ය.
මේ කෘති අතරින් තුනක්ම එසේ දායාද කළේ ,ඔහු දුස්සාධ්ය ලෙස ගිලන්ව සිටියදීය.
අශෝක කොළඹගේ මහතා පසුකලෙක ශ්රී ලංකා පරිපාලන සේවය සමත්ව විවිධ උසස් තනතුරු හෙබවීය. ඉපලෝගම උප දිසාපතිවරයා ලෙස ඔහු එම ප්රදේශයට සුවිසල් ජන මෙහෙවරක් ඉටු කළ බව පැවසේ. අශෝක ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අතිරේක අධ්යක්ෂ ජෙනරාල්, සැලසුම් ක්රියාත්මක කිරීමේ අමාත්යංශයේ ලේකම් සහ කොළඹ ප්රාදේශීය ලේකම් ඇතුළු පරිපාලන ක්ෂේත්රයේ උසස් නිලතල කිහිපයක්ම දරා ඇත.
අශෝක කොළඹගේ යනු සරල මිනිසෙකි . කෙතරම් ඉහළ තනතුරු හෙබවූවද හැමවවිටම නිරහංකාර බව ප්රකට කල අපූරු චරිතයකි . අශෝක , රාජ්ය සම්මානයෙන්ද පිදුම් ලද සාහිත්යධරයෙකි. .
අසෝක කොළඹගේ ශුරීන් කෙටි කලක් රෝගීව සිට , 2015 වසරේ ඔක්තෝම්බර් 19 දින දැයෙන් සමුගත්තේ සාහිත්ය ක්ෂේස්ත්රයට නවකතා,කෙටිකතා,විචාර රැසක් පමණක් නොව සම්භාව්ය ගීත සමුදායක් ද උරුම කරමිනි. වියෝ වන විට 75 වැනි වියෙහි පසු වූ ඔහු දෙදරු පියෙකි.
විශාරද සුජාතා අත්තනායක ගයන – “මුහුද කළඹවන්න එපා“
විශාරද දයාරත්න සමඟ අමරා රණතුංග ගයන “රෑ මනමාලි“
සුනිල් එදිරිසිංහ ගයන ,”කොළොම් තොටට…” අශෝකයන්ගේ ගීත නිර්මාණ අතරින් කිහිපයකි.
අශෝක කොළඹගේ ශුරීන්ගේ ,නිර්මාණ කෞශල්යයයෙන් සහ ,ප්රතිභා ශක්තියෙන් නිපන් ”කොළොම් තොටට…” ගීතයෙන් පැරණි කොළොම් පුරය සහෘද මනසෙහි සිත්තම් කරන්නට ඔහු දක්වා ඇති සමර්ථතාවය මැනවින් විශදවේ.ඔහු මෙම ගීතය නිර්මාණය උදෙසා තොරතුරු උකහා ගත් ආකාරය සහ එම ගීතය ශ්රවණයට ,පහත නියදියට හෝ QR කේතයට යොමුවීම මැනවි.
At eLanka, we respect the rights of creators. If we have used an image you own and you’d like it removed, please email us at info@elanka.com.au and we’ll handle it promptly.
Thanks.
eLanka team
eLanka Disclaimer
Content published on eLanka may be created by the eLanka team, submitted by contributors or third parties, reproduced or adapted from other sources with appropriate source acknowledgement, or provided as promotional/advertising material by our clients. While eLanka takes reasonable care in preparing and publishing content, we do not warrant its completeness or accuracy. Views expressed are those of the respective authors or contributors and do not necessarily represent the views of eLanka. Third-party contributors, content providers and advertisers are responsible for the accuracy of material they supply and for ensuring they hold the necessary rights and permissions for its publication. Advertising and promotional content should not be regarded as an endorsement by eLanka of any product, service or claim.



