News & Community eLanka

eLanka

Monday, 5 Oct 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » “My Experiences During Two Weeks in Prison” by Gamini Kariyawasam
ArticlesDr. Gamini Kariyawasam

“My Experiences During Two Weeks in Prison” by Gamini Kariyawasam

eLanka admin
Last updated: July 10, 2026 8:27 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
1 Min Read
SHARE
Views: 314

“දෙසතියක් බන්ධනාගාර ගතව සිටි අවදියේ, ඒ ආශ්‍රිතව මා ලද අත්දැකීම්” – by Gamini Kariyawasam

Dr.Gamini Kariyawasam.

 

elanka

Image Source:Lankadeepa

මේ දිනවල බන්ධනාගාරය ආන්දෝලනාත්මක  පුවත් මවන රාජ්‍ය ආයතනයක් බවට පත්ව ඇත. එම ආයතනය පිලිබදව විවිධ විවේචන ඉදිරිපත් වේ. බන්ධනාගාරය පිලිබදව පොදු මහ ජනතාව තුළ පවත්නේ දැඩි  කුතුහලාත්මක හැගීම් ය. මා භාවිතා කළ පැරණි රාජකාරි දිනපොතක, මගේ අත්දැකීම්  සටහන්ව තිබු තොරතුරු ආශ්‍රය කරගෙන , වැලිකඩ සිපිරි ගෙය පිලිබදව  මෙවන් ලිපියක් සැකසීමට මා සිත් පෙලැඹිණි.

සිරකරුවන් ඔවුනට ම ආවේනික බසින් බන්ධනාගාරය හදුන්වන්නේ මහා උළුගෙදර ලෙසිණි. අදින් වසර 25  කට පමණ පෙර, සිරකරුවන් රදවා තබා ගන්නා මේ මහා  උළුගෙදර, මට ද රැදෙන්නට සිදු විය.   ඒ නිකන් ම නොව බරපතල වැඩ  සමුදායක් ද සහිතවය. කාලය දෙසතියකි. දිනය 2000  ජුලි 7 වන දිනය. මා වැන්නෙකුට මේ සිපිරි ගෙයි ලගින්නට සිදුවූ හේතුව ,මම මේ ලිපිය අවසානයේ ඔබට හෙළි කරන්නට අදහස් කරමි.

බන්ධනාගාරය උස් දැවැන්ත තාප්පයකින් කොටුවූ ,පියවි ලොවින් සහමුලින් ම වෙන්වූ අමුතුම ලොවක් ලෙස මට හැගිණි.  ඔබ  දිවියේ කිසි දා මෙහි යාමට නොපතාවී ,මෙහිදී මා ලද අත් දැකීම්  කියවන්නට  ඔබට අවස්ථාවක් ලදහොත්. සිර ගෙදර ඇතුළත තත්‍ය  සවභාවය,  ඔබ හමුවේ මෙසේ එකිනෙක පෙළ ගස්වන්නට අදහස් කළෙමි.

elanka

එහි රැදී සිටි  කාල පරිච්චේදය තුළ , බලධාරීන්ගේ සුවිශේෂී අනුමැතිය ලැබ, වැලිකඩ බන්ධනාගාරයේ අක්කර 48 ක් පුරා  පැතිරී භුමි  භාගය පුරා  මම දෙපයින් ඇවිද්දෙමි. බන්ධනාගාරයේ මා පිය නොතැබූ කිසිදු ගොඩනැගිල්ලක් නැති තරම්ය. එල්ලුම් ගහ අභියසට ද ගියෙමි. සිරකරුවන් ඇසුරු කළෙමි. ඒ අතර මිනීමරුවන් ගේ බිහිසුණු මුහුණුවල තැවරී පැවති දැඩි අසරණ ස්වභාවය ද  මගේ මතකයට නැගේ. සිරගතව සිටින බොහෝ පුද්ගලයින් තම සිර මැදිරියේ සිට පොත් පත් ලියු අයුරු ද ඔබ අසා ඇතුවාට සැක නැත. මම ද රැගෙන ගිය  දින පොතෙහි , බන්ධනාගාරයේදී  මා දෙසවන් වැකුණු සියලු පුවත් සටහන් කළෙමි. ඇස රැදී සියලු දෑ  අකුරු  බවට පත් කළෙමි.   මද අවකාශයක් ලද සැනින් මම බන්ධනාගාර පුස්තකාලයට ද ගොඩ වැදීමට අමතක නොකළෙමි.  බන්ධනාගාරී  දිවියේ අතිශය කටුක අත්දැකීම් අනාවරණය කිරීමට පෙර ,පුස්තකාලයේදී ආයතනික වාර්ෂික  වාර්තා ආශ්‍රයෙන්  සනිටුහන් කරගත් තොරතුරු සම්පින්ඩනයකින් ,   මෙම ලිපය ආරම්භ කිරීම වඩා යෝග්‍ය වෙතැයි මට හැගිණි.

බන්ධනාගාර ගත කිරීම යනු හුදු කායික හා මානසික වශයෙන් සිය පෞද්ගලිකත්වයෙන් වෙන්කොට තැබීමකි. 1877 අංක 16 දරණ බන්ධනාගාර පනත මගින් මෙරට බන්ධනාගාර පද්ධතිය විධිමත් පරිදි ක්‍රියාත්මක කිරීමට අවකාශ සැලසිනි. මෙහි  මුල් ම ප්‍රධානියා ලෙස සේවය කර ඇත්තේ ඉන්ස්පෙක්ටර් ජනරාල් මෙජෙර් ඩී.බිල්ටන් මහතාය. වැලිකඩ බන්ධනාගාරය 1844 වර්ෂයේදී  අංක 18 දරන පනත යටතේ ස්ථාපනය කරන ලදී. එවකට වැලිකඩ බන්ධනාගාරයෙහි සිරකරුවන්ට දඩුවමක් වශයෙන් ඉතා බර වැලි කොට්ට පිරවූ කදක් (වැලි කදක්) බන්ධනාගාරයේ එක් කෙළවරක සිට අනෙක් කෙලවරට ගෙන ගොස් බෑම ද ,යළිත් එම වැලි ප්‍රමාණය කදෙහි පුරවා ගෙන මුල් ස්ථානයට ගෙන  යාම ද  වාර ණනාවක් කිරීමට සිදු විය.වැලි කද  ගෙන යන දඩුවම ක්‍රියාත්මක වූ මෙම බන්ධනාගාරය පසු කාලයේදී වැලිකඩ බන්ධනාගාරය ලෙසින් හදුන්වනට වූ බව පැවසේ. කිසියම් වරදක් කරනු ලැබුවෙක් බන්ධනාගාරයට යොමු  කෙරෙන්නේ ප්‍රධාන පරමාර්ථ තුනක් සාධනය කර ගැනීමේ අපේක්ෂාවෙන් බැව් බන්ධනාගාර පාලන වාර්තාවන් හී සදහන්ය.

1.භාරකාර පරමාදර්ශය.(custodian model )- විනය පවත්වාගෙන යමින් , චර්යාවන් පාලනය කරමින් මුළු මහත් මානව සමාජයේ ආරක්ෂාව සැලසීම මෙහි මුල් පරමාර්ථයයි.

2. පුනරුත්ථාපන පරමාදර්ශය. ( rehabilitation model )- මෙම පරමාදර්ශය තුළින් සිරකරුවන්ගේ මානසික ස්වභාවය ගුණාත්මක ලෙසින් සංවර්ධනය කිරීම අපේක්ෂිතය.

3. යළි සමාජ ගත කිරීමේ පරමාදර්ශය, ( reintegration model )- සිරගෙදරින් බැහැර විවෘත සමාජය සමග යහපත් සබදතාවක් පවත්වාගෙනයාම සදහා අවශ්‍ය බලගැන්වීම මෙමගින් අපේක්ෂිතය.

 අධිකරණ තීන්දුවක් ලැබීමෙන් අනතුරුව බන්ධනාගාරය වෙත යොමුකෙරෙන අපරාධකරුවන්, වර්ග කිරීමේ ක්‍රම වේදයක් අනුගමනය කෙරෙන අයුරු පැරණි වාර්තා ආශ්‍රයෙන් දැනගතිමි.

තාවකාලික අපරාධකරුවන් (casual offenders ) ;

රථ වාහන පැදවීමේදී වැරදි සිදු කළ,බීමත්ව කළහ කිරීම වැනි සුළු චෝදනා යටතේ සිරගත වන්නන් තාවකාලික අපරාධකරුවන් (casual offenders ) ලෙස සැලකේ. ඉදහිට සමාජ විරෝධී වැඩ වල නිරත වන්නන් සුළු අපරාධකරුවන් සේ සැලකේ. සුළු අපරාධකරුවන් එක් වරක් දඩුවම් ලද විට ,කළ වරදෙහි බරපතලකම අවබෝධ කරගෙන යළි අපරාධවලට නැබුරු නොවන්නන්ය යන විශ්වාසයක් පවතී.

උන්මත්තක ( episodic criminals ) අපරාධ කරුවන්;

උග්‍ර මානසික පීඩනය හෝ අසහනය හේතුවෙන් වරදට පෙලබෙන්නන්  උන්මත්තක ( episodic criminals ) අපරාධ කරුවන්සේ සැලකේ .

සුදු කරපට අපරාධකරුවන්. (white collar criminals);

ප්‍රභූ සමාජයේ හා ව්‍යාපාරික ප්‍රජාවේ නීතියට පටහැනිව ක්‍රියා කරන සුදු කරපට අපරාධකරුවන්. (white collar criminals ) මොව්හු වැඩිවශයෙන් ම බන්ධනාගාර ගත වන්නේ සිවිල් උසාවි මගින් දෙනු ලබන තීන්දු මතය.

නිරන්තරයෙන් ම පුරුද්දක්සේ  නීති විරෝධී ක්‍රියාවන්හී නිරත අපරාධකරුවන්.         ( habitual offenders );

නිරන්තරයෙන් ම පුරුද්දක්සේ  නීති විරෝධී ක්‍රියාවන්හී නිරත අපරාධකරුවන්.         ( habitual offenders ) විශේෂයෙන් මංකොල්ල කරුවන් හා මං පහරන්නන් මේ කොටසට ගැනේ . මත් කුඩුවලට ඇබ්බැහිවූ අපරාධකරුවන් , මිණීමරුවන්  සහ සිය ජීවනෝපාය පිණිස නිරතුරුවම අපරාධවලට පෙලබෙන්නන්  දරුණුම ගනයේ අපරාධකරුවන් සේ සැලකේ.

වැලිකඩ පෝරකය;

 

 

elanka

Image Source:Lankadeepa

වැලිකඩ පෝරකය; 2018 ඔක්. 24 ලංකාදීප අනුග්‍රහයෙන්.

                       බන්ධනාගාරයේ  එල්ලුම් ගහ පාමුල රුදු බව දුටිමි ….;

                           බන්ධනාගාරයේ රැදී සිටි කාලයේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කෙරෙන  වැලිකඩ පෝරකය ආසන්නයට ම යාමට ද මට අවස්ථාව සැලසිණි. එල්ලුම් ගස ස්ථාපිත කුටිය ආසන්නයේ  චැපල් වාට්ටු ගොඩනැගිලි සංකීර්ණය  පිහිටියේය. එහි සී 03 අංකය යටතේ සිරකුටි 30 කි.  ඒ  එල්ලා මැරීමට නියමිත අපරාධ කරුවන් රදවා තබන සිර මැදිරි සමුහයයි . මරණයේ සෙවනැළි දකිමින් ඔවුහු  මෙම සිර කුටි තුළ  රැදී සිටිති. අපරාධ කරුවනට, තම දිවියේ අවසන් ඉම සපත කෙරෙන ,එල්ලුම් ගස  නිරන්තරයෙන් ම ඇස ගැසෙන ඉසවුවකය මෙම සිර කුටි පිහිටියේ.   පෝරකය පිහිටුවා තිබුනේ තරමක ඉඩකඩ සහිත කුටියක් තුළය. එහි හාත්පස පරිසරය අදුරු ස්වභාවයකින් පැවතිණි.අවට පරිසරය ද බෙහෙවින් ම නිහඩය.   ශක්තිමත් පැරණි  ස්වරුපයෙන් යුත් බාල්කයෙහි හරි  මැදට වන්නට පිහිටි යකඩ බොලොක්කයකි. ඒ වකවානුවේ මරණ දඩුවම ක්‍රියාත්මක නොවූ බැවින් , තොණ්ඩුව සහිත තේඩා ලනුව දැක ගන්නට නොලැබිණි.  මරණ දඩුවම නියමවූ  පුද්ගලයකු  ගෙලට වැටෙන තොණ්ඩුව සහිත තේඩා ලනුව මෙම බොලොක්කය හරහා ඇතුල් කෙරේ.    තේඩා ලණුවේ අනෙක් කෙළවර වින්දිතයා  ගේ සිරුරේ බරට සරිලන සේ  පුරවන ලද  වැලි කොට්ටයක  ගැට ගසා තිබුණු බැව් දැනගන්නට ලැබිණි.  බාල්කයේ තේඩා ලනුව යොදන බොලොක්කයට සමාන්තරව බිම ලෑලි අවරනයකි. එහි හරි මැද එල්ලුම් ගස් යැවෙන පුද්ගලයාගේ දෙපා තැබිය යුතු ස්ථානය කළු කොටුවකින් සටහන් කර ඇත. සම්ප්‍රදායක් ලෙසින් එල්ලා මැරීම සිදුකරනු ලබන්නේ පෙරවරු 8.05 ටය. මරණ දඩුවම ලබන්නා බිම් ලෑල්ලේ කළු කොටු සටහන  මත සිටුවා ,ඔහු ගෙලට තොණ්ඩුව සිර කෙරේ. පෝරකය භාරව සිටින ජේලර් වරයා එල්ලා  මැරීම ක්‍රියාත්මක කළ යුතු නියමිත වේලාවට දෙනු ලබන සංඥාවට   අනුව  ,අලුගෝසුවා  විසින්  පෝරකයේ වින්දිතයා දෙපා තබා සිටින ලී පුවරුවට  පසෙකින්  සම්බන්ධ කර ඇති ලීවරයක් පහත හෙලීමට උත්සුක වෙයි.  ඒ සැනින් , පෝරකයේ බිම්   ලී පුවරුවේ දොර පියන් දෙක පහතින් පිහිටි වල නිරාවරණය කරමින් දෙපසට  විවරවේ. නිමේෂයකින්  තොන්ඩුවෙන් ගෙල සිරවී සිටින චුදිතයා මරණය  වැළද ගනිමින්  පහත පිහිටි වලට

පතිතවේ.

My Experiences During Two Weeks in Prison- by Gamini Kariyawasam

Image Source:Lankadeepa

elanka

Image Source:Wikimedia

බන්ධනාගාර ලේඛනයන්ට අනුව එල්ලුම්ගහ මුල් වරට ක්‍රියාත්මක ව ඇත්තේ 1812 පෙබරවාරි ද 10 වන දිනය. ඉංගිරියේ කළු  අප්පු නැමැත්තා මුලින්ම එල්ලුම් ගස් ගිය තැනැත්තා ලෙස ලේඛන ගතය. එල්ලුම් ගසට නියම වූ පළමු කාන්තාව වූ ඩිංගිරිමැණිකා ඇගේ කුඩා දරුවා නිසා පොරකයෙන් මිදි ඇති බවද වාර්ථා වේ. 1976 ජුනි 23 දින දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වූ එල්ලුම් ගස අක්‍රිය වූයේ 1977 ජේ.ආර්. ජයවර්දන ජනාධිපති තුමාගේ  රජය යටතේය. තිස්සමහාරාමයේ ජයසිංහ  මානච්චිගේ චන්ද්‍රදාස  එල්ලුම් ගහට ගිය අවසන් පුද්ගලයා ලෙස සැලකේ.

සිරකුටි පද්ධතියේ අප්‍රසන්නතාව;

    සිරකරුවන් අතරෙන් දරුණු නොවන පිරිස් දිවා  කළ එළිමහනේ ගත කෙරේ. ඔවුහු  අංගනය පිරිසිදු කිරීම් වැනි  කටයුතුවල නිරත වෙති. සියලුම් රැදවියන් රාත්‍රී කාලයේදී සිර කුටි තුළට දමා වසනු ලැබේ. මෙම කුටි සාමාන්‍යයෙන් දිග පළලින් අඩි 6 x 8 ක ප්‍රමාණයෙන්  යුක්තය. එහි ගත කළ හැක්කේ රැදවියන් එක් අයෙකු හෝ දෙදෙනෙකු ට පමණි. එනමුදු හවස් යාමයේ  මෙම කුඩා කුටියක සිරකරුවන්  7 දෙනෙකු පමණ තෙරපා ඇතුල් කර දොර වැසීම සිදුවනු  දෛනිකව දැකිය හැකිය. මෙබදු කුඩා ඉඩක ඔවුනට වැතිරී නිදා ගත නොහේ. ඔවුන් නිදන්නේ හිටගත් ඉරියව්වෙනි. මෙහි  පවත්නා අතිශය  ඛේදනීය තත්වය නම් , රාත්‍රී කාලයේ ඔවුනට සිය ශරීර කෘත්‍ය  ඉටු කර ගැන්මට මේ කුඩා සිර කුටි තුළ  කිසිදු පහසුකමක්  නොමැති වීමයි. ඔවුන් මළ මුත්‍ර බැහැර කරන්නේ පොලිතින් උර වලටය.සෝදා පවිත්‍ර කර ගැනීමට කුටිය තුළ ඉඩ හා ජල පහසුකම් නොමැති වීම නිසා ඔවුහු පවිත්‍රතාව රැක ගන්නේ පත්තර කඩදාසියකින් අපවිත්‍ර දෑ  පිසදා  ගැනීමෙනි. රැදවියන් අතර චර්ම රෝග හා ලිංගාශ්‍රිත රෝග බහුලය. රාත්‍රී කාලයේ අවස්ථා කිහිපයකදීම  මා තොරතුරු එක්රැස් කරගැනීමේ අභිලාෂයෙන් , මෙම සිර කුටි ආසන්නයෙන් ඇවිද ගොස් ඇත්තෙමි. එම අවස්ථාවල සිර කුටි තුළ එකට තෙරපී සිටි මිනිසුන්ගෙන්  නික්මුණු දාඩිය හා අපද්‍රව්‍ය දුගද  පිසගෙන හැමූ සුළග  ඉවසා දරා  ගත්තේ මහත් ම අපහසුවෙනි. රාත්‍රියේ පැවතී දැඩි නිහඩතාවය බිදිමින්  ඉකි බිදුම් , සෝසුසුම් මෙන්ම රළු පරළු වදන් ද සිර කුටි දෙසින් නිරන්තරයෙන් ම පැතිර යනු මට ශ්‍රවණය විය. රැකවලෙක් පැමිණ තර්ජනය කරන අවස්ථාවල ඔවුහු නිහඩ වුවද, මද විරාමයකින්  ඔවුහු පෙර පුරුදු මැසිවිලි නැගීම යළි  ආරම්භ කරති.

සිරකරුවන්ගේ ශෝකාලාපය;

elanka

Image Source:Divaina

elanka

Image Source:News

සිරකරුවන් රාශියක් සමග සංවාදයෙහි යෙදෙන්නට ද මට අවස්ථාව සැලසිනි. මා ඔවුන් හමුවට ගියේ ඔවුන්ගේම  සමාජයේ සාමාජිකයකු විලසිනි. සිර ගෙය තුළ යහපත් හැසිරීම් ඇති, සුළු සිරදඩුවම් විදින්නන්ට හිරේ නිළ ඇදුමවූ ජම්පරය වෙනුවට ,සුදු සරමකින් සහ අත් කොට කමිසයක් ඇදීමේ වරප්‍රසාදය හිමිව තිබිණි. මා ද එම  ඇදුමින් ම සැරසී ඔවුන් අතරට යාමෙන් ,ඔවුන් මා සමග කුළුපගව සිය අධ්‍යාත්මය හෙළි කිරීමට නොපැකිලව ඉදිරිපත් වුහ. සිරකරුවන් ගෙන් වැඩි පිරිසක්  තමන් දුර දිග නොබලා කළ සමාජ විරෝධී වැඩ පිලිබදව බෙහෙවින් ම පශ්චත්තාපයට පත් වන පිරිස්ය. ඔවුහු සිර ගෙය තුළ තමන් ගතකරන අති දුක්ඛිත ජීවිතයෙන් හෙම්බත්ව සිටිති. තම පවුලේ උදවිය ,විශේෂයෙන් ම දරු මල්ලන්  තමන් සිරගතවූ දින සිට කිසිදු අදායම් මාර්ගයක් නොමැතිව ගත කරන අසරණ භාවය පිලිබදව ඇතැමෙක්  තොරතුරු හෙළි කලේ හැඩු කදුලිනි.බන්ධනාගාර ගතවූ විට අත් විදිනට සිදුවන  මෙම ශෝචනීය තත්වය පිලිබදව  පොදු මහා ජනතාව දැනුවත් කිරීමේ ඇති වැදගත්කම මෙහිදී අවධාරණය කලයුතුවේ. සමාජ විරෝධී ක්‍රියා වන්ගේ ආදීනව අවබෝධ කර  ගැනීම පිණිස පාසල් සිසුන් ට බන්ධනාගාර නැරඹීමටඅවස්ථාව සලසා දීම ද වැදගති.

    ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට  සම්බන්ධවූ හා මරණීය දණ්ඩනයට යටත්වූ සිරකරුවන් සදහා දැඩි ආරක්ෂක සංවිධාන සහිත විශේස සිර කුටි වෙන් කර ඇත.දිනකට පැය භාගයකට නොවැඩි  අවස්ථා දෙකකදී පමණි, ඔවුනට එළිමහනට පැමිණීමට අවකාශ සලසා ඇත්තේ. මාස හයට අඩු සිර දඩුවම් විදින පුද්ගලයින් රදවා තබනුයේ ශාලාවන් බදු විශාලත්වයෙන් වැඩි සිර මැදිරි තුළ ය. එකම දොරකින් පමණක් සමන්විත මෙම එක සිර මැදිරියක් තුළ 450 ට අසන්න සිර කරුවන් රදවනු ලැබ ඇත.මීට අමතරව සිර ගෙදර විනය නීතීන් කඩ කරන සිර කරුවන් වෙනුවෙන් වෙනම දඩුවම් කළුවර කුටි කිහිපයක් ද මට දැක ගන්නට ලැබිණි.  සිරගතවුවන් නිදහස්ව යළි සමාජයට මුදා හැරීමට පෙර ඔවුන් පුනරුත්ථාපනය කිරීම මෙන් ම, ඔවුනට දෛනික අදායමක් උපයා ගත හැකි පරිදි , වෘත්තීය පුහුණුවක් ලබා දීම පිණිස ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ  පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මකය.

සිරකරුවන්ට ම ආවේනිකවූ, ඔවුනගේ උප සංස්කෘතියේ;

සමාජ හා මානව විද්‍යාව හදාරණ විද්‍යාර්තීන්ට බන්ධනාගාරය කදිම පර්යේෂණාගාරයක් වනු  නිසැකය. සිරකරුවන් ගේ ලෝකය විශ්මිතය. ඔවුනගේ සිතුම් පැතුම්,කථා ව්‍යවහාරය,හැසිරීම් රටාව පිටස්තර ලෝකයට වඩා හාත්පසින්ම වෙනසි. එහි දුට හැක්කේ අපුර්වතම සමාජ උප සංස්කෘතියකි. සිරකරු ප්‍රජාව  ඉතා උගත් මෙන් ම නුගතුන්  ගෙන් ද සැදී සංකීර්ණ සමාජයකි.  එම සමාජ ස්ථරය තුළ , විවිධ කලා කුසලතාවන් ගෙන් හා වෘත්තීමය හැකියාවන්ගෙන් පිරිපුන් පුද්ගලයින් ද සිටින බැව් නිරීක්ෂණය විය.

         සිරකරුවන්ට ම ආවේනිකවූ, ඔවුනගේ උප සංස්කෘතියේ වාග් කෝෂය විසිතුරුය. අපුර්වත්වයෙන් අනුනය .  ඔවුහු බන්ධනාගාරය හදුන්වන්නේ ආණ්ඩුවේ බෝඩිම,මහා උළුගෙදර,ගල් පල්ලිය ආදී විශේෂණ පද වලිනි.   බන්ධනාගාරයේදී අසන්නට ලැබුණු,  ඔවුහු  එදිනෙදා ජීවිතයේ ව්‍යවහාරිත අපුර්ව අරුත් දනවන වාග් කෝෂයෙන් බිදක් අද දවසේ පවා මගේ මතකයේ රැදී පවතී. යමෙක් සොරකමක් කරන විට ,එය බලා සිටින්නා  සොරා ගෙන් ඉල්ලා සිටින අල්ලස  “ඇස් කුලිය” නමිනි හැදින්වෙන්නේ. කිසිවකුට දෙන පගාව අර්ථ ගැන්වීමට ඔවුන් භාවිතා කරනුයේ  “ඉස්ම දෙනවා” යනුවෙනි.  සිරකරුවන් ගේ බසින්  පොලිස් කාරයා  “පංචි” යනුවෙන් ද , කාන්තාව “ ඔසරිය” ලෙසින් ද අරුත් ගන්වති. කිසියම් කණ්ඩායමකින් ඉවත් වීම “හැලීම” සේ සැලකේ. විනෝදය,පහසුව “ආතල් එක” යනුවෙන් ද, කිසියම් දෙයක් වසන් කිරීම “මොත්තේ දානවා “ යනුවෙන් ද  හැදින්වේ. ඔවුහු තම සිතට නැගෙන අදහස් ,අගුරු කැටවලින්  බිත්ති මත ලියන්නේ සමාජයට කිසියම් පණිවිඩයක් දීමේ අපේක්ෂාවෙන් විය යුතුය. “සල්ලි අපට විහිළු කරයි” , “කොහෙද අයිසේ යාලුවෝ “,   “කරපං නැත්තං මැරියන්” එබදු වැකි කිහිපයකි.

මම මෙම ලිපිය ආරම්භයේදී සදහන් කරන්නට යෙදුනු පරිදි , අධික වැඩ සමුදායක් සහිතව දෙසතියක් බන්ධනාගාරයේ රැදෙන්නට සිදුවූ කරුණ අනාවරණය කරමින් මෙම ලිපිය අවසන් කරන්නට බලාපොරොත්තු වෙමි.  2000  වසරේදී මම අධිකරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ  සහකාර ලේකම් තනතුරේ රාජකාරියේ නියැළී සිටියෙමි. එවකට අධිකරණ අමාත්‍ය ධුරය හෙබවූ  මහාචාර්ය ජී.එල්.පිරිස් මහතා , සිරකරුවන්ගේ සුබසාධනය පිලිබදව සමීක්ෂණ වාර්තාවක් සැකසීමේ කාර්ය මා වෙත පවරනු ලැබීය. එම වාර්තාව සැකසීම පිණිස සති දෙකක් පුරා,වැඩි කාලයක්   මට  ගත කරන්නට සිදුවුයේ වැලිකඩ බන්ධනාගාරහිය. එහිදී මා ලද සත්‍ය අත්දැකීම් මෙම ලිපියට පාදකවූ බැව් සදහන් කරනු රිසියෙමි.

එදවස ,වැලිකඩ බන්ධනාගාරයෙහි සිරකරුවන්  එහි අඩු ඉඩ පහසුකම් යටතේ ,අපා දුක් විදිමින් ඛේදජනක අන්දමින් සිය දිවි ගෙවන  බවට පුවත් පත් මගින් නිතර නිතර මැසිවිලි නැගෙමින් තිබිණි.ඒම පුවත්  වාර්තා එවකට සිටි අධිකරණ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ දැඩි අවධානයට යොමු විය. එහි ප්‍රතිපලයක් ලෙසින් ,සිරකරුවන් මුහුණ දෙන දුෂ්කරතා සොයා බලා, ඒ  පිළිබදව සමීක්ෂණ වාර්තාවක් සැකසීමේ කාර්ය,අමාත්‍යතුමා විසින්  මා වෙත පවරනු ලැබුවේ  මා කෙරෙහි පැවති අචල විශ්වාසය නිසාය.

My Experiences During Two Weeks in Prison- by Gamini Kariyawasam

මට මගේ වායු සමීකරණය කළ  නිල කුටියේ සිටම , ආයාසයකින් තොරව , බන්ධනාගාර අධ්‍යක්ෂ ජනරාල් වෙත ලිපියක් යවමින්,අවශ්‍ය තොරතුරු , ලෙහෙසියෙන්ම  ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථාව තිබුණි. එනමුදු  මෙහිදී මුලිඛ කරුණක්  කෙරෙහි මගේ අවධානය යොමු විය. අමාත්‍යතුමා විසින්  මෙම වගකීම මා වෙත පවරනු ලැබුවේ , බන්ධනාගාරයෙහි සිරකරුවන් ගත කරන   තත්‍ය ස්වභාවය මැනවින් අවබෝධ කර ගැනීම පිණිස නිවැරදි අධ්‍යයන වාර්තාවක් ලබා ගැනීමේ අපේක්ෂාවෙනි.   පවත්නා අහිතකර තත්වයට  නිසි විසදුම් ක්‍රියාත්මක කිරීමට එය ප්‍රධාන මුලාශ්‍රය ලෙස යොදා ගැනීම එතුමාගේ අභිලාශය වන බව මම අවබෝධ කරගෙන සිටියෙමි.මා බන්ධනාගාර අධ්‍යක්ෂ ජනරාල් වරයාගෙන් වාර්තාවක් ලබා ගෙන ඉදිරිපත් කලේ නම්,එහි බන්ධනාගාර පාලන අධිකාරියෙහි පවත්නා දුර්වලතා  අනිවාර්යයෙන් ම වසන් වන බව මට අවබෝධ වීම, මා මෙවන් තීරණයකට එළැඹීමට   පොලඹවනු ලැබිණි   එම වාර්තාව සැකසීම පිණිස,   2000  ජුලි 7 වන දින සිට   සති දෙකක් පුරා උදේ දිවා රාත්‍රී තුන් කාලය පුරාවට විටින් විට  මම  මගේ  කාලය ,වැලිකඩ බන්ධනාගාරයෙහි ගත කරමින් ,එහි සැබෑ ස්වභාවය මැනවින්,ගැඹුරින්  අධ්‍යයනය කිරීම තුළින් පිටස්තර පුරවැසියෙකුට දැන ගන්නට නොලැබෙන ඉහත සදහන් තොරතුරු සමුදාය එක්රැස්කර ගැනීමේ දුර්ලභ අවස්ථාව උදා විය.

පිටස්තර ජන සමාජයට   බන්ධනාගාරයේ පවත්නා  මෙවන්   අති  බිහිසුණු තත්වය අවබෝධ කරගැනීමට මෙම ලිපිය ඉවහල් වනු ඇත. එමගින් ඔවුන් තුළ කිසිවිටෙකත්  නීති විරෝධී ක්‍රියාවන්හි  නොයෙදීමේ යහපත් මානසික අධිෂ්ඨානයක් ස්ථාපනය වනු නිසැකි.




Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!
TAGGED:My Experiences During Two Weeks in Prison
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Beechat, Sri Lanka Insurance, SLICGL, Sri Lanka Insurance Corporation General Limited, AI insurance assistant, generative AI Sri Lanka, insurance chatbot, trilingual AI, Sinhala AI chatbot, Tamil AI chatbot, English AI chatbot, digital insurance Sri Lanka, online insurance services, insurance claims Sri Lanka, policy verification, claim status tracker, BotCircuits, BFSI technology, customer service AI, insurance innovation, Sri Lankan technology, fintech Sri Lanka, insurance automation, AI customer support, eLanka news Sri Lanka Launches ‘Beechat’: The Country’s First AI-Powered Trilingual Insurance Assistant
Next Article The Ceylon Journal June 2026 The Ceylon Journal June 2026
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
Lellama-eLanka

“Lellama” Fish Market in Negombo-by Harold Gunatillake

Is it possible to attract and retain estate women employees with Empowerment through Socio economic and Technology-eLanka

Is it possible to attract and retain estate women employees with Empowerment through Socio economic and Technology? By Nisal Rukshan

Sinhala eBook Edition of FUTURE READY™️ Released Globally Through Google Play Books and IngramSpark

Sri Lankan athlete Ayomal Akalanka finishes fifth in the 400m hurdles at the 2026 Asian Games after setting a national record and winning Asian U23 silver.

Ayomal Akalanka Finishes 5th in Asia in the 400m Hurdles at the Asian Games 2026

SriLankan Airlines Riyadh office

SriLankan Airlines Opens Relocated Office in Riyadh to Strengthen Sri Lanka–Saudi Connectivity

Related News
Dr Janey Lowes Dog Jog Sri Lanka
Articles

British Vet Dr Janey Lowes to Run 620 km Across Sri Lanka for a New Veterinary Hospital for Street Dogs

LankaPropertyWeb National AI Awards 2026
Articles

LankaPropertyWeb Becomes Sri Lanka’s First Property Company to Win at the National AI Awards 2026

Bhavithra Gananathan Sita
Articles

Bhavithra Gananathan Takes Centre Stage as Sita in ‘Diwali Story: The Journey of Ram’ at Wembley Arena

DS’s Astuteness
Articles

DS’s Astuteness, Delivered in JR’s Oratory: J. R. Spoke for Ceylon, But Who Sent Him There?-by K.K.S Perera

eLanka Newsletter
Articles eLanka Newsletters

eLanka Newsletter – 4th September 2026 – 1st Edition – Sri Lankans In Australia

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Trevine Rodrigo
  • Tamil Videos
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.