දේශජ අභිමානයේ ජාතික සලකුණ අංගම්පොර ශිල්පය – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
1818 ඔක්තෝබර් මස 05 වන දින බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විසින් හෙලයේ සාම්ප්‍රදායික සටන් ශිල්පය අංගම්පොර විශේෂ ගැසට් න වේදනයක් මගින් තහනම් ක්‍රීඩාවක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.
නවීන ආයුධ වලින් සන්නද්ධ ඉංග්‍රීසි හමුදාවත්, අංගම් පොර සටන් ශිල්පීන්ගෙන් සැදුම්ලත් දේශීය සටන්කාමීන් ඉදිරියේ භීතියෙන් මුසපත් වූහ අංගම්පොර සටන් කලාව තහනම් කිරීමට ඉංග්‍රීසින් පොළඹවාලනු ලැබුවේ 18 වන සියවසේ මුල්භා ගයේ නිදහස් සටනේදී ඔවුන් ලත් බිහිසණු අත්දැකීම් ය.
Image Source : thearchitect
දේශයේ අභිමානවත් චින්තනයෙත් , අයුක්තිය ඉදිරියේ නැගී සිටීමේ අනුපමේය ශක්තියත් අඩපණ කිරීමේ අපේක්ෂාවෙන්, ඉංග්‍රීසීන් අංගම් පොර සටන් කලාව තහනම් කර මේ වන විට වසර දෙසීයකට ආසන්න කාලයක් සපිරේ.
දැයේ නිවහල් භාවය, ස්වාධීනත්වය අභිමානය තහවුරු කරමින් සම්ප්‍රදායික අංගම්පොර සටන් කලාව නිදහසේ ප්‍රගුණ කිරීමට නීතිමය අවකාශය මීට වසර කිහිපයකට පෙර අපේ දේශයට උදා විය. එවන් ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ලැබුවේ,එවකට නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍ය ධුරය හෙබවූ සජිත් ප්‍රේමදාස මැතිඳුන්ට දැයේ නොමද ප්‍රණාමය හිමිවේ මෙම ප්‍රතිපත්තිමය තීරණය මත අංගම්පොර සටන් ශිල්පය සංරක්ෂණය කර ප්‍රවර්ධනයට මංපෙත් විවර කිරීම පාලිත පාලක දෙපක්ෂය වෙතම පැවරී පවත්නා වගකීමකි.
Image Source : dinamina
අංගාගත හෙරළ – රක්ඛ රක්ඛාන හෙරළ , රක්ඛ පදිගත හෙරළ ආදී වශයෙන් පුරාණයේ දේශීය සටන් ක්‍රම 09 ක් පැවැතිණි. ඒ සියළු සටන් ක්‍රම අභිබවා අංගම් පොර සටන් කලාව දේශීය ජනතාව අතර බෙහෙවින්ම ප්‍රචලිත විය .
යක්ෂ ගෝත්‍රිකයින් පිළිබදව මූලාශ්‍රයක් ලෙස ලියැවී ඇති “වර්ග පූර්ණිකාව පුස්කොල පොත අංගම් කලාව පිළිබඳව වැදගත් තොරතුරු රාශියක් ගෙනහැර දක්වයි. “ වර්ග පුර්නිකාව” ආරණ්‍යවාසී නීලගිරික ශ්‍රී බෝධී හිමිපාණන් විසින් ලියන ලද්දකි.
Image Source : wasanthawitharana
බුද්ධිය, අධ්‍යාත්මික ශක්තිය, උපේක්ෂාව, විනය සහ ශාරීරික ජවය යන පංච විධ සංයෝගයන් හා සබැඳි ආත්මාරක්ෂක සටන් කලාවක් ලෙසින් අංගම්පොර ක්‍රීඩාව හැඳින්විය හැකිය අංගම් යන්නෙන් ද්වනිත වන්නේ ශරීර අංගයන් ය. පොර යනු සටන් කලාවයි. නිරායුධව සිය සිරුර සහ සිරුරේ අත් පා හිස, ඇගිලි ආදී අංගයන් භාවිතයෙන් කරන සටන අංගම් ලෙසින්හැ දින්වෙන අතර කඩු, කිනිසි, පොලු ආදී අවි ආයුධ සහිතව කරන සටන ඉලංගම් පොර යනුවෙන් හැඳින්වේ.
කසයක් හා සමාන එතුණු කඩුව ඉලංගම් පොර සටන් කලාවේදී යොදා ගන්නා අති විශේෂ ආයුධයකි. මෙම කඩුව තියුණු මු හත් ඇති නම්‍යශීලි අඩි 04 ක් පමණ දිගු බ්ලේඩ් තල ස්වභාවයෙන් යුත් ලෝහ පළු 32 කින් සමන්විත ය. එක්වර දෑතින්මෙ බඳු කඩු දෙකක් විදුලි වේගයෙන් භාවිතා කරන අතර මෙමගින් විශාල සතුරු සේනාවක් වුව සමුල ඝාතනය කළ හැකිය. ඉලංගම් පොර සටන් කලාවේදී කඩු වර්ග 32 ක් මෙන්ම වෙනත් ආයුධ වර්ග 21 ක් භාවිතා වේ.
Image Source : SLarticlessinhala facebook
පරිපූර්ණ අංගම්පොර ශිල්පියෙකු වීමට නම් ඉහත සදහන් කල අංගම් සහ ඉලංගම් පොර දෙකට අමතරව මායා අංගම් ලෙසින් හැදින්වෙන තෙවන කොටස ද ප්‍රගුණ කළ යුතු වේ. අංගම්පොර සටන් කලාවේ නියමිත නිල වෙත ප්‍රහාර එල්ල කිරීමන් ප්‍ර වාදියා ක්ෂණයකින් අඩපණ කිරීමේ හැකියාව පවතී.
අති සියුම් වේගවත් , ජව සම්පන්න සටන් කලාවක් ලෙසින් වසර 33000 න ඈත අතීතයේ සිට මෙම ක්‍රීඩාව විකාශනය වෙමින් පැවති බව පුරාවෘත්තයන්ගෙන් සනාත වෙයි. ප්‍රාග් ඓතිහාසික යුගයේ හෙල රාජ වංශය ආරම්භ කළායැයි සැලකෙන මහා සම්මත මනු රජ, අංගම් සටන් කලාවේ පුරෝගාමියා සේ සැලකේ. ඔහුට රාජත්වය හිමිවන්නේ, තමන් විසින් ප්‍රගුණ කළ අංගම් සටන් කලාවේ නිපුණතා ප්‍රදර්ශනය කර ජනතාවගේ ප්‍රසාදය දිනා ගැනීමෙන් පසුව බව ප්‍රාග් ෙඵතිහාසික මුලාශ්‍රයන්හි සදහන්වේ.
මහා සම්මත මනු රජ
Image Source : sakwithiravana
ඔහුගේ ඇවෑමෙන් රාජත්වයට පත් මනු රජ පරපුරේ රජුන් 21 දෙනාම අංගම් පොර සටන් කලාවේ අතිදක්ෂ රණ ශූරයින් වූ බව ද සැලකේ. මනු රාජ වංශයේ අවසන් රජුන් ලෙස රාජ්‍ය විචාල තාරක, මහා බලි, රාවණ රජ තුන්කට්ටුව අංගම්පොර සටන් කලාවේ කෙල පැමිණි රාජශූරයින් ලෙසින් ප්‍රකට ය.
Image Source : Inner Outer Living Facebook
මහා රාවණ නම් වූ රණ ශූරයා අංගම් සටන් කලාවේ කෙල පැමිණි පුද්ගලයෙකු බවත් මරණින් මතු ඔහු කතරගම දේව ආත්මය ලද බවත් ජනප්‍රවාදයක් පවතී. කෝට්ටේ රාජධානි සමයේ අංගම්පොර ශිල්පය බෙහෙවින්ම ව්‍යාප්තව පැවැති කාලයකි. කෝට්ටේ දැනට ද අංගම්පිටිය නමින් හැදින්වෙන ග්‍රාමයේ අංගම් පුහුණු මඩුවක් පැවැති බව ද පැවසේ.
අංගම් සටන් කලාව අති පූජනීය ශිල්පයක් ලෙසින් අපේ මුතුන් මිත්තන්ගේ ඉමහත් සම්භාවනාවට පාත්‍රව පැවතිණි. පුහුණුවට ඉදිරිපත් වන ආධුනිකයින් ගේ චරිත ලක්ෂණ නිවැරදිව හඳුනා ගැනීම පිණිස අනිවාර්යෙන්ම ඔවුනේගේ ජන්ම පත්‍රය පරීක්ෂා කිරීම සිදුවේ. සටන් පුහුණුවට පිවිසෙන ආධුනිකයින් ප්‍රථමයෙන්ම තෙරුවන් හා දෙවි දේවතාවුන් නැමද රාවණා ස්ත්‍රෝත ගායනයෙහි නිරත විය යුතුවේ. සටන් පුහුණුවට එළැඹීමට පෙර සිත සමාධි ගත කර ගැනීම අත්‍යවශ්‍යය. මේ සඳහා කුණ්ඩලනී යෝගය පිහිටන තෙක් භාවනා යෝගී අභ්‍යාසවල නිරතවීම ද අනිවාර්යය.
දේශීය අංගම් පොර ශිල්පය පුහුණු කල ගුරු කුල පරම්පරා ගණනාවක් අතීතයේ දිවයින පුරා දක්නට ලැබිණි. එම ගුරු කුල අතරින් අපට දැනගන්නට ලැබුණු අවසන් ගුරුකුලය සේ සැලකෙන්නේව කොරතොට අංගම්පොර ගුරු පරම්පරායි. කඩුවෙල කොරතොට රජමහා විහාරය කේන්ද්‍ර කර, කොරතොට කදු ආශ්‍රීත ගල් ගුහාවල ඔවුන් සටන් පුහුණු පංති පැවැත්වූහ. අතීතයේ මෙම විහාරස්ථානයේ අධිපතීන් වහන්සේ ලෙස වැඩ සිටි කොරතොට සෝභිත හිමිද මෙම සටන් කලාව මැනවින් ප්‍රගුණ කර තිබූ බව සඳහන් ය. මෙම පරපුරේ වත්මන් ගුරුන්නාන්සේ ලෙස සැලකෙන්නේ මහන්ත ආරච්චිගේ අජන්ත මහතා ය.
අංගම්පොර සටන් කලාවේ සජීවී දසුන් මාලාවක්.
පරදේශීන්ගේ දැඩි මර්ධනය පිටු දැකීමේ අභිලාසයෙන් අංගම් පොර සටන් පුහුණුවන්නන් විවිධ නෘත්‍යාංගයන්ද සිය පුහුණුවට බද්ධ කර ගත්හ. 1818 ජාතික නිදහස් ව්‍යාපාරයේ කොහු කුඹුරේ රටේ රාල වන් ප්‍රධාන අංගම්පොර සටන් ශිල්පීන් ඉංග්‍රීසීන්ට එල්ල කල දැඩි ප්‍රහාර නිසා එම සටන් ශිල්පීන් දුටු තැන වෙඩි තැබීමට ඉංග්‍රීසිහූ පසුබට නොවූහ. පසු කලෙක ටිකිරි බණ්ඩාර කුමරුගේ නායකත්වයෙන් පෙළ ගැසුණු අංගම් පොර සටන් ශිල්පීන් මුල්ලේරියා සටනේදී විදේශ හමුදා සමූල ඝාතනය කළහ. ඉංග්‍රීසීන් මෙන්ම පෘතුග්‍රීසීන් ද අංගම් සටන් ශිල්පීන් දුටු තැන වෙඩි තබා මරා දැමීමට සිය පරංගි සෙබළුන්ට නියෝග නිකුත් කර තිබිණි. එතැනින් නොනැවතුණු ඔවුහු අංගම් ශිල්පය පුහුණු වන මඩු ගිණි බත් කළ හ. එහෙත් දේශීය වීරෝධාර අංගම් පොර ශිල්පීන් තම පුහුණු කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට උපායශීලි වූහ. ඔවුහු සටන් පුහුණු වූයේ නෘත්‍ය විලායෙන් රග දක්වන්නා ලෙසිනි. ඔවුහු විචිත්‍රවත් කෝලම් ඇදුමින් සැරසී, වෙස් මුහුණු දරමින් නෘත්‍ය රග දක්වන විලාශයෙන් අංගම් පොර සටන් කලාව ප්‍රගුණ කළහ .
අංගම් මඩුවක්
Image Source : wikimedia
සිංහ නැටුම, වලස් නැටුම, කොටි නැටුම ආදී වශයෙන් සතුන්ගේ ක්‍රියාශීලි ඉරියව් ආශ්‍රයෙන් නිර්මාණය කර ගත් නෘත්‍ය විශේෂාංගයක් මෙනයින් අංගම්පොර සටන් කලාවට බද්ධ විය අංගම් මඩු ගිණිබත් කිරීමට ගම් නියම්ගම් සැරි සැරූ විදේශිකයින්ගෙ න් නෘත්‍ය පුහුණු වන්නන්ට මෙම නෘත්‍ය පුහුණුව නිසා කිසිදු හිරිහැරයක් සිදු නොවීය.
සංස්කෘතික උත්සව වලදී මෙවන් නෘත්‍යාංග වේදිකා ගත කිරීම තුළින් ද ජනතාව අතර අංගම් පොර සටන් කලාව පිළිබදව නිසැක වශයෙන්ම පිබිදීමක් ඇති කළ හැකි ය.
Image Source : flickr
ලොව විවිධ රටවලට ආවේණිකවූ ජාතික සටන් ක්‍රම රාශියක් පවතී කොරියාවේ ටයිකොන්ඩෝ, ජපානයේ කරාතේ, චීනයේ වූෂු, ග්‍රීසියේ පැන්ක්‍රාටන් ආදී ලෙසින් ඒ ඒ රටවලටම ආවේණික වූ සාම්ප්‍රදායික සටන් ක්‍රම රාශියක් ව්‍යාප්තිතය . ඔවුහු ජාත්‍යන්තර තරගවලට ඉදිරිපත් වෙමින් විවිධ ජයග්‍රහණයන් ලබමින් සිය රටේ අභිමානය මූර්තිමත් කිරීමට සමත් වුහ. 1818 දී ඉංග්‍රීසීන් අංගම්පොර සටන් කලාව නීති විරෝධී ක්‍රීඩාවක් ලෙසින් සලකා තහනම් කිරීම නිසා දේශීය අංගම්පොර සටන් කලාවේ ප්‍රවර්ධනය අඩපණ විය. එසේ නොවන්නට ශ්‍රී ලංකාවට අංගම්පොර දේශීය සටන් කලා ව ජාත්‍යන්තරය වෙත ගෙන ගොස් සෙසු රටවල් අභිබවා ජය කෙහෙළි නංවන්නට පුළුල් අවකාශයක් පැවතිණි.
රජය මගින් අංගම් පොර සටන් කලාව නීත්‍යාණුකූල බවට පත් කිරීමේ අවස්ථාවෙන් නිසි ඵල නෙලා ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ සෘජු මැදිහත්වීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කරනු කැමැත්තෙමි. ප්‍රාදේශීය මට්ටමින් අංගම් පොර ක්‍රීඩා තරග සංවිධානය කිරීම පිණිස නිසි ක්‍රමවේදයක් සැලසීම කෙරෙහි අදාල බලධාරීන්ගේ අවධානය යොමු කිරීම වැදගත් වේ. එය ප්‍රමුඛතාවයක් දිය යුතුම ජාතික අවශ්‍යතාවයකි. අංගම්පොර ශිල්පයට ඉංග්‍රීසීන් විසින් පනවා තිබු තහනම ඉවත් කිරීමට රජය මගින් මෑතකදී ගනු ලැබූ ප්‍රෂංසනීය ප්‍රතිපත්තිමය තීරණය අර්ථවත් වන්නේ තත් ජාතික අවශ්‍යතාව ක්‍රියාවට නැගුවහොත් පමණි.
ආචාර්ය ගාමිණී කාරියවසම්.