ලොව ප්‍රථම කඩොලාන කෞතුකාගාරයේ නිර්මාතෘ–ආචාර්ය අනුරාධ වික්‍රමසිහ පරිසර වේදියා දිවිසැරියෙ න් සමු ගනී-by Gamini Kariyawasam
Image Source:Independent
ආචාර්ය අනුරාධ වික්‍රමසිංහ , පරිසර සංවර්ධන මෙහෙවරට මුලින් ම පිළි පන්නේ 70 දශකයේ ජාතික උරුමය ව්‍යාපෘතිය ට නායකත්වය දෙමිනි. 80 දශකයේදී ජාතිය ගොඩනගන්නන්ගේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වරයෙක් ලෙසින්, හෙතෙම ප්‍රජා වන වගා සංකල්පය සමාජ යථාර්තයක් බවට පත් කිරීමට සමත් විය. වාරි ජල කළමනාකරණය ගොවි ජනතාවට හදුන්වා දීමට ද ඔහු ගත් වෙහෙස අපමණය.ඔහු පරිසරයට ඇලුම් කිරීමටත්, පරිසර ක්ෂේස්ත්‍රයේ ක්‍රියාකාරකම් උදෙසා යොමු වීමටත් ප්‍රධාන හේතුවක් වුයේ ,ඔහු හැදී වැඩුනේ ගැමි පරිසරයක වීම නිසා යයි උපකල්පනය කළ හැකිය.
අනුරාධ ජන්ම ලාභය ලද්දේ ,1953 අගෝස්තු 8 වන දින රජරට හොරොව්පතාන පාරම්පරික ගොවි පවුලකය.තමන් ජනිත ගැමි පරිසරයෙහි වන පෙත්,දිය ඇලි ,වැව් අමුණු සිහිලැල්ලේ හැදුනු වැඩුණු අනුරාධයන් ,ළමා වියේ පටන් පරිසරයට දැඩි ලෙස ඇලුම් කළේය.
අනුරාධ වික්‍රමසිංහ , කැනඩාවේ ශාන්ත ෆ්‍රැන්සිස් ෂේවියර් සරසවියෙන් ලද පරිසර කළමනාකරණ උපාධිය සහ ජේරුසලම් සරසවියෙන් සමාජ සංවර්ධන කළමනාකරණය පිළිබදව ලද ආචාර්ය උපාධිය,ඔහුට තම නිජබිමේ පරිසර සංවර්ධන ක්‍රියාකාරකම් මෙහෙයවීමට පුළුල් ප්‍රවේශයක්, නව ජවයක් ලබා දුන් සෙයක් දිසේ.
සිය ක්ෂේත්‍ර පරීක්ෂණයන්හිදී , දේශයේ තිරසාර පැවැත්ම කෙරෙහි කඩොලාන පරිසර පද්ධතියෙන් ඉටුවන ප්‍රශස්ත මෙහෙවර අවබෝධ කර ගැනීමට හේ සමත් විය. අනුරාධ වික්‍රමසිංහ මෙම අමිල කඩොලාන පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමෙහිලා වෙරළ තීරයේ ජනතාව පෙළ ගැස්වීම හා පෙලඹවීම ට පුරෝගාමී වැඩපිළිවෙලක් සැලසුම් කළේය.ඔහු මෙම කාර්යය සාධනය අපේක්ෂාවෙන් ,වෙරළ ඉම සුළු ධීවරයින් සහ ධීවර පවුල් ඒකරාශී කර ගැනීම උදෙසා ,1990 වසරේදී “සුළු ධීවර සම්මේලනය” ( සුධීස ) නමින් සංවිධානයක් පිහිටුවා ගැනීමට පුරෝගාමීව කටයුතු කළේය.එහි ව්‍යාපෘති මධ්‍යස්ථානය හලාවත ,කාක්කපල්ලිය, පම්බල කලපුව ආශ්‍රිතව ස්ථාපිත කෙරිණි.
Image Source:Reddit
ශ්‍රී ලංකාවේ විවිධ දේශගුණික කලාප වලදී දැකිය හැකි, කඩොලාන ශාක වර්ග 50ට වැඩි ප්‍රමාණයක්, රෝපනය කර ,එම පරිශ්‍රයෙහි ආදර්ශ තවානක් ස්ථාපිත කර ජනතාව දැනුවත් කිරීමට ද හේ පියවර ගත්තේය.කඩොලාන පිළිබඳ නිබඳවම පිරික්සුම් සිදු කිරීම උදෙසා පර්යේෂණාගාරයක් ද එහි නිර්මාණය කළේය.

ඊට අමතරව එම මධ්‍යස්ථානයෙහි ධීවර ජනතාවට කඩොලාන ශාඛයේ වැදගත්කම වටහා දීම පිනිස වැඩමුළු සංවිධාන කිරීමට අනුරාධයන් උපායශීලි විය.
මිනිස් දිවියට, පරිසරයට අහිතකර කාබන් අවශෝෂණය කර, ගෝලීය උණුසුම් හා සබැඳි ස්වභාවික ව්‍යවසනයන් පිටු දකින, වෙරළ ඛාදනය වළකන මෙතෙක් බොහෝ දෙනෙකුගේ වැඩි අවධානයට යොමු නොවූ පරිසර සාධකයක් ලෙස කඩොලාන තුරු යායට උද්භිද ලොවේ අද්විතීය ස්ථානයක් හිමිවන බැව් ,වැඩමුළු මගින් ඔහු ජනතාව දැනුවත් කළේය.
මසුන් රැසකගේ උපත සිදුවන්නේත්, එම ජීවීන් ආරක්ෂා වන්නේත් ඔවුනට ආහාර සැපයෙන්නේත් කඩලාන පරිසරය ආශ්‍රිතවය. විවිධ කඩොලාන පරිසර පද්ධති තුළින් මිනිසාගේ ආර්ථික ප්‍රගමනය සඳහා ලබාදෙන දායකත්වය පිළිබදව ද හේ ධීවර ජනතාව පුළුල් අවබෝධයකින් සන්නද්ධ කරලන්නට සමත් විය. කඩොලාන ආශ්‍රිතව මසුන් බහුලව ගැවසෙන බැවින් ධීවර කාර්මිකයිනට වඩාත් පහසුවෙන් සිය ජීවනෝපාය සිදු කර ගැනීමට අවස්ථාව සැලසෙන බැවින් ,කඩොලාන ශාඛා ආරක්ෂා කර ගැනීමට සහ අලුතින් ශාඛා වගාවට ද ජනතාව යුහුසුලු වුහ.ඔහු විසින් දිවයින වටා වෙරළ තීරයේ ,කඩලාන සංරක්ෂණ ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කළේය.
2016 වසරේ ජුලි 26 වන දින ට යේදී තිබු ජාත්‍යන්තර කඩොලාන දිනය නිමිති කර ගෙන,අනුරාධයන්ගේ දැඩි කැපවීමෙන් ඉදි කළ, ලොව ප්‍රථම කඩොලාන කෞතුකාගාරය , පම්බල කලපු තාවුල්ලේ සුධීස( සුළු ධීවර සම්මේලන ) සංකීර්ණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිදුන් විසින් දැයේ මතු පරපුර වෙත දායාද කරනු ලැබිණි.

එම කාල වකවානුවේ ,යථෝක්ත ව්‍යාපෘතියෙහි අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් මම කටයුතු කළ බැවින්,අනුරාධයන් තුළ කඩොලාන සංරක්ෂණය උදෙසා ලියලමින් පැවැති මහත් උද්යෝගය මැනවින් පසක් කර ගැනීමට හැකි විය.
එදවස , කඩොලාන පිළිබදව ජනතාවට පුළුල් අවබෝධයක් ලබා දීම පිණිස ,භාව පුර්ණ , රසාස්වාදනීය ගීතයක් නිර්මාණහි ලා ද ,අනුරාධයන්ගේ අවධානය යොමු විය.
ප්‍රබුද්ධ ගීත නිර්මාපක සුනිල් සරත් පෙරේරා සුරීන් කඩොලාන තේමා ගීතය නිර්මාණය කළ අතර ඊට යෝග්‍යතම තනුවක් යොදා, ගායන දායකත්වය ලබා දෙන ලද්දේ අමරසිරි පීරිස් සංගීතවේදි යානන් විසිනි.
අනුරාධයන්ගේ මග පෙන්වීමෙන් නිර්මාණයවූ කඩොලාන තේමා ගීතය >
අනුරාධයන්ගේ මැදිහත් වීමෙන් ,මෙම ව්‍යාපෘතිය මඟින් මානව වර්ගයාගේ විවිධ ක්‍රියාකාරකම් නිසා විනාශ වෙමින් පවතින කඩොලාන, ජාතික සම්පතක් ලෙස සලකා සුරක්ෂිත කිරීම පිණිස උපාය මාර්ග රාශියක් ක්‍රියාත්මක වීය. කඩොලාන කලාප සංරක්ෂිත ප්‍රදේශ බවට ගැසට් කර එම පරිසර පද්ධතියෙහි සුරක්ෂිතතාව සඳහා නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු කිරීම, විනාශයට පත් කඩොලාන තිබු මුල් බිම් වල නැවත කඩොලාන රෝපනය, තවාන් ආරම්භ කිරීම, කඩොලාන පරිසර පද්ධතිය ආශ්‍රිත ගම්මානවල ජනතාවට කඩොලාන රැක ගැනිම හා ඒ ඇසුරෙන් විකල්ප ආදායම් මාර්ග සලසා ගැනීම පිණිස දැනුවත්කිරීම හා අවශ්‍ය අනුග්‍රහය ලබාදීම, මෙම ව්‍යාපෘතිය මඟින් ක්‍රියාවට නැංවීය.
වෙරළාශ්‍රිත ශාඛ සංරක්ෂණය වෙනුවෙන් නිහඩ සුවිසල් මෙහෙවරක නිරත පුද්ගලයකු ලෙස ජාත්‍යන්තර ඇඟයිමට බඳුන් වූ අනුරාධ වික්‍රමසිංහ ඩොලර් 10000 වටිනා “සීකොලජී” ජාත්‍යන්තර තාග්‍යයෙන් බුහුමන් ලැබීය.
පරිසර සංරක්ෂණයට අමතරව , අනුරාධ වික්‍රමසිංහයන් වෙතින් බුදු සසුනේ සුරක්ෂණය පිණිස ද සුවිසල් මෙහෙවරක් ඉටුවිය.
ආචාර්ය අනුරාධ වික්‍රමසිංහ මහතා , නේපාලයේ ලුම්බිණි පුදබිම සංවර්ධන ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වරයෙක් ලෙසින් ඉටු කළ මෙහෙවර.
එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් , විවිධ ජාතීන් ලුම්බිනිය වන්දනා කිරීමට පැමිණි විට ඔවුනට නවාතැන් ගැනීම හා තම රටට ආවේණික අන්දමින් ආරාම පිහිටුවා ගැනීම පිණිස බිම් කැබලි 41ක් වෙන්කර ඇත. මෙහි නැගෙනහිර තීරුවෙහි පිහිටි බිම්කොටස් ථෙරවාදී ආරාම සඳහා ද, බටහිර තීරුව මහායාන ආරාම සඳහා ද වෙන් වී ඇත.
ථෙරවාදී ආරාම සදහා වෙන් කළ නැගෙනහිර බිම් තීරුවෙහි ශ්‍රී ලංකාරාමය ඉදිකිරීම උදෙසා, ශ්‍රී ලංකා රජය මඟින් ලුම්බිණිය සංවර්ධන පදනම නමින් ව්‍යාපෘතියක් ස්ථාපිත කිරීමට පියවර ගති. අනුරාධ වික්‍රමසිංහයන් එම සංවර්ධන පදනමේ විධායක අධ්‍යක්ෂ ලෙසින් රජය මගින් පත්කරනු ලැබිණි. හෙතෙම ලුම්බිණියේ ශ්‍රීලංකාරාමය ඉදිකරලන්නට සහ දුටුගැමුණු විශ්‍රාම ශාලාව ප්‍රතිසංස්කරණය කිරීමට සුවිසල් දායකත්වයක් ලබා දීමට සමත් විය.
ශ්‍රී ලංකා රජය විසින් ඉදි කළ,ලුම්බිණියේ මනරම් ශ්‍රී ලංකාරාමය .
Image Source:Qa.trip
අනුරාධ වික්‍රමසිංහයන් , සුනිල් සරත් පෙරේරා,මහාචාර්ය එච්.එම්.ඩී.ආර්.හේරත් මහතා ඇතුළු පිරිස සමග ලුම්බිණි සංවර්ධන කටයුතු අධීක්ෂණයේ යෙදුනු අවස්ථාවක්.
Image Source:Marinatabassumarchitects
දිවංගත ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස ජනපතිඳුන් විසින් ලුම්බිනියේ ඉදි කළ,පසු කාලයේ අබලන්වූ දුටුගැමුණු වන්දනා නිකේතනය,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත්වීම මත, 2009 වසරේදී මැනවින් ප්‍රතිසංස්කරණයට බඳුන් විය.
අනුරාධ වික්‍රමසිංහ මහතා,මාස ගණනාවක් ලුම්බිණියේ නේවාසිකව සිටිමින් , සේවකයින් මෙහෙයවමින් දුටුගැමුණු වන්දනා නිකේතනය නව මුහුණුවරකින්,කෙටි කාල පරාසයක් තුළ ඉදිකරලන්නට,මහත් කැපවීමකින් කටයුතු කළේය.
ප්‍රති සංවර්ධිත ,ලුම්බිණියේ දුටුගැමුණු වන්දනා නිකේතනය.
කා
අනුරාධ නේපාලයේ පමණක් නොව ,චීනය,මැලේශියාව ,ජපානය වැනි රටවල් ගණනාවක සදහම් මෙහෙවරෙහි යෙදෙමින් බුදු දහමේ උන්නතිය වෙනුවෙන් සිදු කළ යුග මෙහෙවර ප්‍රශස්තය.
අනුරාධ වික්‍රමසිංහ ජපානයේ ධර්ම ධුත මෙහෙවරක යෙදුනු අවස්ථාවක් >
අප දේශය වෙනුවෙන් ,ආගමික සහ පාරිසරික සේවාවන් රැසක් ඉටු කළ ,අභාවප්‍රාප්ත අනුරාධ වික්‍රමසිංහ සුමිතුරාට, අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරමු.






