eLanka

Tuesday, 18 Nov 2025
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Blog » Articles » දළදා පෙරහැරේ ගතික සංස්කෘතික නිරූපණය සහ දළදා පුරාණය – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

දළදා පෙරහැරේ ගතික සංස්කෘතික නිරූපණය සහ දළදා පුරාණය – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: August 8, 2025 6:01 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
23 Min Read
SHARE

දළදා පෙරහැරේ ගතික සංස්කෘතික නිරූපණය සහ දළදා පුරාණය – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

dalada perehara 2

Image Source : facebook

කන්ද උඩරට 1715 වන  ඇසළ පෙරහර මහා මංගල්‍ය 2025,  ජූලි මස 25 වෙනි දා පුරාණ චාරිත්‍රානුකූලව කප් සිටුවීමෙන්  ආරම්භ විය. සංස්කෘතික සහ බෞද්ධාගමික අනන්‍යතාව නිරූපනය කරවන සුළු,වාර්ෂික දළදා පෙරහර මංගල්‍යය අගෝස්තු 09 වෙනි දින මහා පෙරහරින් අවසන් වීමට නියමිතය.මෙම පෙළහරක් වන්වූ ඇසළ පෙරහර පැවැත්වෙන ඇසළ මාසය, අපේ පැරැන්නෝ “පෙරහැර මාසය” ලෙස හඳුන්වති.

More Read

Pakistan vs Sri Lanka ODI series 2025
Watch Highlights – Pakistan vs Sri Lanka ODI series 2025
Barbar breaks century drought and Pakistan steamroll Sri Lanka to take one-day series. – by Trevine Rodrigo Shallow batting expose Sri Lanka’s ongoing woes as they crumble to 3-0 series whitewash. – BY TREVINE RODRIGO IN MELBOURNE. (eLanka Sports Editor).
Lankan Fest 2025 – Luminary Awards – 16 November 2025 – Crown Riverwalk

චාරිත්‍රයක් ලෙසින් ,දළදා පෙරහැර පැවැත්වීමට ඇසළ පොහෝ සමය යොදා ගැනීමට  , කිසියම් වැදගත් සාධකයක් මුල්වී ඇති බැව් විද්වතුන්ගේ නිගමනයයි.ලෝකයට සම්‍යක් දර්ශනය පහළ වූයේ ඇසළ පොහෝ දිනකය. මිගදායේදී බුදුන් වහන්සේ පස්වග  මහණුන් වෙත මධ්‍යම ප්‍රතිපදාව නම් වූ උසස් ජීවන පිළිවෙත දේශනය කළේ ඇසළ පොහෝ දිනක බැවින් ශාන්ති නායකයාණන්ගේ අසූහාර දහසක් ශ්‍රී ධර්මස්කන්ධය ස්පර්ෂිත දළදා  සමිඳුන් වෙනුවෙන් එසමයෙහි පෙරහැර පවත්වා පූජෝපහාර දැක්වීම අගය කළ යුතුය.

චිරාගත සම්ප්‍රදායන්ට අනුකූලව  දළදා පෙරහැර  පැවැත්වෙන්නේ නැකත් මුල්කරගෙනය.නැකැත් පිළියෙල කිරීමේ කාර්යය භාරව සිටින්නේ නැකත් මොහොට්ටාලට ය. නැකැත් පිළියෙල කිරීමේ කාර්යය භාරව සිටින්නේ නැකත් මොහොට්ටාලට ය. 

වත්මන්  මහනුවර ඇසළ පෙරහරේ ආරම්භය ක්‍රිස්තු වර්ෂ 18 වන සියවස මැද භාගයේ දී පමණ සිදුවූ බවට සක්ෂි විද්‍යාමානිතය.  මුල්ම යුගයේ මෙම පෙරහැර ශෝභාමත් වූයේ නාථ , කතරගම , විෂ්ණු , පත්තිනි යන සිව් මහා දේවාලයන්ගේ  පෙරහැරින්  පමණි. වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ අනුශාසනා පරිදි කීර්ති ශ්‍රී රාජසිංහ රජු ( ක්‍රිස්තු වර්ෂ 1747 – 1782) විසින් එකී සතර දේවාල පෙරහරට දළදා මාලිගාවේ පෙරහරක් ද එක් කිරීම හේතුවෙන් ඇසළ පෙරහර බෞද්ධ මුහුණුවරකින් ප්‍රභාෂ්වර විහිදුවන්නට විය. 

කුඹල් පෙරහර

සිව් මහා දේවාල පෙරහැර පවත්වා පස් වන දිනයේ “කුඹල් පෙරහර”ආරම්භ වේ.“කුඹල් පෙරහර”  ,දළදා කරඬුව සහිත රන්සිවිගෙය වැඩමවන මාළිගාවේ ඇතා ප්‍රමුඛ  කරගෙන දින පහක් වීදි සංචාරය කෙරේ.මෙම පෙරහරට කුඹල් පෙරහර  ලෙස ව්‍යවහාර වන්නට වූයේ,පෙර රජ දවස , පළමු දළදා පෙරහර වීදි බැසීමට පෙර අලුත් වළං කදක් රැගත් කුඹලෙකු එනම් වළන් කත් කරුවෙකු පෙරහරේ ඉදිරියෙන් ගමන් කළ නිසා බව ජනප්‍රවාදයේ සඳහනි.

      

Image Source : facebook  

රන්දෝලි පෙරහර

පුරා දින පහක් කුඹල් පෙරහර පැවැත්වීමෙන් පසුව “රන්දෝලි පෙරහර” වීදි සංචාරයෙහි යෙදීම ඇරඹේ. රන්දෝලි පෙරහැර යනුවෙන් මෙය හඳුන්වන්නේ මහනුවර රජ සමයේ රජුගේ අගමෙහෙසිය හෙවත් “රන්දෝලිය” මෙම විචිත්‍රවත් දෝලාවෙහි ගමන් කළ නිසා බැව් පැවසේ..

සිව් මහා දේවාලයන්හි දේවාභරණ වැඩමවන  රන්දෝලි දෝලාවන්, කුඹල් පෙරහරේ පස්වන දිනයේදී පෙරහැර අගට එක් කිරීම ආදී සම්ප්‍රදායකි .රන්දෝලි පෙරහරේ පස්වන දිනය හෙවත් අවසාන දිනය හඳුන්වන්නේ “මහා රන්දෝලි ය” යනුවෙනි.

රන්දෝලි පෙරහර පුරා දින පහක් අඛණ්ඩව පැවැත්වේ. දළදා පෙරහැරේ කූටප්‍රාප්තිය ලෙස සැලකිය හැකි රන්දෝලි පෙරහර හේවිසි කරුවන් , හොරණෑ කරුවන් , නැට්ටුවන් , අලි ඇතුන් ආදීන් ගේ සහභාගිත්වයෙන්   චිත්‍රවත්වේ. මෙනයනින් දළදා මහ පෙරහැර විචිත්‍රවත් කරන පාරම්පරික ශිල්පීන් සමුහය  පිළිබඳව නිවැරදි  තොරතුරු සමුදායක්, නෙරංජන් විජේරත්න හිටපු දියවඩන නිලමේතුමන්  විමසීමෙන් දැනගන්නට ලැබිණි.

  නෙරන්ජන් විජේරත්න    හිටපු දියවඩන නිලමේ තුමා

          dalada perehara 2

එතුමාගෙන් ලබා ගත් තොරතුරු අනුව,දළදා පෙරහරෙහි ගමන් ගන්නා,පාරම්පරික ශිල්පීන් සමුහය පහත දැක්වෙන අයුරින් පෙළ ගැස්විය හැකිය.

More Read

COMPARISON OF MULTI CULTURAL SOCIETY Vs UNITY IN DIVERSITY. - By Noor Rahim
COMPARISON OF MULTI CULTURAL SOCIETY Vs UNITY IN DIVERSITY. – By Noor Rahim
Miss Universe Sri Lanka 2025 Lihasha Lindsay White
Que Sera Sera – By George Braine

කස කරුවන්,බෞද්ධ කොඩි කරුවන්,පලාත් කොඩි කරුවන්,අසිපත් ධාරීන්,ගිනිබෝල කරුවන්,පෙරමුණේ රාල,පනික්කියන්,ගජනායක නිලමේ,මගුල් බෙර කරුවන්,ඇත් පන්ති,පොල් මල් නැට්ටුවන්,හොරණෑ කරුවන්,තම්මැට්ටම් කරුවන්,දවුල්කරුවන්,තාලම්පොට කරුවන්,පතුරු නැට්ටුවන්,සවරන් නැට්ටුවන්,ලී කෙලි නැට්ටුවන්,පන්තේරු නැට්ටුවන්,හවඩි දඟයා,වේවැල් වියන්නන්,උඩැක්කි කරුවන්,    

රබන් නැට්ටුවන්,ගැට බෙර කරුවන්,නෛයන්ඩි නැට්ටුවන්,

උඩරට වෙස් නැට්ටුවන්,කාරිය කෝරාළ,නාගසිංගම් වාදනය,

මංගල හස්තියා,දෑලේ ඇතුන්,කවිකාර මඩුව,දියවඩන නිලමේතුමා,

නාථ දේවාල පෙරහැර,විෂ්ණු දේවාල පෙරහර,කතරගම දේවාල පෙරහැර,පත්තිනි දේවාල පෙරහැර ,දළදා පෙරහර වර්ණවත් කෙරෙන අනුෂාංගයන්ය. 

        

Image Source : facebook

                  

Image Source : facebook

දුරාතීතයේ සිට දළදා  පෙරහරේ ගමන් මාර්ගය වී ඇත්තේ ,දළදා වීදිය , යටිනුවර වීදිය , හරස් වීදිය , කොටුගොඩැල්ල වීදිය , කන්දෙ වීදිය සහ  ඩී එස් සේනානායක වීදිය යන මාර්ගයන්ය. 

 දළදා පෙරහර නිමා  වන්නේ සධාතුක කරඬුව රැගත් ඇතු දළදා මාලිගාවට පිවිස  සධාතුක කරඬුව යළි දළදා වහන්සේ වැඩසිටින කුටියට වැඩම කරවීමෙනි.     

Image Source : facebook

දළදා පෙරහැර මංගල්‍යයේ චාරිත්‍රානුකූල පිළිවෙත් සමුදායේ අවසන් අදියර වන්නේ , දවල් පෙරහරට පෙරාතුව ශුභමුර්තියෙන් සිදුකෙරෙන  දිය කැපීමේ උත්සවයයි. නිසි කලට වැසිලැබ ගොඩමඩ ගොවිතැන සශ්‍රීකවීමේ යහ ප්‍රාර්ථනය මෙම චාරිත්‍රයෙන්  මූර්තිමත් කෙරේ.

දළදා පෙරහැර නිමා වීමෙන් අනතුරුව  දියවඩන නිලමේතුමා සිව් දේවාලවල බස්නායක නිලමේවරුන් සමග රාජ්‍ය නායකයා වන ජනාධිපතිතුමා හමුවී පෙරහැර නිසි පිළිවෙත් ප්‍රකාරව සිදු කළ බැව් සැළකර සිටිති.

 දළදා පුරාණය.

දළදා වහන්සේ වෙත පූජෝපහාර පිණිස, වාර්ෂිකව පැවැත්වෙන දළදා පෙරහැරේ විචිත්‍රත්වය පිළිබඳව ,අප ඉහතින් මැනවින් සාකච්ඡා කළෙමු. මෙම නිමේෂයේ, දළදා වහන්සේගේ සම්ප්‍රාප්තිය ඇතුළත්, දළදා පුරාණය පිළිබඳව ද තොරතුරු සැකෙවින් විමසා බැලීම,පාඨක දැනුම් නිම්  වළලු  පුළුල් කිරීම උදෙසා ,අතිශයින් වැදගත් වනු  නියති.

දාඨා වංශයෙන් හෙළිවන පරිදි ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව එක් දළදාවක් ශක්‍රයා විසින්ද, සෙසු දන්තයන් , ගන්ධාර දේශයේ හර්ෂවර්ධන රජු හා නාලොව නාග රජුන් විසින්ද ලබා ගෙන පුද පෙළහර පවත්වනු ලැබීය. සිවු දළදාවන්ගෙන් ඉතිරි දළදාව ඛේම නම් මහරහතන් වහන්සේ ක්‍රි.පු. 433 දී කලිඟු රට දන්ත පුර බ්‍රහ්මදත්ත රජුන් වෙත පිරිනැමූ සේක. බ්‍රහ්මදත්තයන් රන් රුවනින් අලංකාර වූ අනගි සුවිසල් ධාතු මන්දිරයක් ගොඩ නංවා දළදා සමිඳුන් එහි තැන්පත් කොට මහත් භක්තියකින් පුදනු ලැබිණි. ඔහුගේ ඇවෑමෙන් පිලිවෙළින් රාජත්වයට පත් කාසි රාජ, සුනන්ද, ගුභසීව යන රජදරුවන් විසින් ද මේ මාහැඟි පූජනීය වස්තුව දිවි දෙවැනි කොට ආරක්ෂා කරමින් පූජා පැවැත්වූහ. ශුභසීව  රජු දවසදී පාණඩු නම් මිසදිටු රජු නිසා දළදා සමිඳුන් විවිධ අතවරවලට බඳුන් විය. එසේ වුවද දළදා හිමි අවුරුදු 850 කට ආසන්න කාලයක් නිරුපද්‍රිතව කලිඟු රටෙහි යෙහෙන් වැජඹිණි.

ගුභසීව රජුගේ රාජ්‍යරක්ෂාව යටතේ කලිඟුරට දන්ත පුරයේ තැන්පත්ව පැවති දළදා සමිඳුන් වෙත පැමිණි, උදේනි රජුගේ පුත් කුමරුවෙක් දළදා සිරියෙන් මහත් ප්‍රසන්තාවයට පත්ව දළදා සමිඳුන්ට තේවාව පවත්වමින් එහිම වාසය කළේය. දළදා හිමි වෙනුවෙන් සිය කාලය කැප කිරීම නිසා හේ  දන්ත කුමරු නමින්  පසු කලෙක ප්‍රසිද්ධියට පත්විය . දළදාවේ ආශ්චර්යමත් බව ලොව දස දෙස පැතිර යද්දී, දඹදිව ක්ෂීරධාරා රජු සේනා ගෙන දළදාව තමන් වෙත පවරා ගැනීම පිණිස ගුභසීවයන් හා සටනට පැමිණියේය. දළදාව සතුරු රජුන්ගෙන් මුදා ගනු වස් ශුභසීව රජු සිය දියණිය වූ හේමමාලා සහ දන්ත කුමරුන් කැඳවා දළදාව රැගෙන රහසින්ම ලක්දිව සිටින තම මිත්‍ර මහසෙන් රජු වෙත යන ලෙස සැළ කර සිටියේය.මෙම සිදුවීමට  කළෙකට ඉහත ලංකාවේ මහසෙන් රජු සිය මිතුරු වූ ගුභසීව රජුට පඩුරු යවමින් දළදා පහස ලත් පැන් ටිකක්වත් එවන ලෙස දන්වා සිටි බවට, දාඨාවංශ කර්තෘ කරන සඳහන අනුව, මෙම අවදානම් අවස්ථාවේ කලිගු  රජුන්ට ලක් නිරිඳුන් සිහිපත් වීම අරුමයක්  නොවේ.

බැමිණි වෙස් ගත් හේමමාලා කුමරිය, දළදා සමිඳුන්ගේ දැඩි ආරක්ෂාව පතා, එය සිය දිගු සුනිල්වන් කේශ කලාපය තුළ සඟවාගෙන දන්ත කුමරුන්ද සමඟින් ක්‍රි.ව.362 දී ලංකාද්වීයට පා තැබුවාය.. අතර මඟදී ඔවුනට නාගයින් අවහිර කළ බවත්, එම බාධක මඟහැරෙන තුරු ඔවුහු දළදාව කෘෂ්ණ නදී තීරයෙහි දින්නෙයි නම් ස්ථානයෙහි වැලි අතරේ සැඟවූ බවත් දාඨාවංශයෙන් හෙළිවේ. මුලින්ම අනුරපුරයෙහි මහමෙවුනාවේ  මේඝ ගිරි විහාරයට ගිය දන්ත කුමරුන් සහ හේමමාලිය එහි මහ තෙරුන් මුණ ගැසී සියළු පුවත් හෙළි කළේය. මේ අවදිය වන විට ගුභසීවයින් ගේ මිත්‍ර මහසෙන් රජු මියපරලොව ගොස් සිටි හෙයින් ඔහුගේ පුත් කීර්ති ශ්‍රී මේඝවර්ණයන්  දළදාව භාර ගැනීමට ඉදිරිපත් විය.

මහා වංශයෙහි කාල නීර්නයට අනුව මෙම අනුස්මරණීය සිද්ධිය ඇති වූයේ කිත්සිරි  මෙවන් රජුගේ අභිෂේකයෙන් නමවන වර්ෂයේදීය.ක්‍රි.ව. 460 උපතිස්ස රජුගේ රාජ්‍ය සමයෙහි පැතිරී මහා නියඟයකින් රට මුදා ගැනීම පිණිස රජතුමා දළදා සමිඳුන් හස්තියෙකු පිට වඩා හිදුවා අනුරපුර නගරයෙහි පෙරහැර පැවැත්වූ බවත්, සැනෙකින් විසල් වැසි වට බවත් , චූලවංශ කතුවරයා සඳහන් කරයි. ක්‍රි.ව.516-526 අතර සමයෙහි රාජ්‍ය විචාල ධාතුසේන මහ නිරිඳුන් දළදා වහන්සේ වෙනුවෙන් රුවන්මය  කරඩුවක් තනා පුද කළේය. කිත්සිරි මෙවන් රජු දවස පටන් සිව්වෙනි මිහිදු රජුගේ දසවෙනි වස තෙක් වර්ෂ 701 ක් මුළුල්ලේ දන්ත ධාතූන් වහන්සේ සුරක්ෂිතව අනුරාධපුර රාජධානියෙහි වැඩසිටි බව සනාථ කෙරෙන ඉතිහාස ගත සාධක රාශියකි. සිව්වන මිහිඳු රජුන්ට කේරලයන්ගේ බලවත් කැරැල්ලකට මුහුණු දෙන්නට සිදුවිය.  එය මැඩලීමට තරම් බලසම්පන්න නොවූ මිහිඳු රජු දළදා වහන්සේ ද රැගෙන රහසේම රෝහණ දේශයට පලා ගියේය. රෝහණ රාජ්‍යයයේ සීදුගල ටික කලක් ගත කළ හෙතෙම පසුව කපුගල නම් ස්ථානයේ කුඩා නුවරක් ඉදිකරවා දළදා හිමි තැන්පත් කොට ප්‍රාදේශීය රජෙකු වශයෙන් රාජ්‍ය කළේය. රුහුණේ යුව රජ පදවි දරමින් සිටි කීර්ති කුමරු ක්‍රි.ව.1058-1174 පොළොන්නරුව අගරජ දහන කොට පළමුවන විජයබාහු නමින් රාජපද ප්‍රාප්තියට පත්වීමත් සමඟ ම දළදා සමිඳුන් වෙත යහපත්  කාලපරිච්ඡේදයක් උදාවිය. හෙතෙම රුහුණු රට සඟවා තිබුණු දළදාව පොළොන්නරුවට වැඩමවා අලංකාර පහයක තැන්පත් කොට පෞරාණික පුද සිරිත් පවත්වන්නට විය.

වසර 157 ක් යෙහෙන් වැජඹි පොළොන්නරු පුරවරයද කාලිංග මාඝයන්ගේ දරුණු ආක්‍රමණයට ගොදුරු විය. මේ අවස්ථාවේ වාචිස්සර මහා තෙරනුවෝ දළදාව සඟවාගෙන කොත්මලේට පලා ගොස් පුහුල්පිටියේ මල්හැව ග්‍රාමයෙහි එය නිදන් කළ සේක. විසිඑක් වසක් පමණ මෙහි අප්‍රසිද්ධියේ නිදන්ගතව පැවති ශ්‍රී දළදාව ක්‍රි.ව.1220 රාජ්‍යත්වයට පත් වත්හිමි විජයබා රජුගේ භාරයට පත්විය. එතුමා බෙලිගල මැදුරක් කරවා ශ්‍රී දළදා සමිඳුන් එහි තැන්පත් කළේය. 

මායා රට දඹදෙනියේ රාජධානී පිහිටුවාගත් කළිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු නිරිදුන් , ක්‍රි.ව.1224 දී ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ  තම රාජධානියට වැඩමවා ඉපැරණි පුද පිළිවෙත් ඒ අයුරින්ම පැවැත්වීමට අවශ්‍ය විධිවිධාන යෙදීය. යාපහුවේ රජ පැමිණි පළවෙනි බුවනෙකබාහු රජුද තම රාජධානියේ සමෘද්ධිය පතා දළදා සමිඳුන් යාපහුව වෙත වැඩමවා ගත්තේය.

ක්‍රි.ව.1271 දී යාපහු නුවර ආක්‍රමණය කළ ඉන්දියාවේ කුලශේකර රජුගේ ආර්ය චක්‍රවර්ති නම් පඩි සෙනෙවි විසින්, ශත වර්ෂ දහසකට ආසන්න කාලයක් සිංහල බුදුනුවන් හදවත් සඳහම් සිසිලෙන් නැහැවූ දළදා සමිඳුන් හා පාත්‍ර ධාතුවද පැහැර ගෙන පඩිරට මධුරා පුරයට ගෙනයනු ලැබීය. මීළඟට ලක්දිව රාජ්‍යත්වයට පත් තුන්වැනි පරාක්‍රමබාහු රජු පඩි රජුන් හා මිත්‍ර සම්බන්ධතාවය තර කර ගෙන දළදාව හා පාත්‍ර ධාතුව පොළොන්නරුවට වැඩමවා ගැනීමට සමත් විය. නොබෝ දිනකින් දෙවන බුවනෙකබාහු කුමාරයා තුන්වන පැරකුම්බාවන් පරදවා දළදා වහන්සේ  කුරුණෑගලට ගෙනැවුත් තුන් මහල් පහයක තැන්පත් කළේය.

අනතුරුව දළදා සමිඳුන් ගම්පොල නියම්ගම් පාය ස්ථානයට වැඩමවන ලදි. මෙහිදී සිව්වෙනි බුවනෙකබාහු නිරිඳුන් විසින්  රිදී හත් දාහකින් තැන වූ කරඞුවක දළදා සමිඳුන් තැන්පත් කරනු ලැබීය. ගම්පලින් පල්ලේපිටියට වැඩමකළ සමිඳුන් වෙත තුත්වන වික්‍රමබාහු රජු විසින් වෙඞරුපිටිය පුදන ලදි.

පසුකාලයේ සෙංකඩගල නුවර සහ  ගම්පල වැඩසිටි ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ, වීරබාහු නිරිඳුන් ජයවර්ධන පුර කෝට්ටේ රාජධානිය පිහිටුවාගත් පසුව කෝට්ටේට වැඩමවා ගත් බව වාර්තා වේ. කෝට්ටේ රජ පැමිණි පැරකුම්භාවන්ගෙන් ද දළඳා හිමි වෙනුවෙන් අනුස්මරණීය සේවාවක් ඉටු විය. එතුමා දළඳා වහන්සේට උපහාර පිණිස වාර්ෂිකව පෙරහැරක්ද පැවැත්වීමට කටයුතු යෙදීය. එකල එම පෙරහැර පවත්වන ලද්දේ සිංහලයන්ගේ ජාතික මහෝත්සවය යෙදුනු සිංහල අවුරුදු සමයේදීය. පරාක්‍රමබාහු නිරිඳුන් දළඳා පෙරහැර තම බල පරාක්‍රමය පෙන්වීමේ මාධ්‍යයක් වශයෙන් ද සැලකීය. ශ්‍රි රහල් හිමියන් සිය ධූත සැළලිහිණියාට මිනිරැස් විහිදුවමින් ගණ රන් කොතින් දිලෙන චන්ද්‍රකාන්ති පාශානයෙන් කළ ජයවර්ධන පුරවරයෙහි පිහිටි දළඳා මැදුරට සිය භක්ති ප්‍රමාණය පුද කරන ලෙස ඇරයුම් කරන්නේ සජීවී කාව්‍යමය සිතුවමකිනි.

ලොව විහිදා සුදු පැහැ සඳ රැසෙව් සැ දී

දෙන  නොමදා සිරි සඟමොක් සැප නිසැ දී

ලද මුනිදා දම් කද පහස මන බැ ඳී

වදු දළදා හිමි තෙමහල් පහය රැ දී

<p “> හත්වෙනි බුවනෙකබා රජ දවස පෘතුගීසීන් කෝට්ටේ රාජ්‍යයෙහි බලවත් තත්වයට පැමිණි අතර මෙසමයෙහි දළදා වහන්සේ කෝට්ටේ වඩා හිදුවා තබා ගැනීම යෝග්‍ය නොවීය. මෙකල දළදා හිමිගේ තේවාව භාරව කටයුතු කළේ හිරිපිටියේ රාළ නැමැත්තෙකි. දිනක් ඔහුට රාත්‍රි නින්දේදී පෙනුනු කිසියම් පිරිවැජියෙක් 

‘‘කෝට්ටේ හැරාලේ – දත මැදගන් රාළේ “

යනුවෙන් කනට කොඳුරා අතුරුදහන් වූ බව කියැවේ. සිහිනෙන් ඇසුන ඒ කව් දෙපදයට, කෝට්ටේ ආලය හැරදමා රාළේ දළදාව රට මැදට ගනු මැනවි යනුවෙන් අර්ථකථනය කළ දෙවනගල වෙහෙර විසූ ශ්‍රේෂ්ඨ පඞිරුවනක් වූ රත්නාලංකාර තෙරනුවෝ වහාම දළදාව රැගෙන කෝට්ටෙන් පළායන ලෙස හිරිපිටියේ රාළට උපදෙස් දුන්නේය. ඇත් දළයකින් පෙනුමෙන් දළදාවම වැනි වූ ආකෘතියක් තනා  ජයවර්ධනපුර රජමැදුරෙහි කරඞුවේ තබා නියම දළදාව රැගැත් හිරිපිටියේ රාළ සීතාවක රාජ්‍යත්වයට පත්ව සිටි මායාදුන්නේ වෙත ගොස් එය ඔහුට භාර කළේය.

1574 දී බුරුමයේ පේගු නුවර බයිනුවාං රජු සිංහල රජකුමරියක් කැඳවාගෙන යාම පිණිස කෝට්ටේට බුරුම දූත පිරිසක් එවූ අවස්ථාවේ දොන් ජුවන් ධර්මපාලගේ ගබඩා රක්ෂක සෙම්බගප්පෙරුමාල් නැමැත්තා ගිරිපිටියේ රාළ කෝට්ටේ තබා ආ දළදාවේ ආකෘතියක් වූ ඇත් දළ කැබැල්ල බුරුම දූත පිරිසට පරිත්‍යාග කළේය. ඒ නියම දළදාව යැයි රැවටුනු බුරුම රජු ඊට කළගුණ සැලකීමක් වශයෙන් වසරක් පාසා මහත් ධන සම්භාරයක් හා සහල් නැවක් ලංකාවට එවීමට ගිවිස ගත්තේය.

දළදාව තමන්  සතුකරගත් සීතාවක මායාදුන්නේ සඹරගමුවේ හෙළ පල්ල පලාතේ පිහිටි සඳගිරියෙහි ගල්ටැම් මත අලංකාර මන්දිරයක් කරවා එහි  දළදා හිමි තැන්පත් කළේය. මායාදුන්නේ එම පූජනීය වස්තුව පෘතුගීසීන්ගෙන් රැක ගැනීම පිණිස සඳගිරිය වටා ආයුධ සන්නද්ද මුර වළලු කිහිපයක් ද ස්ථාන ගත  කළ බව දැක්වේ. පසු අවස්ථාවක දැඩි ආරක්ෂාව පතා දළදාව දෙල්ගමු විහාරයට වැඩමවන  ලදි. ජනප්‍රවාදයේ එන පරිදි දෙල්ගමු විහාරාධිපතීන් වහන්සේ විසින්  දළදාව කෙරෙහි පැවති අනුපමේය භක්තිය නිසාම උන්වහන්සේ දළදාවේ දැඩි ආරක්ෂාව පිණිස කදිම උපක්‍රමයක් යෙදීය. ඇත් දතකින් කෘතිම ධාතු දෙකක් කරවා , ඉන්  එකක් දළදාව වැඩ සිටි ස්ථානයෙහි  තැන්පත් කොට, අනික වීදිය බණ්ඩාරට දී නියම දළදා වහන්සේ සිය ඉණේ සඟවා ගෙන පලාබත්ගලට පලා ගොස් විසීය. ඒ අතර පෘතුගීසීන් සීතාවක ආක්‍රමණය කළ අවස්ථාවේ කොන්ස්තන්දසා  නම් පෘතුගීසි නිලධාරියා එහි තිබූ කෘතිම දළදාවත්, යාපනයේ දී අත්අඩංගුවට ගත් වීදිය බණ්ඩාර සතුව තිබූ කෘතිම දළදාවත් රැගෙන ගෝවට යවා එහිදී පුළුස්සා විනාශ කළ බව දැක්වේ. මෙම පුවත හෙළිවනුයේ ඇමර්සන් ටෙනන්ට්ගේ ‘‘ලංකාව“ නැමැති කෘතියෙනි. කෘතිම දළදාව  විනාශ කිරීමේ සිද්ධියෙන් නොමග ගිය ද ක්වෙරෝස් වන් ඉතිහාසඥයින් 1560 දී පෘතුගීසීන් දළදා වහන්සේ විනාශ කළේයයි සිය ඉතිහාස කෘතීන්හී සඳහන් කළහ.

මායාදුන්නේගෙන් පසුව සීතාවක රාජධානිය කරගත් ඔහුගේ පුත් පළමුවන රාජසිංහ රජු කිරුළු දැරූ එකොලොස් වස තුළම නොකඩවා දළදා පෙරහැර පවත්වා දෙල්ගමු වෙහෙරින් මහ සමන් දේවාලයට දළදා වහන්සේ වැඩමවන ලදි. මෙතුමන් දළදා සමිදුන්ගේ නඩත්තුව පිණිස නින්දගම් විසි දෙකක්ද, දළදාව වැඩමවීමට විශාල හස්තිරාජයකුද පිදූ වගට ඉපැරණි දෙල්ගමු විහාර ලේකම් මීටිය සාක්ෂි දරයි.

කොනප්පු බණ්ඩාර ගෝවට පැන ගොස් දොන් ජුවන් නමින් කතෝලික සමය වැළඳ ගෙන පෘතුගීසි සේනාවක්ද රැගෙන රාජසිංහයන් හා සටනට එළඹි කළ, දළඳා වහන්සේ  රන් කරඞුවෙන් ඉවත්කොට  දෙල්ගමු වෙහෙරෙහිම කුරහන් ගලක සිදුරක් තුළ සඟවන ලදි. දෙල්ගමු වෙහෙරේ බුදු පිළිමයට පිටුපස සවි කළ පාෂාණමය ලෑල්ලක් මත තබා තිබුණු මෙම කුරහන් ගල අද පවා එහි දක්නට ඇත.  

                                 daladaperahara - By Dr Gamini Kariyawasam2

Image Source : facebook

daladaperahara - By Dr Gamini Kariyawasam2

Image Source : amazinglanka.com                            

දෙල්ගමුව රජ මහා වෙහෙර ,ධන්ත ධාතුන් සගවා තිබු කුරහන් ගල 

දොන් ජුවන්, රාජසිංහයන් පරදවා පෘතුගීසී බලයද මැඩ, බුදු සමය වැළඳ ගෙන කන්ද උඩරට පළමුවන විමලධර්මසූරිය නමින් අභිෂේකයට පත්වූ පසුව, දළදා වහන්සේ එතුමන් වෙත භාරවිය. එතුමා නව රුවනින් බැඳි  කරඞුවක් කරවා, දන්ත ධාතූන් වහන්සේ එතුළ තැන්පත් කළේය. අද දවසේ  දළදා සමිඳුන් ප්‍රභාශ්වර විහිදුවමින් විරාජමානව වැඩ සිටිනුයේ මෙම කරඞුව තුළය.එහි රන්මුවා යතුර අස්ගිරි මහ වෙහෙරේ නාහිමියන් භාරයේ පවතින අතර, එම යතුරින් කරඞුව විවෘත කිරීම පරම්පරාවෙන්ම පුහුණු නොවූවන්ට දුෂ්කර කාර්යයකි.

1818 ඉංග්‍රීසීන්ට විරුද්ධව මතුවූ කරැල්ලේ දී, සිංහලයන් දළදා හිමි ආරක්ෂාව පතා මාළිගයෙන් බැහැර කොට ආරක්ෂක ස්ථානයක් කරා ගෙන ගියේය. මෙම අවදියේ දී මොනරවිල කැප්පෙටිපොල මහ විරුවන් හේවාහැට ගොඩමුනේ නම් ස්ථානයේ දී, තමා භාරයේ පැවති දළදාව මහජනතාවට ප්‍රදර්ශනය කිරීමෙන් පසුව, සිංහලේ නිදහස් සටන වෙනුවෙන් ප්‍රබල  ජනතා සහයෝගය ගලා එන්නට විය. රජ කිරුළට උරුමකම් ඇත්තේ දළදා සමිඳුන් හිමි වූ තැනැත්තා බවට ඈත පුරාණයේ පටන්ම ජනතාව තුළ දැඩි විශ්වාසයක් පැවතීම මීට ප්‍රධානතම හේතුව වූ බව පෙනේ. 

  daladaperahara - By Dr Gamini Kariyawasam2

     

1856 දී දළදා ස්වාමීන්ගේ භාරකාරීත්වය මල්වතු අස්ගිරි උභය විහාරවාසී මහානායක මිහිවරුන් වෙත පවරන ලදි. මේජර් ෆෝබ්ස් විසින් ලියන ලද ලංකාවේ එකොලොස් වසක් නම් කෘතියෙහි සඳහන් වන පරිදි කීර්ති ශ්‍රී රාජසිංහ රජුගෙන් පසුව ප්‍රථම වරට දලදා වහන්සේ ප්‍රදර්ශනය කරන ලද්දේ 1828 මැයි 29 වන දිනය. එඩ්වඩ් බාර්න්ස් ආණ්ඩුකාර තැන මෙම දළදා ප්‍රදර්ශනයෙහි ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි විය. කුරුණෑගල පුර සමයේදී දළදාව ආශ්‍රය කර ගෙන කෘතීන් කිහිපයක්ම සිංහල සාහිත්‍ය වංශයට එක්විය. මෙම කෘති අතුරෙන් ක්‍රි.ව.1325 දී සිවුවන පරාක්‍රමබාහු රජ දවස දෙව්රද දම් පසඟිනාවන් කළ දළදා සිරිතට ප්‍රමුඛස්ථානයක් හිමිවේ . සංක්ෂිප්ත බුද්ධ චරිතය, කිත්සිරි මෙවන් රාජ්‍ය කාලයේ පටන්  සිව්වැනි  පැරකුම්බා දක්වා ඉතිහාසය, දළදා සමිදුන්ට පැවැත්විය යුතු පුද සිරිත් ඇතුළත් ව්‍යවස්ථා පන්තිය යන අංශයන් දළදා සිරිතට වස්තු විෂය විය.

දෙල්ගමුවේ වැඩසිටි දළදා සමිඳුන් පළමුවන විමලධර්මසූරිය රජු විසින් සෙංකඩගල පුරවරයට වැඩමවා, එදින රාත්‍රියෙහි අස්ගිරියේ ආදාහන මලුවේ ගෙඩිගේ විහාරයෙහි තැන්පත් කරවන ලදි. පසුදින දිවාකල මහ පෙරහැරින් සමිඳුන් රජ මාලිගයට වැඩමවනු ලැබිණි. එවක් පටන් මේ දක්වා අවුරුදු පතා ඇසළ සමයේ දී පෙරහැර පවත්වා දළදා සමිඳුන් පුජෝපහාර පැවැත්වීම සිංහල වංශයේ චාරිත්‍රයක් බවට පත්විය.

දළදා පෙරහැරට අමතරව දළදා මාලිගාව ආශ්‍රිතව එක වසරක් තුළ මංගල්‍ය හතරක් පැවැත්වේ. සිවු මහා මංගල්‍ය  නමින්ද හැඳින්වෙන මේ උත්සව මාලාවට අලුත් සහල් මංගල්‍යය, අලුත් අවුරුදු මංගල්‍යය, වෙසක් මංගල්‍යය සහ කාර්තික මංගල්‍යය ඇතුළත්ය

දළදා මාලිගයේ උත්සව දිනවලදීද, පොහෝ දිනවලදීද, දළදාව ප්‍රදර්ශනය කරන අවස්ථාවලදීද මාලිගයේ කවිකාර මඩුව, නාගසිත්තම්, තම්බෝරුව සහ ආලත්ති බෑමක් කළ යුතු බවට පෙර රජ දරුවන්  ව්‍යවස්ථා පනවා ඇත.

‘‘දෙයියෝ බුදු වන්ඩ ආයුබෝවා “

‘‘චිරාත් කාලයක් ආයුබෝවා “

‘‘කප්වාන් දහසක් ආයුබෝවා“

ඔබ සැදැහැ සිතින් දළදා මැඳුරේ ප්‍රධාන දොරටුව වෙත පියමන් කරන අවස්ථාවක මෙබඳු ආ වැඩීමක් ඔබ  දෙසවන් ගැටෙන්නට ඇත. දළදා මැඳුරට ප්‍රවේශව සමිඳුන් වැඩ ඉන්නා මණ්ඩපයට ආසන්න වත්ම රිදී පහන් දෙකක් දෑතේ දරමින් ආ වැඩීමෙහි යෙදෙන එම වනිතාවන් දෙදෙනා ඔබට හොඳින්ම දැක ගත හැකිවේවි . ඒ අතර කවිකාර මඩුවේ වන්දීන් තාලයට ඉපැරණි දළදා සිංදුව ගායනය කරනු ශ්‍රවනය කළ හැකිය.

ළඳුන් දෙදෙනා විසින් ඉටු කරනු ලබන චාරිත්‍රය ආලත්ති බෑම යනුවෙන් හැඳින්වෙයි. මෙම ඉපැරණි චාරිත්‍රය දළදා මැඳුර වෙත සමීප වූයේ කොසේදැයි විමංශනශීලීව සොයා බැලීමේදී , අපට එක්වරම සිහිපත් වන්නේ පැරණි රජදරුවන්ගේ සමෘද්ධිමත් රජ මැඳුරුවල පැවති වත් පිළිවෙත්ය.

පෙර රජුන් සිරි යහන් ගැබට යන අවස්ථාවල රූමත් ලලනාවන් රජතුමා සමීපයේ රැඳී, රිදී පහන් තම  අත්ල මත දරමින් ආශිර්වාදාත්මක ගායනයන් පැවැත්වීම සිරිතක්ව පැවතුනි. සිංහල රජදරුවන් රජ වාසල  තමන් විඳී සෑම යස  ඉසුරක්, සැප සම්පතක්ම නොඅඩුව දළදා සමිඳුන් වෙනුවෙන් ද ඉටු කිරීමට වගබලා ගත්හ . ඒ අනුසාරයෙන්, රජුන්ගේ නියෝගයෙන් ආලත්ති බැම දළදා මාලිගාවේ චාරිත්‍ර අතරට එක්වූ බව පැවසේ .

දළදා මාලිගයේ ආලත්ති බෑමේ පුරාණ චාරිත්‍රය ඉටු කරන ,ආලත්ති මෑණිවරු 

තුන් යාමය තුළම පංච තූර්ය නාදයෙන් දළදා සමිඳුන් පිදීම ඈත පුරාණයේ පටන් අද දක්වාම නොනැසී පවත්වා ගෙන එන වැදගත්  චාරිත්‍ර විධියකි . මාලිගයේ ස්ථාවර නීති පද්ධතියෙහි මෙම තූර්ය වාදනය හඳුන්වා ඇත්තේ සිංගාරාම නමිනි. සිංහල රජ දරුවන් මෙම කාර්යය ඉටු කිරීම සඳහා පළාත් හතරකින් පනික්කි නමින් හැඳින්වූ වාදක ප්‍රධානීන් සිවු දෙනෙක් පත් කර තිබිණි.

දළදා මාලිගයේ රාජකාරිය – තේවාව ඉටු කිරීම සඳහා නුවර යුගයේ රජදරුවන් විසින් රජවාසල ඇතුල්කට්ටලයේ 21 දෙනෙක්ද පිට කට්ටලයේ 18 දෙනෙක් හා දියවඩන නිලමේ ප්‍රමුඛ නිළධාරීන් 41 දෙනෙක්ද පත්කර තිබුණි..  පෙර රජ දවස දළදා මාලිගයේ  ප්‍රධාන පාලකයා ලෙස කටයුතු කරනු ලැබූවේ මහා අධිකාරම් තැනය. 1853න් පසුව එම ධූරය දියවඩන නිලමේ වෙත හිමි විය.

රාජ නියමයෙන් දළදා මාලිගයෙහි සේවාව වෙනුවෙන් සිය මුළු මහත් ජීවිත කාලයම කැප කර සිටින නිලධාරීන් සමූහයකි. 

කාරිය කෝරාල, වට්ටෝරු රාළ, කංකානම් රාළ, ගෙබ රාළ, මොහොට්ටාල, කොට්ටාල් බදු රාල, ආරච්චිල, දුම්බර පිදවිල්ලේ ආරච්චිල, හමුදා වාලේ මුරකාරයා, හක්ගෙඩි කාර අප්පු මෙම සේවක කොටස් අතුරෙන් වැදගත් තැනක් ගනී.

මාලිගයේ හැම ප්‍රශ්නයකදීම දියවඩන නිලමේ විසින් මුලින්ම කැඳවනු ලබන නිලධාරියා කාරිය කෝරාළය. මාලිගයේ අඩුපාඩු සොයා බලා ඒවා සම්පූර්ණ කිරීම මොහු වෙත පැවරි නිල කටයුත්ත විය. මුළු තැන් ගෙයි සිට හේම කද නමින් යුත් දන් පැස රැගෙන කත්තියන රාළලා පිටත් වූ සැනින් මාලිගය සිසාරා හක්ගෙඩි නද පැතිරෙයි. මේ හක්ගෙඩි කාර අප්පු තමන් වෙත පැවරි නිල කාර්යය ඉටු කරනු ලබන අවස්ථාවයි. කිසියම් හදිසි අවස්ථාවක් ඇති වුවහොත් මාලිගයේ සෙසු සේවකයින් කැඳවනු පිණිස හක්ගෙඩිකාර අප්පු හක් ගෙඩියක්ද අතැතිව රාත්‍රියේ මාලිගය මුර කිරීමේ වගකීමද ඉටු කරනු ලබයි . දළදා සමිඳුන් වෙනුවෙන් තේවාව කිරීම පිණිස සදා කැපවී සිටින මෙම නිලධාරීන්ගේ යැපීම පිණිස නුවර යුගයේ රජදරුවන් ඔවුන්ගේ භුක්තියට ඉඩකඩම්, ගම් බිම් ලියා දී ඇති බව ඉපැරණි ලේඛනවලින් සනාථ වේ.

දළදා මැදුර තුළ විවිධ අංශයන් හැඳින්වීම සඳහා ඒවාටම ආවේණික වූ විශේෂිත නම් ව්‍යාවහාරිතය . දළදා කරඞුව තැන්පත් කොට ඇති මංඩපය වැඩ ඉන්නා මංඩපය නම් වේ. උඩු මාලයට තරප්පුවෙන් ගොඩ වූ තැනම හමුවන්නේ සල පතළ මංඩපයයි. ඉන් ඔබ්බෙහි හඳුන් කූඩම නම් කොටස පිහිටියේය. බැතිමතුන් දනින් වැටී සමිඳුන් නමදින්නේ මෙහි සිටය.

දළදා මාලිගය හාත්පස ඵෙතිහාසික වැදගත් කමින් යුත් පරිවාර අංගෝපාංගයන් අතර, පත්තිරිප්පුවට සුවිශේෂ ස්ථානයක් හිමිවේ. මෙම මන බන්දනීය වූ  පත්තිරිප්පුව ශ්‍රී වික්‍රම රාජසිංහයන් විසින් කරවන ලද්දකි. පැරණි රජ දවස, ඉදිරිපස වූ මහ මළුවට රටවැසින් සමූහ වශයෙන් එක් රැස්වී රජතුමන්ට ආචාර සමාචාර පවත්වද්දී, රජතුමා පත්තිරිප්පුවේ සිට සිය ජනතාව අමතනු ලැබිණි. දළදා ප්‍රදර්ශනය පවත්වන අවස්ථාවලදී පත්තිරිප්පුව වෙත පැමිණෙන රජතුමා, සියතින් ම දළදා වහන්සේ වැඩමවා මහමළුවේ රැස්ව සිටින ජනතාව වෙත පෑමද වාරිත්‍රයක්ව පැවතිනි. මහනුර සමයේ ඇති වූ ද්‍රවිඩ බලපෑම් නිසා, පාත්තු +ඉරිප්පු යන ද්‍රවිඩ වදන් දෙක  සන්ධි වීමෙන් පත්තිරිප්පුව යන්න ව්‍යවහාරයට පැමිණියේය. මහ වාසලට අයත්ව පැවති පත්තිරිප්පුවත්, දළදා මාලිගයත් උඩරට ඉංග්‍රීසි අධිපත්‍යයට නතුවීමෙන් පසු ඉංග්‍රීසීන්ගේ භාරයට පත්විය. ඉංග්‍රීසී ආණ්ඩුව යටතෙහි මහනුවර දිස්ත්‍රික්කයෙහි පාලනය භාරව කටයුතු කළ ඩොයිලි 1815 අප්‍රේල් 13 වන දින පත්තිරිප්පුව තැවතත් මල්වතු අස්ගිරි විහාරද්වය වෙත පිරිනමනු ලැබීය.

2025 දළදා රන්දෝලි  පෙරහැර සජීවීව 

ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com

 

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

 

TAGGED:දළදා පෙරහැරදළදා පෙරහැරේ ගතික සංස්කෘතික නිරූපණය සහ දළදා පුරාණය
Share This Article
Email Copy Link Print
Previous Article Vijaya Prasanna Malalasekera Vijaya Prasanna Malalasekera 80th Birth Anniversary – 08.08.2025 – by Ravi Rudra
Next Article Shyami Fonseka: Phenomenal songster reminiscence – by Sunil Thenabadu Shyami Fonseka: Phenominal songster reminiscence – By Sunil Thenabadu
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
Most Read
10 Pictures With Fascinating Stories Behind Them!

“A PICTURE SPEAKS A 1000 WORDS” – By Des Kelly

Look past your thoughts so you may drink the pure nectar of this moment

A Life Hack for when we’re Burnt Out & Broken Down – By Uma Panch

Narration of the History of our Proud Ancestral (Orang Jawa) Heritage. by Noor R. Rahim

eLanka Weddings

eLanka Marriage Proposals

Noel News

Noel News

Noel News

Noel News- By Noel Whittaker

EILEEN MARY SIBELLE DE SILVA (nee DISSANAYAKE) – 29 September 1922 – 6 April 2018 – A Woman of Value an Appreciation written by Mohini Gunasekera

K.K.S. Cement Factory

Dr.Harold Gunatillake’s 90th Birthday party

Sri Lanka's women's cricket squad in Melbourne

Cricket: Sri Lanka’s women’s squad in Melbourne

- Advertisement -
Ad image
Related News
Articles

Vision Care upgrades Rajagiriya Golden Key branch introducing a refreshed space with enhanced services

Multicultural Evening - Cultural performances by Indian, Sri Lankan, Nepalese and Filipino groups providing exhilarating entertainment - Saturday 22 November 2025- 5.00pm onwards ( Melbourne Event )
Articles

Multicultural Evening – Cultural performances by Indian, Sri Lankan, Nepalese and Filipino groups providing exhilarating entertainment

pharma
Articles

Big pharma exposure that earned media nomination! – By K K S Perera

dasunu
Articles Sunil Thenabadu

DASUNI NAVODYA ITN AVURUDU KUMARI, TELIVISION PRESENTER,TELEDRAMA AND FILM ACTRESS,NOMINATED FOR BEST UP AND COMING ACTRESS IN RAIGAM TELE AWARDS IN ‘MEMESSA’ ALREADY A CELEBRITY – By Sunil Thenabadu

Articles

Australia’s New High Commissioner Presents Credentials to President Dissanayake – By Johann Dias Jayasinha

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Tamil Videos
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • Tamil Movies
  • Michael Roberts

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.