eLanka

Monday, 2 Mar 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » ගුවන් විදුලියේ ඉපැරණි ගී විසිතුරු – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

ගුවන් විදුලියේ ඉපැරණි ගී විසිතුරු – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: December 18, 2023 4:43 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
13 Min Read
SHARE

ගුවන් විදුලියේ ඉපැරණි ගී විසිතුරු – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

radio Ceylon - eLanka

ඔබ මනස අදින් දශක හත අටකට එහා යුගයක් වෙත යොමු කරවමින් මෙම ලිපිය අරඹන්නට අදහස් කළෙමි.එවකට ඇනලොග් හෝ ඩිජිටල් තාක්ෂණීය සන්නිවේදනය දිවයිනට පිවිස නොතිබිණි. ගම සහ නගරය අතර එකම සම්බන්ධීකාරකයා වූයේ තැපැල්කරුය. ගමට රට තොට තොරතුරු ගෙන ඒම පුවත්පතින් ඉටුවිය. හේන දෙසින් ඇසුණු පැල් කවිය, කමතෙන් නැගුනු කමත් කවිය ඔබ හදවතට මුසු කලේ තීව්‍රර චමත්කාරයකි.

radio Ceylon - eLanka

රෑ මැදියමේ මහ මඟ ගමන් ගත් ගැල්කරුවන් විසින් ඔවුන්ගේ පාළුව මකා ගන්නට ගැයූ කරත්ත සීපද මාලාවන් ද පාළු රාත්‍රියේ ගම් වැස්සන්ට කිසියම් වින්දනයක් ලබා දුන් බව හැඟේ.

radio Ceylon - eLanka

පාසල් දරුවකු ගොම්මන් වැටෙන යාමයේ සිය නිවසේ පිලේ සිට හඬ නගා තෙපලූ ගුත්තිල කාව්‍යයේ, ලෝවැඩ සඟරාවේ ලයාන්විත ගායන රිද්මය ගැමි දිවියට සමීප කළේ කිසියම් වින්දනයකි. ගමේ පන්සලෙන් නික්මී බැතිබර කවි බණ ඔබ සිත්හි නිසගයෙන්ම පිහිටි සදහම් සිතුවිලි තීව්‍ර කළා නිසැක. ගම් දනවුහි එවකට යොවුන් වියෙහි පසුවූ ඔබගේ රස භාවයන් පුබුදන්නට ඉවහල් වූයේ ගමේ පන්සලේ නැටුමින්, ගැයුමින් සැදි පෙරහර මෙන්ම, ඉඳහිට බණ මඩුවේ රඟ දැක්වුණු සඳ කිඳුරු දා නාඩගම වන් බොදු නාට්‍යයන්ය. තොවිල් පවිල්, යාතු කාර්ම, ගැමි මනස සුවපත් කරමින් කිසියම් රසාස්වාදයක් ද සැපයීමට මුල් විය.

මෙවන් සම්ප්‍රදායික පරිසරයක් හා බද්ධව සිටි දිවයිනේ ගම් දනව් වැස්සන් තුළ කිසියම් නැවුම් පිබිදීමකට තුඩුදෙන සුළු සිදුවීමක් පිළිබඳ පුවතක්, 1925 දෙසැම්බර් 16 වන දින කොලොම්පුරයෙන් අසන්නට ලැබිණි. ශ්‍රී ලංකාවේ මුල් වරට ගුවන් විදුලි සේවාවක් නිල වශයෙන් ස්ථාපිත කිරීමේ අනුස්මරණීය සිද්ධිය ප්‍රසිද්ධියට පත් එම පුවතයි. නිශ්චිත වශයෙන්ම ගුවන් විදුලියේ අරුණලු ගම් පියෙස් කරා ළඟා වූයේ, ගුවන් විදුලිය ආරම්භ වී වසර 15ක් පමණ කාලයක් ඉකුත්වූ පසුවය. ගුවන් විදුලි යන්ත්‍ර බහුල වශයෙන් දිවයින තුළ ව්‍යාප්ත වූයේ එම කාල වකවානුවෙහිය. ගම් පියස. රට තොට දන මන රසාලිප්ත කරමින් 1940, 50 දශකයන්හිදී ගුවන් විදුලිය ගුවන් තරංග මාලාවන්ට මුදා කළ කන්කළු ගී සර රාශියකි. මෙම වකවානුවේ ගීත පටිගත කිරීමේ පහසුකම් ගුවන්විදුලිය සතුව නොපැවතිණි .එබැවින්  අතීතයේ ,ග්‍රැමෆෝන් තැටිගත  විසිතුරු ගීත ,ගුවන්විදුලිය ඔස්සේ ප්‍රචාරයට නිතැතින් ම  යොමු වීමේ ප්‍රවනතාවක් දුට හැකිය.

radio Ceylon - eLanka

දිවයිනේ අසන්නන්ට මුලින්ම ගුවන් විදුලියෙන් සිංහල ගීයක් ඉදිරිපත් කිරීමේ ගෞරවය හිමිවන්නේ කෝකිලදේවී වීරතුංග (1912.6.14 – 2007.7.5) වෙතය. 1929 ජනවාරි 23 වැනි දින පට්ටිආරච්චි මාස්ටර් සමග ගැයූ ‘කීර්තිමත් සිටු දේවිය විශාකා’ එම ගීතයයි.

‘මව්පිය ආදී සොඳුරු තමාගේ
කුල දෙටුවන් සැම//
යෝග්‍ය වූ කාලේ නොමද ප්‍රේමෙනී//
ගෞරවයෙන් පිදුමා යුතුවේ
කුල දෙටුවන් සෑමා….’

වින්සන්ට් සෝමපාල මහතා විසින් නිර්මාණය කළ, කෝකිල දේවිය විසින් ගයන ලද යථෝක්ත ගුවන් විදුලි ගීතය බෙහෙවින්ම ජනප්‍රියත්වයට පත්විය.

මැණික් ගඟේ ගං ඉවුරේ
කතරගමේ දෙව් විමනේ
බෙජන සතුන් සුරැක සදා
රුහුණු රටේ කන්ද කදිරදේව සාමිනේ….

1953 වසරේ ප්‍රකට ගුවන් විදුලි ගායිකාවක් වූ, කල්යානී අබේසිංහ අබේසුන්දර (1932.2.16 – 1998.5.11) ශිල්පිනිය විසින් ගායනය කළ ගීත රාශිය අතරින් කතරගම සුරිඳුන් තෙද මහිමය ප්‍රකට කරමින් සුගායනය කළ යථෝක්ත ගීතය සහෘදයින් සිත් සතන් මෝහනයට පත් කළේය.

ඇසේ මධුර ජීවනයේ ගීතා නාමු අමා දහරේ
තාරපතී අහසේ සුදිලේවී දීප්ති විහිදමිනේ//
රම්‍ය සොබා ධර්මේ//

වී.පී. ලීලාවතී සහ ආනන්ද සමරකෝන් (1911.1.13 – 1962.4.5) සුගායනයෙහි යදෙන මෙම ගීතයෙන් සොබා දහමෙහි අපරිමිත වූ සෞන්දර්ය කදිමට මූර්තිමත් වෙයි. ගායක යුවළගේ මැනවින් සංයෝජනය වන සමතුලිත භාව පූර්ණ ,සොම්නස දල්වන සුළු ගායන ස්වරය සහ යථා යෝග්‍ය සංගීතය ගීතයෙහි රසඥතාව තීව්‍ර කිරීමට මහඟු මෙහෙවරක් සළසයි. වී.පී. ලීලාවතියගේ සුමධුර ස්වරයෙන් ගැයුණු, එවකට දිවයින මුළුල්ලේ ජනප්‍රියත්වයට පත්ව තිබූ ගුවන් විදුලි ගී රාශියකි. ඒ ගීතාවලිය අතරෙන් අද දවසේ පවා ජන සන්තාන ගතව වැජඹෙන ගී අතලොස්සක් මෙසේ සනිටුහන් කරනු රිසියෙමි.

‘පුදමි මේ කුසුම්…… ප්‍රීති කෙරේ ගීත ඇසේ…..කරුණා නදියේ පැද යාමූ….. අක්කෙ අක්කෙ අර බලන්න….. පොඩි මල් එතනෝ…..
විලේ මලක් පිපිලා කදිමයි….. බැස සීතල ගඟුලේ…..’ එම සදා නන්දනීය ගීතයන්ය.

ඕලු පිපීලා විල ලෙලදෙනවා
සුදට සුදේ නංගෝ
ඕලු නෙලාලා මාල ගොතාලා
දෙන්නද සුදු නංගෝ….
එන්න දියේ බැස මා හා
දෙන්න ඔබේ අත මාලා
ඕලු නෙලාලා මාල ගොතලා
පලඳිමු අපි මාලා- සුනිල් ශාන්ත

1946 වසරේ මාර්තු 2 වැනි දින ගුවන් විදුලියෙහි පටිගත කළ මුල්ම සිංහල ගීතය ලෙස සැලකෙන, සුනිල් ශාන්තයන් (1915.4.14 – 1981.4.11) තමන් විසින්ම පද සහ සංගීතය නිර්මාණය කර, සිය වාග් විශ්මීය ස්වරයෙන් සුගායනය කළ මෙම සජීවී ගීතය ශ්‍රාවක පිරිස් බෙහෙවින්ම ආකර්ශනය කර ගැනීමට සමත්වූ බැව් අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. යොවුන් සිතක පිළිසිඳ අහ්ලාද ජනක හැඟුම් සමුදායක්, පරිසරය ආශ්‍රයෙන් රස පූර්නිතව සිත්තම් කරන්නට නිබන්ධකයා ගත් සාර්ථක උත්සාහය මෙම ගීතයෙන් ගම්‍ය වේ.

ගුවන් විදුලි  ගීත අඹරේ, සුනිල් ශාන්තයන් සුගායනයෙන් විචිත්‍රවත් වූ ගී තරු යායකි. ජාතියේ හදවත නිරන්තරයෙන් නින්නාද වන එම ගී යායේ ගී කිහිපයක් මෙසේ පෙළ ගස්වන්නේ හද පිරි සතුටිණි’ හඳ පානේ……. කෝකිලයන්ගේ….. ලංකා ලංකා…… බෝවිටියා දම්…. තෙල් ගාලා හිස පීරන් නෑනෝ…. එම්බා ගංගා…..

ප්‍රේම තටාකේ මේකයි මැණිකේ
ආදර රැල්ලයි අර දිව යන්නේ//
අභිමන් අභිමන් කියලයි මැණිකේ
ඒ රැලි ඉවුරෙ වදින්නේ

යොවුන් පෙම්වතුන් යුවළක දෙහද නිපන් ප්‍රේමනීය සිතුවිලි දාමයක චමත්කාරය, හාත්පස සොබා පරිසරයේ උපමා රූපක තුළින් සජීවීව මතු කරමින් ප්‍රේමයේ නිසග රම්‍යතාව සිත්තම් කළ අපූර්වතාවය මෙම ගී පදවැල් තුළින් ප්‍රශස්ත ලෙස සිත්තම් වේ.

මගේ පෙම් කෝකිලයෝ ඔබේ ගීයේ
තාලේට නොවැ දිය සුළි කැරකෙන්නේ
පියුමට පියුමක් හැපෙනවා දැකලයි
හංස පැටව් මේ හැටි දඟලන්නේ

තම සුපෙම්වතාගේ සුමධුර ස්වරයේ රිද්මයට අනුගතව දිය සුළි රඟන

සෙයකි. පෙම්වතිය දකින්නෙ දිය මතුපිට පියුමන් යුග්මයක් දිය සුලියට හසුව එකිනෙක ගැටෙද්දී හංස පොවුවන් වෙතින් ද එම දැඟලුම් ස්වභාවය තමන්ට දැනෙන බැව් යුවතිය කොඳුරයි.

චම්පා චම්පා කියලයි මැණිකේ
ඕලු මලේ අර පෙති නැටවෙන්නේ//
ඔබේ ඉඟ මෙවුලේ මිණි කැට දැකලයි
මාලු පැටවු මේ දිවගෙන එන්නේ

සුළඟින් ඕලු පෙති සළිත වන්නේ තම ළබැඳිය අමතන ස්වරයෙන් බැව් තරුණයාට හැඟේ. යුවතිය උකුල වට රැඳී මිණි මෙවුලේ ප්‍රභාශ්වරයෙන් මන්මත් මින් කැළ ඇය වෙත ආකර්ෂණය වූ ස්වරූපයකි ඔහු මනසේ මැවෙන්නේ.

අනාගතේ මෙහි පෙම් රස විඳිනා
හදවත් වලයි රසය දැනෙන්නේ //
ඒකයි මැණිකේ මේ වැව දකිනා
කොයි මොහොතෙත් මට සුවය දැනෙන්නේ
ශ්‍රැති රම්‍යතාවෙන් අනූන ප්‍රේම සංවාදයක භාව ප්‍රකාශය, ස්වභාව සෞන්දර්ය හා අපූර්ව ලෙස ගලපමින් චන්ද්‍රරත්න මානවසිංහයන් (1913.6.19 – 1964.9.28) විසින් ගුවන් විදුලියේ උල්පත ගීත නාටකයට තත් ගීතය නිර්මාණය කරන ලද්දේ 50 දශකයේ මැද භාගයේදීය. සංයමයෙන් තොරව ග්‍රාම්‍ය වදන් සංයෝජනයෙන්, අරුත් සුන් ප්‍රේම ගීත නිර්මාණයෙහි නියැළි වර්තමාන ඇතැම් ගීත රචකයින්ට මෙවන් සංයමයෙන් යුත් පැරණි ගී පරිශීලනයෙන් ලද හැකි ආභාසය අති මහත්ය. පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේවයන් (1927.12.5 – 2016.11.3) විසින් සංගීතවත් කොට වජිරා බාලසූරිය (1932.03.21) සමග අලංකරණීය ලෙස ගැයූ මෙම ගුවන් විදුලි ගීතය තුළින් ප්‍රේමනීය හැඟීම් සමුදායක් රසික සිත්හි ජනනය වේ.

 ගායිකා වජිරාවන් පොදු ධර්මතාවක් වූ කාලයාගේ ස්වභාවික මෙහෙයුමට නතු වුවද ඇයගේ භාව පූර්ණ සුමිහිරි කට හඬෙහි කිසිදු වෙනසක් වී නොමැති බව මට පසක් වූයේ ඇයගේ තොරතුරු ලබා ගැනීමට මා ඇය ඇමතූ මොහොතෙහිය. වජිරා බාලසූරිය ගුවන් විදුලියට දායාද කළ ගී අරුණැල්ල අතරින් අතලොස්සක් මෙහි පෙළ ගස්වන්නේ කිසියම් රස වින්දනාත්මක ප්‍රබෝදයක් සමගය. අම්ම මාව දොයි කරන්න හදපු හැටි අගෙයි… සීගිරි ගී සිතුවම් රමණී….. දේ සවස පිනන ගී රාවේ….. රන් තිලකා කෝමල පානී….. වඳිමි සුගත සෑසි පියා…පීනමුකෝ කළු ගඟේ….. . වජිරාවන් ගෙතූ ගී මල් දාමයේ සුදිලෙන ගී පුෂ්පයන්ය.

පීනමුකෝ කළු ගඟේ… 

ඔළු මලේහි සුදෝ සුදෝ
මගේ සුදාගේ මුහුණ දෝ
ප්‍රේමෙනි ආලෝක රාත්‍රියේ
ප්‍රීති ජලාසේ පීනමු….
හර්දේ මගේ පෙම් ජලාශයේ
නේත්‍රේහි කාන්ති වැදී ඔබේ
පායාලා දේදුන්න සේ නැමේ
ආලේනි පෙම් නුරා ගනී
ප්‍රීති ජලාශේ පීනමු…..
ප්‍රේමෙනි ආලෝක රාත්‍රියේ…..     රුක්මණී සහ අරුණශාන්ති

ඔවුන්ගේ හමුව හදවතට ගෙන දුන්නේ අපූර්වතම චමත්කාරයකි. පරිසර ආශ්‍රිත උපමා රූපක වලින් දෙසිතෙහි ප්‍රේමණීය සිතිවිළි මනරම් ලෙසින් සිත්තම් කිරීමට රචකයා ගේ පද සංයෝජනය තීව්‍රර ලෙස උපයෝගී වේ. මනරම් නිශා යාමයකි. ප්‍රේමයෙහි ආලෝකයෙන් රාත්‍රියේ නිසග අඳුර පහව ගිය සෙයකි. ඔහුගේ වත කමල ඇය දකින්නේ විල් තෙර සුපිපි ඕළු මලක ප්‍රභාවය සේය. සිතෙහි නිපන් ප්‍රීතිය නම්වූ ජලාශයේ සිහිලස විඳින්නට ඇය ඔහුට ඇරයුම් කරන්නීය. නෙත් කැළුමින් ඔවුන් සිත් රන්ජනය වූ ස්වභාවය පෑයූ නන් වන් දේදුන්නෙන් සංකේවත්ය. නිසගයෙන්ම රුක්මණියට උරුම වූ ද්වනි පූර්ණ, රස පූරිත සරින් මෙම ගීතය ඇසෙත්, ඇසෙත්ම රසික හදවත් ප්‍රීනනයට පත්වන්නේ ආකස්මික විලසිණි.

රුක්මණී දේවියගේ (1923.1.15 – 1978.10.28) ස්වර මාධුර්යයෙන් රස මනෝ භාවයන් උද්දීපනය කෙරෙන මෙම ගීතය 40 දශකයේදී ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ අතිශයින්ම ජනප්‍රියත්වයට පත් ගීතයක් සේ සැලකේ  . ලාල් නන්දන කීර්ති (1918.4.7 – 1949.5.8) මෙම ගීතයෙහි රචකයා සේ සැලකේ. දුක සැප නිති පෙරළේ – පින්සර මාගේ සොහොයුරා – මෝරනවා ප්‍රේමේ හදේ,ශාන්ත වේ ප්‍රේමේ’ ගලා කන්දේනී මතුවෙනා  . වන් රුක්මණී දේවිය ගැයූ ගීත රාශියක ප්‍රබන්ධකයා ද අප්‍රකට නන්දන කීර්ති මහතා බව මුල් වරට පෙන්වා දුන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න සූරීන් විසිනි.

 ගලා කන්දේනී මතුවෙනා

 40, 50 දශකයන්හි ගුවන් විදුලියෙන් ප්‍රචාරයට පත් ‘සිරි බුද්ධ ගයා විහාරේ, දැඩි කළ මාතා… තේ පැන් දින දින …. බැඳී කාසි බැම්මෙහි….. රාණි එන්කෝ නැගී’ වන් ගීතයන් වත්මන් පරපුර අතර පවා බෙහෙවින්ම ජනප්‍රියත්වයට පත්ව ඇති සෙයක් විද්‍යමාන වේ.

radio Ceylon - eLanka

රුක්මණී දේවිය තරම්, විවිධ සංගීත ස්වරයම ශෛලීන්ට අනුගතව ස්වකීය ස්වරය නම්‍යශීලීව භාවිත කළ ගායිකාවක් මෙතෙක් බිහි නොවූ බැව් පොදු විචාරක මතයයි.

මුනී නන්දන සිරිපාද වඳිම්
සමනල කන්දේ
විහිදෙන මොක්ෂ සුගන්දේ
ශ්‍රී ශාන්ති කරුණා ගුණ ආනන්දේ ලැබිලා
පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදි
ලීණි හෙලේ අම්බලමේ සින්දලා ගිමන්
ධර්මරාජ ගලේ නැගී ගල් පඩි ගණිමින්
තුන් සරණේ පිහිට පතාලා
සත්තොසිනේ ඉන් පිටත් වෙලා
ගෙත්තම් කර සිරිත ලෙසින ගෙත්තම් පානේ
සීත ගඟුලෙ නාලා සැම පඬුරු බැඳගෙනේ
මළුව පෙනෙයි යමු නැවතී හැර මිටි පානේ
සමන් දෙවි කරුණාවයි නඩේ සැමටම සැපවෙයි

radio Ceylon - eLanka

යූ .ඩී.(උඳුගොඩගේ ධර්මසිරි) පෙරේරා.සහ ග්‍රේටා ජෙනට් පෙරේරා.

යථෝක්ත ගීතය ශ්‍රාවක පිරිස් වෙත තත්‍ය ලෙසින් සිරිපා පිනිපා කිරීමේ අත්දැකීම් ස්පර්ශය කරවන සුළුය. සිරිපා ගමනේ සියලු බැතිමත් අසිරිමත් සිදුවීම් මාලාව සංක්ෂිප්ත තාවයෙන්, සජීවිමත් කෙරෙන සුමට පද සංයෝජනයකින් තත් ගීතය පරිපූර්ණය. ශබ්ද හා ද්වනි මාධුර්යෙන් අනූන මෙම ගීතයෙහි නිබන්ධකයා යූ.ඩී. පෙරේරා (උදුගොඩගේ ධර්මසිරි) ය. (1902.2.2 – 1976.12.2) ග්‍රේටා ජෙනට් ද සිල්වා (1923.5.6 – 1962) ශිල්පිනිය එම්.කේ. වින්සන්ට් සමග ගුවන් විදුලියෙන් මෙම ගීය ගායනය කර ඇත්තේ 40 දශකයේ මුල් භාගයේදීය.

අප මතකයෙන් ගිලිහී ගොස් ඇති යූ.ඩී. පෙරේරා මාස්ටර් 1939 වසරේ කොලොම්බියා ග්‍රැමෆෝන් තැටි සදහා ගීත රාශියක් නිර්මාණය කිරීමට පුරෝගාමී විය . ඔහු ලියූ මුල්ම ගීතය ‘කරුණා මූදේ නාමු ගිලීලා’ ගැයුවේ මොහිදින් බෙග් හා කේ.කේ. රාජලක්ෂ්මී ය.

‘‘සිළුමිණ සෑය වඳිම් රම්‍ය තව්තිසා භවනේ’’ (අහමඩ් මොහිදීන්) 

‘‘දුල් සල් වනේ ලකල්’’ (අසෝකා දේවි හා ස්ටැන්ලි මල්ලවාරච්චි)

වේවා ඔබ මගෙ සුදු අයියා
හැම දිනකම මේ ලෙස පතමි මෙමා
දිය කැපුවත් යළි පෙර සේ හා වෙද
ඒ ලෙස වේ යැයි මගෙ අයියා//
සුදු නංගී මා ගැන කියනා සිතා
හැමදාමත් එහෙමයි බොලඳ කථා
ලෝක පියාගේ දහම ලෙසේ
ලොව සැමදේ ඇතිවී නැති වෙන්නේ//

සොහොයුරෙක් සහ ඔහුගේ නැගණිය අතර සිදුවන අහිංසක සංවාදයක් ලෙසින් සරත් විමලවීරයන් (1927.11.27-1993.12.11) විසින් පබැඳි මෙම සදා නොමියෙන ගීතය මුලින්ම චන්ද්‍රා කබ්රාල් (1941.5.28 – 2015.6.25) සහ ඩී.ඩී. ඩැනී ශිල්පීන් දෙපලගේ හඬින් ගුවන් විදුලියෙන් මුල් වරට ප්‍රචාරය වූයේ 50 දශකයේ මුල් භාගයේදීය. පසු කාලයේ සීතා නානායක්කාර ශිල්පිනිය විසින් ද .ඩී .ඩී ඩැනී සමග  මෙම ගීය ගායනය කරන ලද බව අනාවරණය වේ.

මෙම ගීතයේ මූඛ්‍යාර්ථය වූ සියලු බැඳීමකම අනියත බව අස්ථිර බව තීව්‍රර ලෙස මතු කරමින් ගීතය අවසන් වන්නේ සනාතන දහම ගැඹුරින් සිතා බලන්නට සහෘද සිත් සතන් නැඹුරු කරලමිණි.

විල්ෆ්‍රඩ් පෙරේරා, මොහොමඩ් ගවුස්, ඒ.ජේ. කරීම්, විවියන් බොරලැස්ස, වසන්තා සන්දනායක, ප්‍රසිලා ඕපාත, වී.පී. අනුලාවතී වන් 40, 50 දශකයන්හි ගුවන් විදුලි ගීත මගින් රසිකයන් පිනවූ ශිල්පීන් රාශියකි. මෙවන් කෙටි ලිපියකින් එම ශිල්පීන් සියලු දෙනාගේ නිර්මාණයන් පිළිබඳව සලකා බැලීමට අවකාශයක් නොවීය.

radio Ceylon - eLanka

හෙන්රි  පර්සෙල්

‘කාව්‍ය යන්නෙහි අරුත වදන්හී මනා සංයෝගයකි. සංගීතය යනු ස්වරයෙහි මනා සංයෝගයයි. කාව්‍ය සහ සංගීතය එක් වීමෙන් ආනන්දය මතුවෙයි. අනතුරුව මෙම ද්වීය රසඥතා මූලයන් එකාත්මික වීමෙන් පරමානන්දය ජනිත වේ’ යනුවෙන් බ්‍රිතාන්‍ය ජාතික මහා කිවි හෙන්රි පර්සෙල් (1659.9.10 – 1695.11.21) දක්වන ප්‍රකාශය අප සිතට නැගේ. ඒ අනුව ඉපැරණි භාව පූර්ණ ගුවන් විදුලි ගී ශ්‍රවනයේදී පරමානන්දනීය රස භාවයන් මානව සිත් සතන්හි කුළු ගැන්වෙන අයුරු අපට මෙහිදී මැනවින් ප්‍රත්‍යක්ෂ වේ. එම ගී අතර ස්වතන්ත්‍ර නිර්මාණ මෙන්ම හින්දි අනුකාරක නිර්මාණයන් වූ බැව් වෙසෙසින්ම සඳහන් කළ යුතුය.

ආචාර්ය ගාමිණී කාරියවසම්.

 gaminee@gmail.com

Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Books 2023 Camino Book Promotion!-by Dr. Sanjiva Wijesinha
Next Article Ravindra Chandrasiri Wijegunaratne-eLanka Photo of New Sri Lanka High Commissioner ( Ravindra Chandrasiri Wijegunaratne ) at Pakistan Navy War College at Lahore
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
Most Read
10 Pictures With Fascinating Stories Behind Them!

“A PICTURE SPEAKS A 1000 WORDS” – By Des Kelly

Look past your thoughts so you may drink the pure nectar of this moment

A Life Hack for when we’re Burnt Out & Broken Down – By Uma Panch

Narration of the History of our Proud Ancestral (Orang Jawa) Heritage. by Noor R. Rahim

eLanka Weddings

eLanka Marriage Proposals

Noel News

Noel News

Noel News

Noel News- By Noel Whittaker

EILEEN MARY SIBELLE DE SILVA (nee DISSANAYAKE) – 29 September 1922 – 6 April 2018 – A Woman of Value an Appreciation written by Mohini Gunasekera

K.K.S. Cement Factory

Dr.Harold Gunatillake’s 90th Birthday party

Sri Lanka's women's cricket squad in Melbourne

Cricket: Sri Lanka’s women’s squad in Melbourne

- Advertisement -
Ad image
Related News
Sri Lankan-Born Global Tech Entrepreneur Calls for Urgent AI Productivity Shift in SriLanka
Articles

Sri Lankan-Born Global Tech Entrepreneur Calls for Urgent AI Productivity Shift in SriLanka

MIGHT IS RIGHT
Articles

“ MIGHT IS RIGHT “ APPROACH BOUND TO BE COUNTER PRODUCTIVE

A Life Devoted to a Noble Social Mission Venerable Pelpola Vipassi Thera
Articles Dr. Gamini Kariyawasam

A Life Devoted to a Noble Social Mission Venerable Pelpola Vipassi Thera-by Gamini Kariyawasam

Elanka newsletter
Articles eLanka Newsletters

eLanka Newsletter – 1st March 2026 – 1st Edition – Sri Lankans In Australia

Articles Dr. Gamini Kariyawasam

Sunil Sarath’s Literary Odyssey-by Gamini Kariyawasam

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • Photos
  • eLanka Newsletter

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.