ගැල් යුගයේ මිහිරියාව – By ආචාර්ය ගාමිණී කාරියවසම්
පුර්විකාව
විශේෂයෙන් විදේශයන්හි වෙසෙන අපගේ සහෝදර ශ්‍රී ලාංකිකයන් මනසෙහි ප්‍රියජනක හා මින්පෙර අවධානයට යොමු නොවූ සමාජ පැතිකඩක් විචිත්‍රණය මෙවර මවිසින් ඉදිරිපත් කරන ලිපියේ මූලික අරමුණ බැව් සදහන් කරනු රිසියෙමි. ගැල අපේ දේශයේ අතීත සමාජයේ ජන දිවිය සමග අවියෝජනීය ලෙසින් බද්ධව පැවතිණි. ශ්‍රී ලාංකේය ඉතිහාසයේ සියවස් ගණනාවක් පුරා විහිදුණු බරකරත්ත යුගයේදී රට සුන්දරත්වයෙන් හා සංස්කෘතියෙන් සමෘද්ධිමත්ව පැවතිණි . එය සෞභාග්‍යයේ සහ එකමුතුකමේ යුගයක් වූ අතර, විවිධ පසුබිම්වලින් පැමිණි අය ජීවිතයේ සරල ප්‍රීතිය සැමරීමට එක් වූ කාලයකි.
බරකරත්ත යුගයේ මෙරට පැවති සරල,සහජීවනයෙන් බැදුණු සමාජ වටාපිටාව ද මෙම අවස්ථාවේ අපගේ සිහියට නැගේ. සඳ එළිය පැතිරී අහස යට,ගෙවත්තේ හෝ මැ ද මිදුලේ ,තමා වටා රැදී සිටි දූ දරු මුණුපුරන්ට ආත්තම්මා කියා දුන් දැනමුතුකම් දැවටුණු ජන කතා අපුර්වත්වයෙන් අනුන විය.වීරයන්, මිථ්‍යා ජීවීන් , ඉන්ද්‍රජාලිකන් පිළිබදව මෙන් ම,සාර ධර්ම, ප්‍රඥාවේ මහිම උද්දීපනය කළ ,ආත්තම්මාගේ කතාන්දර ළමා මනස,තීව්ර ලෙස ආකර්ෂණය කළේය.
විදේශගත ශ්‍රී ලාංකිකයන් වශයෙන්, අපගේ දේශයේ විවිධ යුගයන් සහ මූලයන් පිලිබදව පුළුල් අබෝධයක් ලබා ගැනීමේ නොතිත් ආශාව සපුරාලීමේ අපේක්ෂාවෙන් යුතුව “ගැල් යුගයේ මිහිරියාව “ ඔබ වෙත ඉදිරිපත් කරමි.
ගැල් යුගයේ මිහිරියාව
“බර බාගේ බර බාගේ – දුටුවේ සිහිවේ පෙර කාලේ.. අර කිං කිණි නද – පැතිරී යනවා ගව කුර ලෙස මුසු වෙනවා …
අඩනින්දේ පතුරන්නේ – රාළ ද ගෝනි පඩංගුවේ ඉන්නේ
සතුටිනි ගැල පදවන්නේ……බර බාගේ
දුටුවේ සිහිවේ පෙර කාලේ ..”
සිරිල් ටිවුඩර් ප්‍රනාන්දු, හෙවත් අප කවුරුත් සී.ටී.ප්‍රනාන්දු යන නමින් හදුණන ශිල්පියාගේ යථෝක්ත ගායනය සවනත වැකෙන මොහොතේ , අප මතකය ,පෙර දවස ගැල් යුගය වෙත යොමු වන්නේ නිරායාසයෙනි.
අදින් දශක පහ හයකට පෙර ,අප හිමිදිරි උදයේ අවදිව පාඩම් කිරීමේ නියැළී සිටි අවස්ථාවන් මෙහිදී අප මතකයට නැගේ. ජනෙල් කවුළු තුළින් සේපාලිකා මල් සුවද පිස හැමූ මද නල….මහ මග ගව කුර ගැටෙනා හඩ මුසුවූ ,ගොනුන් ගෙල බැදී මිණි කිං කිණි නාදය….ඒ සියල්ල යටපත් කරමින් ,ගැල්ක රුවන් මුවින් ගිලිහුණු කරත්ත සීපද…මේ සියලු යට ගිය සජීවී දසුන් මනසෙහි ස්පර්ශවේ. පෙර දවස ගැල් යුගයේ මිහිරියාව, අප සිත් සතන් තුළ ජනනය කරන්නේ,වදනින් පැහැදිලි කිරීම අසීරු චමත්කාරී මානසික ස්වභාවයකි.
කාර්මික විප්ලවයට පුර්වයෙන්වූ යුගයන්හි ගමනේ බිමනේ යෙදෙන්නට, වන්දනාවේ යන්නට භාණ්ඩ ප්‍රවාහනයට පැවති එකම වාහනය වුයේ කරත්තයයි. සාම්ප්‍රදායික සමාජයේ ගැල් භාවිතය සිදුවුයේ නිල බල ක්‍රමයකට අනුරූපවය. එවකට ප්‍රභූ පැලැන්තියේ වාහනය ලෙස සලකන ලද්දේ තිරික්කලය සහ බක්කි කරත්තයයි. බක්කි කරත්තය ඇතුළත දෙපස වාඩිවීම සඳහා ආසන පේළි තනා තිබිණි
ගවයන් යුගලක් විසින් ඇදගෙන යනු ලබන,ප්‍රමාණයෙන් විශාල බර කරත්ත සහ තනි ගවයෙකු විසින් ඇදගෙන යනු ලබන බර බාගය සාමාන්‍ය ජනතාවගේ ගමන් බිමන් සහ බඩු භාණ්ඩ ප්‍රවාහනය සදහා යොදාගැනිණි. කරත්තය ඇතුළත වැස්සෙන් හා දැඩි හිරු එළියෙන් ආරක්ෂා වීමට ‘අඹරාව’ නමින් හඳුන්වන පියස්සක් කරත්තයට සවි කෙරිනි.. මෙම අඹරාව සෙවිලි කරගන්නේ පොල් අතු වලිනි.‘කච්චෝරු කට්ටය’ කරත්තයේ රියදුරු අසුනට ගැල් බසින් ව්යව්හාරිත නාමයයි. එය කරත්තයේ ඉදිරිපස සවිකර ඇති පුළුල් ලෑල්ලකි.
ගම පියසේ රේස් තිරික්කලය කලඑළි බසින්නේ සිංහල අලුත් අවුරුදු සමයෙහිදීය. එය භාවිත වන්නේ කරත්ත රේස් සඳහා ය.
බර කරත්තවල ගොනුගේ ගෙල වට සහ පසුපසින් මිණිගෙඩි එල්ලීමට ගැල් හිමියෝ සැළකිලිමත් වති.එම මනාපය සිහි ගන්වන කරත්ත සීපද ජන සාහිත්‍යයේ එමටය.
“ගොනුගෙ අගට කොපු දාපිය බබලන්ට
ගොනුගෙ කරට මිණි බැදැපිය නද දෙන්ට.”
ගැල ඇදගෙන යන ගවයා අලංකාරීව තබා ගැනීම කෙරෙහි ගැල් කරුවන් දැක්වූ දැඩි උනන්දුව හා සැලකිලිමත් බව මෙම කරත්ත කවියෙන් මැනවින් ගම්‍යවේ. ගැල් කරුවන් ,තම ගැල අදින ගවයා වෙත මහත් දයාවක් හා කරුණාවක් දක්වති. ගොනා කරත්ත කරුට වහු දරුවෙකි. කරත්තකරු ගමන ආරම්භ කිරීමට ගවයාට දැනුම් දෙන්නේ සතාගේ බදට සියතින් මුදු පහරක් දෙමින්,” යමන් පුතා “ යනුවෙන් සුහදශීලී ආමන්ත්රනයකිනි.
ශ්‍රී ලාංකික ජන ජීවිතයේ අත්යාවශ්යවූ ගැල් ආශ්‍රිතව වෙනම ජන කාව්‍ය සාහිත්‍යයක් ගොඩ නැගී ඇත. ගවයන් දෙන්නෙක් බැදී බඩු පිරවූ කරත්ත්යයකට පවා, හපුතලේ කන්ද වැනි දුෂ්කර ගමන් මාර්යක , කන්ද තරණය ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. හපුතලේ දැඩි කඳු බැවුම තරනයේදී ගවයන් යුගලට ද කරත්තය ඇදීම අසීරු වේ.එවන් විටදී තණ්ඩලේ නමින් හැඳින්වූ ස්ථානයේ ගොන් බානක් කුලියට දීමට රදවා තැබීමේ ඉපැරණි සම්ප්රදායක් විය.ගැලහි වියගහට ( ගවයාගේ ගෙල මත තබන ලීය ) සමාන්තරව තවත් ලීයක් බැඳ අතිරේක ගවයන් දෙදෙනෙකු යෙදීම එහිදී සිදුවිය.ගොන් බාන් දෙක දෙදෙනකු පැද වූ බව කරත්ත කවිවල එන “දෙන්නා දෙපොලේ දක්කනවා” යන්නෙන් පෙනී යයි. එක ළඟ පේලියට ගමන් කරන ගැල් සමූහයක ඉදිරියෙන්ම යමින් ගැල් මෙහෙයවන පළපුරුදු නායකයා ද තණ්ඩලේ යන නමින් හැඳින්වෙයි. මෙම අවස්ථාව ගැල් ජන කව් සාහිත්‍යයේ මෙපරිද්දෙන් කදිමට ව්චිත්රණය වේ.
තන්ඩලේ දෙන්න දොපොලේ දක්කන වා
කටු කැලේ ගාලෙ නොලිහා වද දෙන වා
හ පු ත ලේ කන්ද දැකලා බඩ දනවා
පව්කළ ගොනෝ ඇදපන් හපුතලෙ යනවා
ගැල් කරුවන් තම කාන්සිය,විඩාව නිවා ගත්තේ ,මුළු පරිසරය ප්‍රබෝධමත් කරවන සුළු , ගැල හා ගොනා, අවට පරිසරය හා තමා සබැදි ජන කවියක් හඩ නගා කීමෙනි.
“බණේ කොහොම කීවත් පවු පල දෙනවා –පිනේ අරුම නොසිතා අපි පහුවෙනවා
ගොනෝ උබටත් කළ පවු තේරෙනවා – අනේ ගොනෝ ඇදපන් මීගමු යනවා “
ගම්මානයේ සිට , මහා රෑ යාමයේ, වැසි පිනි දරමින්,නිදි වරමින් ,බඩු පිරවූ කරත්තයක් දක්කාගෙන,දරු කතර ගෙවා සිදාදියට යාම ,ගැල් කරුවා පමණක් නොව ගැල අදින ගවයා ද ලබන ඇති දුෂ්කර අත්දැකීමකි. ගැල් කරු එම පීඩාව මෙනෙහි කරන්නේ පෙර සසර සිදු කළ පවු පල දීමක් විලසිනි.
“බත උයලා කා බී අපි සිත සයුර – තණ කවලා ගොන් දෙන්නට දී වතුර
නතර වෙලා අද රෑ ගාලෙහි වැතිර –එළිවන යාමෙ පිට වී යමු හිත මිතුර “
“ වයිර ගොනා දණ ගහලා අදිනකොට–මයිල ගොනා පැන්නයි පස්සට හොරට
මොකද කරන්නේ පූරුවේ කළ පවට –ඇදපන් ගොනෝ ඇදපන් ගාල ගාවට”
කරත්තය අදින ගවයා කෙරෙහි ගැල් කරු සිත පවත්නේ අසීමිත දයාවකි.කරුණාවකි. පෙර දිනයක ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ , බණ දෙසුමකදී නන්දිසාල ජාතකයෙහි විස්තර වන , ගැල අදින ගවයාට මෙත් සිතින් උවැටන් කිරීමේ වැදගත් කම පෙන්වා දුන් අයුරු ගැල පදවන්නාට සිහිපත් වුවා නිසැක.
ඒ අනුව , තම බඩ වියත රැක දෙන ගවයාට, විවේකයක් ලබා දීමට ඔහු යුහුසුළු වෙයි. රුක් සෙවණක,දිය කඩිත්තක් ආසන්නයේ සුපුරුදු ගාලක කරත්තය නතර කෙරේ. ගවයා ගැලෙන් මුදවා , දිය කඩිත්තෙන් ජලය ගෙනවිත් ,පැන් භාජනය ගොනුට සමීප කෙරේ. ගොනා වතුර ලෙවකමින්, අසළ තමා වෙනුවෙන් තබා ඇති පිදුරු ගොඩෙහි මුහුණ සගවා ගෙන විවේක සුව විදින සෙයකි. ගාලෙහි මෙවන් විවේක සුව විදින ගවයන් සුලබ දසුනකි. ගාලේ රැදී සෙසු ගැල් කරුවන් බුලත් විටක් හුවමාරු කර ගනිමින් සතුටු සාමීචියේ ගැලී සිටිති.
පුරාණයේ සිට වාර්ෂිකව පැවත එන කරත්ත පෙරහරක් ද අපට මෙම අවස්ථාවේදී සිහිපත්වේ.මාදම්පේ කට්ටමහන සාන්ත ආනා දේවස්ථානයේ කරත්ත මංගල්‍යය සදහා වාර්ෂිකව, ලංකාවේ සතර දිගින්,විචිත්‍රවත් ලෙසින් සැරසූ, ගොන් කරත්ත දෙසීයක් තුන්සියක් පමණ එක පෙළට ගමන් කරනු දැකගත හැකිවේ.
ගැල කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියයි.ලොව මුලින්ම කරත්ත භාවිතා කිරීම පිළිබද ඉතිහාසය ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය දක්වා දුරාතීතයට විහිදේ. ගවයා බැදි කරත්තය කෘෂිකර්මික පළදාව සහ දඩයම් මාංශ වෙළඳාම සදහා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ මිනිසුන් පුළුල් ලෙසින් භාවිත කර ඇති බැව් පුරා විද්‍යාත්මක කැනීම් වලින් සනාතවේ . කරත්තය, ඔවුන්ගේ සංස්කෘතිය පුළුල්කිරීමට සහ අනෙකුත් ශිෂ්ටාචාර සමඟ වෙළඳාම සඳහා වඩා හොඳ ප්රවේශයක්ලබා දුනි.
වත්මන් ළමුන් සෙල්ලම් මෝටර් රථ, සෙල්ලම් ගුවන් යානා වන් ක්‍රීඩා භාණ්ඩ වලින් විනෝදයක් ලබන්න සේම . ක්‍රිස්තු පූර්ව 2 වැනි සියවසේදී දරුවන් සෙල්ලම් කරත්ත වලින් විනෝදයක් ලද බැව් , ඉන්දියානු නාට්‍ය රචක ශුද්‍රක විසින් රචිත මිරිච්චකතික (කුඩා මැටි කරත්ත) නම් මධ්‍ය කාලීන සංස්කෘත නාට්‍යයයෙන් මැනවින් තහවුරුවේ. මෙම නාට්‍යයයෙහි දුප්පත් තරුණ බ්‍රාහ්මණයෙකු වන චරුදත්ත , ධනවත් නගර ශෝභිනියක් වන වසන්තසේන සමඟ ආදරයෙන් බැඳී ඇයව තම අනියම් බිරිඳ බවට පත්කර ගනී. කථාංගයකදී, මෙම යුවලගේ බාල පුත්‍රයා මැටියෙන් තැනු සෙල්ලම් කරත්තයකින් විනෝදය ලබද්දී ,ඔහුගේ කුඩා මිතුරා ඝන රන් වලින් නිර්මිත සෙල්ලම් කරත්තය ඈත,මෑත අදිමින් සෙල්ලමේ නිරතව විනෝද වනු දකී. තමන්ට ද එවන් රනින් නිම කරත්තයක් ලබා දෙන ලෙස ඔහු සිය දෙමාපියන්ට ඇවිටිලි කරයි.කුඩා පිරිමි ළමයාට අනුකම්පා කළ වසන්තසේන මෑණියන් දරුවා ගේ මැටි කරත්තය ඇගේ රන් ආභරණ වලින් පුරවා දෙන්නේ දරුවා සනසන අටියෙනි. මෙම නාට්‍යය තුළින් ඉන්දියාවේ සංස්කෘතික ඉතිහාසයේ ගව කරත්තය අතිශයින් සමාජ උපයෝගී භාණ්ඩයක් බවට පත්ව තිබු අයුරු කදිමට පැහැදිළිවේ.
19 වන වන සියවසේ මුල් භාගය දක්වා කරත්තයෙන් ඉටුවූයේ සුවිසල් සමාජ මෙහෙවරකි.1905 වසරේ කරත්ත 23000 ක් භාවිතයේ පැවති බව පැවසේ.කුමාරි ජයවර්ධන ගත් කතුවරිය විසි ලියන ලද,” ‘ශ්‍රී ලංකා කම්කරු ව්‍යාපාරයේ නැගීම’ කෘතියේ සදහන් කරන පරිදි, කරත්තකරුවන් විසින්පි හිටුවාගෙන තිබු සංගමයක් මගින් ,කොළඹ නාගරිකය තුළ මහා වැඩ වර්ජනයක් මෙහෙයවනු ලැබිණි.1906 අගෝස්තු 13 දා සිට 16 දා දක්වා කරත්ත කරුවන් පන්දහසක් පමණ සහභාගී වූ මෙම වැඩ වර්ජනයෙන් නාගරිකයේ සියලු වෙළද කටයුතු අඩාළවූ බැව් වාර්තාවේ. කරත්තකරුවන් ජයග්‍රහණය කළහ.කොළඹ නගරසභාව ,කරත්ත කරුවන්ට කරත්තයේ බෝන්ලීයේ වාඩිවී කරත්ත දැක්කීම තහනම් කිරීමේ නීතියක් පැනවීම,මෙම වැඩ වර්ජනයට මුල් විය.
එවකට ප්‍රකාශයට පත්වූ ‘සරසවි සඳරැස‘ පුවත්පත කරත්ත කරුවන්ගේ ගැටුම්, විචිත්‍රත්වයෙන් වාර්තාකර තිබුණේ මේ අයුරිනි.
“….. නාගරික සභාව තුළ 5000ක් පමණ රැස්වී සිටියහ. කොළඹ ජනයාද, ගැටව්ද මහත්සේ කිපී සිට යෝය. ඉද හිටලා කරත්තයක් ගියේ නම් එය අල්ලා හරකුන් ලිහා කරත්තය පෙරළා දැමූහ.කොටුවේ ප්‍රධාන සාප්පුවක ඉංග්‍රීසි මැනේජර් කෙනකු බඩු පටවා ගත් කරත්තයක් කොටුවේ දුම්රිය පොළට ගෙනාවිට මල්වත්ත අසලදී කණ්ඩායමක් කරත්තය නැවැත්වීය. ඉංග්‍රීසිකාරයා පිස්තෝලයක් ඇතිව ඉදිරියට පැන්නාහ. වෙඩි වැදුනත් නොබියව සිංහලයකු ඉදිරියට පැන ඔහුට ගැසූ අතුල් පහරක් නිසා පිස්තෝලය බිම දමා ඔහු ක්‍රිස්තියානි සංගමයේ පොත්ගුලට රිංගුවේය. එවිට සිය ගණනක් ඔහු වටකරගෙන පොත් ගුලටද ගසා වීදුරු ජනේල පොඩි කරන ලදි. කරත්තකරුවාද පැන ගියේය. හරක් දෙන්නා කොටුව – පිටකොටුව වීදිවල දිව්වේය. කොල්ලෝ ගොන්නු පස්සේ පන්නමින් ගොනුන්ගේ භීතිය වැඩි කළේය. කරත්තය පාරේ පැත්තකට පෙරළන ලදි….
ලංකීක සමාජයේ අත්‍යවශ්‍ය අංගයක්ව පැවති කරත්තයට හිමිව තිබු ප්‍රමුඛතාව අහිමිවීම ආරම්භව යේ , නවීන තාක්ෂණයේ අරුණළු පැතිරීමත් සමගය.ලොව පේටන්ට් බලපත්‍රය ලද මුල් ම මෝටර් රථය 1886 දී ජර්මනියේ කාල් බෙන්ස් විසින් නිෂ්පාදනය කරනු ලැබිණි.
එයින් වසර 16 ට පසු , ශ්‍රී ලංකාවට සහ එහි ජන ජීවිතයට බලපෑ තාක්ෂණික විපර්යාසයක ආරම්භට තුඩු දෙන සිදුවීමක් 1902 පෙබරවාරි මාසයේ දී වාර්තා විය. 8 HP තනි සිලින්ඩරයේ ,වාෂ්ප බලයෙන් ධාවනය වන Rover නම් මෝටර් රථය , එඩ්ගාර් මණි විසින් ලංකාවට ගෙන්වනු ලැබිණි. එම සිදුවීම දිවයිනේ ප්‍රවාහනයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට මුල්වූවා පමණක් නොව, එය ආර්ථිකයේ වර්ධනය කෙරෙහි ද බලපෑවේය. පාරම්පරික සමාජ තත්වයන් වෙනස් කළේය. රටේ නාගරික හා ග්‍රාමීය අංශ එකට සම්බන්ධ කිරීමේ මුල පිරීමක් ද එමගින් සිදු විය.
ප්‍රථම වාහනය ලංකාවට ගෙන්වා වසර දහයක් ගත වීමට පෙර , නවීන වාහන අධික ධාරිතාවයකින් මෙරටට ගලා එන්නට වීමෙන්, අනුක්රමයෙන් ගැල් භාවිතය විශාල ප්‍රතිශතයකින් හීන වන්නට වන. එනමුදු අප රට ජන ජීවිතය ගොයම් කෙත හා බැදී පවත්නා තාක් ,අප රට ගව සම්පත සුරැකී පවත්නා තාක් යුග යුග ගැල් සංස්කෘතිය අප ජීවිත හා බද්ධව පවතිනු නිසැක.
ආචාර්ය ගාමිණී කාරියවසම්.
gaminee@gmail .com