සිනිමාව දිග් විජය කළ එච්.ඩී.ප්‍රේමරත්න. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
එච්.ඩී.
එච්.ඩී. ප්‍රේමරත්නයන් කදුළු අතරින් සිනාසුනු කලාකරුවෙකි.
1944 ජනවාරි 27 දින ප්‍රේමරත්න ජන්ම ලාභය ලබන්නේ වත්තල තෙලගපාත ගම් පියසෙ හිය. එච්.ඩී. එලෝසිඤ්ඤෝ සහ ඩබ්.කේ. මැඩ්ලින් නෝනා ඔහු දෙමාපියන්ය.
කුඩා විය
ගුරුකුල විදුහලට සමු දෙන ඔහු උසස් අධ්‍යාපනය සදහා පිවිසෙන්නේ මරදාන ශ්‍රීලංකා විද්‍යාලය වෙතය.උසස්පෙළ සමත්වීමෙන් පසුව හේ ,සිය ප්‍රථම වෘත්තීය දිවිය ටයිම්ස් පත්තර කන්තෝරුවෙන් ආරම්භ කරයි.
විවාහ දිනයේ
එච්.ඩී ,සිය භාර්යාව පද්මිණි,දෙදරුවන් වන රේඛා දිලානි සහ රංග ලක්මාල් සමග.
1965 වසරේදී ලුම්බිණි රංග ශාලාවේ වේදිකාගතවූ ,යකාගේ කම්මල නාට්‍යයේ දෙබස් රචකයා ලෙසින් හේ කලා ක්ෂේස්ත්‍රයට සම්බන්ධවේ.ඔහු සිනිමාවේ අත්පොත් තබන්නේ 1966 වසරේ දීය.ඒ,දරු දුක චිත්‍රපටයේ ක්ලැපර් බෝයි නොහොත් අත් උදව්කරුවෙක් ලෙසිනි.එම අවස්ථාව ඔහුට උදාවුයේ ඩොමී ජයවර්ධන මහතාගේ අනුග්‍රහයෙන් බැව් ,හේ වරක් මා සමග පැවසීය.චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසීමට පෙර පූජිතයෝ චිත්‍රපටයෙහි අධ්‍යක්ෂණයට සහය වීමට අවස්ථාවක් සැළසේ.
1975 දී තිරගතවූ ,ඔහුගේ මුල්ම චිත්‍රපටය “සිකුරුලියා ” දේශීය සිනමාවේ සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නකි.එහි කතාව, දෙබස්,තිර නාටකය සහ අධ්‍යක්ෂණය යන සිව් ඉසව්වෙහිම නිර්මාපකයා වුයේ ප්‍රේමරත්නයන්ය.පාසල් වියේදී කියැවූ උම්මග්ග ජාතකයේ එන දික්තලා,දික්පිටියා සහ කාල ගෝල යන චරිත ත්‍රීත්වයට නව්‍ය අර්ථනිරූපණයක් දෙමින්, ප්‍රේම් සිකුරුළියා කතා පිටපත රචනා කළේය. මෙහිදී විජය, සුවිනීතා ප්‍රධාන චරිතවලට යොදා ගන්නා ඔහු අසාමාන්‍යය ලෙස මිටි පුද්ගලයෙකු වන බන්දුල ගලගෙදර කාල ගෝල හා සම චරිතය සදහා යොදා ගැනිම ප්‍රේම් ගේ නිර්මාණශීලී නිපුණතාව ප්‍රකට කරවන්නකි.
සිකුරුළියා තේමා ගීතය
සමාජයට කිසියම් ධනාත්මක පණිවිඩයක් ගෙනෙමින්,කලාත්මක අගයට හානියක් නොවන පරිද්දෙන් වාණිජමය අරමුණු ද සපුරා ගත් චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙක් ලෙසින් එච්,ඩී.ප්‍රේමරත්නයන් බුහුමනට බදුන්වේ. ඔහු ගේ සිනිමා කෘතීන් මැද මාවතක රැඳුණු දෘෂ්ටිකෝණයකින් නිපන් බව, චිත්‍රපට විචාරකයින් වැඩි දෙනෙක් ගේ මතයවේ.ඕනෑම සාමාන්‍ය කතා වස්තුවක සමාජමය හා දේශපාලනමය හරවත් දැක්මක්, කලාත්මකව සිනිමා පටයට පරිවර්තනය කිරීමේ අපූර්ව කුසලතාවක් ඔහු ජන්මයෙන් ම උරුම කරගෙන සිටි සෙයකි.
සිකුරුළියා අධ්‍යක්ෂණයෙන් අනතුරුව , ඔහු අපේක්ෂා,සසරක පැතුම්, පරිත්‍යාග,හස්ති වියරුව,දෙවෙනි ගමන,ආදර හසුන, මංගල තෑග්ග, සහරාවේ සිහිනය සිංහල සිනිමා වංශයට දායාද කළේය.
අපේක්ෂා චිත්‍රපටියෙන්
1981 OCIC උළෙලේදී පරිත්‍යාගය චිත්‍රපටයේ හොදම පිටපත් රචකයා ලෙසින් ඔහු පුදනු ලැබිණි.
මංගල තෑග්ග චිත්‍රපටය
ප්‍රේමරත්න සිනිමා මං තලාවේ සනිටුහන් වන පාලම යට,කුලගෙය, සප්ත කන්‍යා, සෙයිලම,විසිදැල, අපේක්ෂා, වැනි චිත්‍රපට පරිනත සිනිමා නිර්මාපකයෙකුගේ අත්දකීම් මොනවට ප්‍රදර්ශනය කරවන සුළුය. එම සිනිමා දාමය වෙත සරසවිය, ජනාධිපති, OCIC ඇතුළු ඉහළම සම්මානයන්ට පාත්‍ර විය.ඔහුගේ බොහෝ නිර්මාණ ටෂ්කන්ට්, හවායි, කයිරෝ, මැනිලා, සිංගප්පූරුව ඉන්දියාව සහජපානය වන් රටවල පැවති ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය කළේය.
දෙවැනි ගමන චිත්‍රපටයයේ හොඳම පිටපත් රචකයා ලෙසින් 1985 දී සරසවිය සම්මානය ඔහු වෙත හිමිවේ .
දෙවැනි ගමන
පාලම යට
ඔහුගේ කුල ගෙය චිත්‍රපටය සරසවි සම්මානයට පාත්‍ර වන්නේ 1993 හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙනි.
කුලගෙය
1993 දී, සප්ත කන්‍යා චිත්‍රපටයේ ,හොඳම පිටපත් රචකයා ලෙසින්, ජනාධිපති සම්මානයෙන් ඔහු බුහුමන් ලැබීය.
සප්ත කන්‍යා
සෙයිලම චිත්‍රපටයටයේ හොදම පිටපත් රචකයා ලෙසින් ඔහු සම්මාන ලබන්නේ , 1996 වසරේ 24 වන සරසවි සම්මාන උළෙලේදීය.
සෙයිලම චිත්‍රපටයෙන්
ඔහුගේ අධ්‍යක්ෂණයෙන් බිහිවූ ,වැඩිහිටියන්ට පමණක් සීමාවූ විසිදැල චිත්‍රපටය ,රසිකයින්ගේ නොමද සම්භාවනාවට පාත්‍රවේ.
විසිදැල
ප්‍රේමරත්න සිනිමා වේදියෙක් ලෙසින් මෙන්ම, රුපවාහිනී වේදියෙක් ලෙසින් ද ඇගයුමට බඳුන් වෙයි. සඳුන්ගිර ගිනි ගනී, සිහින දනව්ව, දුලාරි ඔහුගේ අධ්‍යක්ෂණයෙන් රුපවාහිනී ගතවූ, රසිකයින් මතකයේ රැඳි ටෙලිනාට්‍යය කිහිපයකි.ඔහු ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාවේ අධ්‍යක්ෂ සහ උපදේශකයෙක් ලෙසින් ද සැලකිය යුතු කාලයක් සේවයෙහි නිරතව සිටියේය.
එච්.ඩී ,ප්‍රේමරත්න දශක හතරක චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙස සිය වෘත්තීය ජීවිතය තුළ චිත්‍රපට 18 ක් නිර්මාණය කළේය. එම සෑම චිත්‍රපටයකින්ම ,ප්‍රේක්ෂකයින් රසඥතා පුබුදුවාලීය. සිනිමාවේ නව තේමා මංපෙත් විවර කරමින්, සමාජ ගැටළු සියුම් ලෙස විශ්ලේෂණයට බදුන් කළේය. හෙළ සිනිමා වංශ කතාවේ දිදුලන පහන් ස්ථම්භයක් වන් , මෙම කෘතහස්ථ සිනිමා වේදියා දිවි සිනිමාවෙන් සමු ගෙන 2023 දෙසැම්බර් 26 වන දිනට 18 වසරක් සපිරේ. අප ඔහුට අජරාමර නිවන් සුව පතමු.
මෙම ලිපිය සදහා සේයාරූ සපයා දුන්,එච්.ඩී . ප්‍රේමරත්න සිනිමා වේදියාගේ දියණිය රේඛා දිලානි සහ සොහොයුරු එච්.ඩී, සුනිල් වෙත අප නොමද කෘතවේදීත්වය හිමිවේ.
ආචාර්ය ගාමිණී කාරියවසම්.