ගුවන්විදුලියේ හද නැන්දනිය – සුමණා ජයතිලක – දිවි සැරියෙන් සමු ගනී – By ආචාර්ය ගාමිණී කාරියවසම්
හද මාමා” ගුවන් විදුලි ළමා වැඩසටහන, වසර 60 කට ට පෙර සිට මේ දක්වා ඔබ දෙසවන වෙත කැන්දු සුමනා ජයතිලක මැතිනිය , ජුලි 03 වන දින සිය දිවි සැරිය නිමා කළාය. ජාතියේ ළමා පරපුරේ මනස ,දැයේ උන්නතියට ගැලපෙන අයුරින් සකසන්නට,හඳ මාමා ගුවන් විදුලි වැඩසටහන තුළින් ඇය ගත් ප්රයත්නය සැබවින්ම ආශ්චර්යමත්ය. එම ප්රශස්ත ප්රයත්නය පිළිබඳව විමංසනයේ යෙදෙමින්,ඇයගේ දිවිපෙවෙතේ හැඩතල සිත්තම් කිරීමේ අභිප්‍රායෙන් මෙවන් ලිපියක් සකසන්නට මසිත් යොමු විය.
1963 දෙසැම්බර් 14 වන දින සන්ධ්‍යාවේ , නිරන්තරයෙන් වෙළද දැන්වීම් වලට සීමාවූ ගුවන් විදුලියේ වෙළද සේවයෙන්, ළමා සිත් අභිනන්දනයට පත් කරවන සුළු , අර්ථවත්ගී තමය ආයාචනයක් ගුවන් තරංග ඔස්සේ විකාශනය වන්නට විය. මෙම අනුස්මරණීය නිමේෂය , එවකට පාසල් සිසුවකුවූ මගේ මතකයේ මේ දක්වා රැදී තියේ.
“ ලොව ගනඳුරු දුරු කරන්න
ගුණ නුවණට මඟ පෙනෙන්න
පුංචි අපට දැනුම දෙන්න
‘හඳ මාමා’ ට සවන් දෙන්න…”
ප.එල්.ඒ.සෝමපාල සංගීතඥයාගේ තනුවකින් රිද්ම ගතවූ මෙම තේමා ගීතය ජේ.ඒ.මිල්ටන් පෙරේරා ගේ හෘදයාංගම ස්වරයෙන් ගුවනට මුසු විය. හද මාමා ගුවන් විදුලි ළමා වැඩසටහනේ පුර්වෝක්ත තේමා ගීතයේ නිර්මාණ කීර්තිය ද උරුම කර ගන්නේ සුමනා ජයතිලකය. මෙම ළමා වැඩසටහනේ හද මාමාගේ භූමිකාව සපුරා ලන්නට ආරියසේන මිල්ලවිතානාච්චි,ගුණතුංග කේ .ලියනගේ ,බණ්ඩාර කේ.විජේතුංග කේ.එස්.වික්‍රමරත්න .ලැම්බර්ට් පෙම්මාවඩු යන නිවේදකයින් කිහිප දෙනෙක් ම ,හද මාමා ලෙසින් සිය දායකත්වය ලැබ දුන්හ. එනමුදු වැඩසටහන ආරම්භයේ පටන් වත්මන දක්වාම හද නැන්දාගේ භූමිකාව ඉටුවූයේ සුමණා ජයතිලක මහත්මිය වෙතිනි.
2023 දෙසැම්බර් 14 වන දිනට යෙදී තිබු හදමාමා 60 වන සංවත්සර දිනයේ ,සුමණා ජයතිලක මාධ්‍ය වේදිනිය , ගුවන්විදුලියේ 6 වන මැදිරියේ හදමාමා වැඩසටහන මෙහෙයවූ අයුරු සජීවීව
1963 වසරේ සිට මේ දක්වා වසර 60 ක් අඛණ්ඩව හද මාමා වැඩසටහන කාලනුරුපව සැලසුම්ක රමින්,මෙහෙයවමින් සිය දයාබර දායකත්වය ලබා දීම පිළිබදව , සුමණා ජයතිලකයන් මුළු මහත් ජාතියේ ප්රණාමයට බදුන්වේ.
සුමනා ජයතිලක ,බණ්ඩාර කේ.විජේතුංග සමග හදමාමා
වැඩසටහනක් මෙහෙයවීම
Image Source : lankaleader
සුමනා ජයතිලක ලැම්බට් පෙම්මාවඩු සමග හදමාමා
වැඩසටහනක් මෙහෙයවමින්
ඇය ගේ වියෝගයෙන් කම්පිත සහෘදයන් වෙත , ඇය දිවි මං තලාවේ සොඳුරු විසිතුරු මෙසේ පෙළ ගස්වන්නේ ඇය වෙත පිදෙන උපහාරයක් ලෙසිනි.
සුමනාවතී කුරේ බිළිදියක ලෙස මෙලොව එළිය දකින්නේ,1937 අප්‍රේල් 23 වන දිනය.ආතර් සහ ලීලාවතී කුරේ ඇගේ දෙමාපියන්ය. කුඩා අවධියේ ඇයගේ දෙමාපියන් ඇය ඇමතුවේ චුටි හාමිනේ යන ආදරණීය නාමයෙන් බැව් ඇය මා සමගපැවසුවේ, සිහින් සිනහ රැල්ලක් මුවග රඳවමිනි.මේ චුටි හාමිනේ මතු දිනෙක මුළු මහත් ජාතියේම ළමා පරපුරේ හෘදයාංගම හද නැන්දා බවට පත් වෙතැයි එදවස කිසිවෙකුත් නොසිතන්නට ඇත. සුමනාවන් සිව් අවුරුදු වියේදී, ඇයට සිය මව අහිමි වෙයි. අනතුරුව ඇය හැදී වැඩෙන්නේ ආත්තම්මා සහ පියාගේ සෙවනෙහිය. යුද්ධ සමයේ ඇගේ පියා, කුඩා සුමනාවතිය ද රැගෙන මහනුවර බෙලිගල් පිටියේ පිහිටි ආත්අම්මගේ මහ ගෙදර පදිංචියට ගියේය. ගමට ආවේනික වෙල් එලිය,ඉපනැල්ල, දිය කදුරු,විහග නද මෙන්ම තමන් ඇසුරු කළ ගැමි සමාජය සුමනාවතී දැරියගේ මනස සෞන්දර්යයෙන් පෝෂණය කිරීමට සමත් වුවා නිසැකි. ගමේ පාසලෙන් ප්‍රථමික අධ්‍යාපනය හැදෑරූ දැරිය ,වැඩිදුර අධ්‍යාපනය ලද්දේ කොළඹ මියුසියස් විද්‍යාලයෙනි.
1948 වසරේදී ගුවන් විදුලි අධ්‍යාපන සේවයෙහි වැඩසටහන් සදහා සිය හඩ දායකත්වය ලබා දෙන්නට ඇයට අවස්ථාව උදාවේ. ඒ වන විට ඇය b11 වන වියේ පසු වුවාය. පසු කාලයේ සුමනාවන් පද්‍ය ගායනා සහ නාට්‍ය ශිල්පිනියක ලෙසින් ද, ගුවන් විදුලි වැඩසටහන් ඔස්සේ සිය ජනප්‍රියත්වය වර්ධනය කර ගැනීමට දෛවය විසින් මෙහෙයවනු ලැබීය. සුමනා ගේ අධ්‍යාපනයේ අවසන් ඉසව්ව වුයේ ජ්‍යෙෂ්ඨ පාඨශාලා විභාගය සමත් වීමය. එනමුදු ග්රන්ථ පරිශීලනයෙන්, ජීවන අත්දැකීම් තුළින් සහ බහුශෘත ඇසුර තුළින් ඇය ආචාර්ය උපාධියකට නොදෙවෙනි දැනුම් සම්භාරයකින් පරිපෝෂිත වූවාය. ඇය 17 වන වියේදී විවාහ දිවියට පිවිසියේ දෙටු ගත්කරුවෙක්වූ කේ.ජයතිලක ශුරීන් සමගය.
සුමණා, ප්‍රකට ග්රන්ථ කතෘ කේ.ජයතිලක ශුරීන් හා
විවාහවූ අවස්ථාවේ ගත් මංගල සේයාරුව.
Image Source : sundayobserver
සුමණාවතී කුරේ එවක් පටන් සාහිත්‍ය අම්බරේ මෝදු වුයේ සුමණා ජයතිලක ලෙසිණි. සුමනා ජයතිලකගේ මව් සෙනෙහස ලබන්නට අවන්ති, කර්ණිකා,සරලා ,ප්‍රබෝධ යන දූ දරුවන් සිව් දෙනා භාග්‍යමත් වුහ. ඇයගේ වැඩිමහල් පුත් අවන්ති ශ්‍රීලංකා පරිපාලන සේවයේ සිටි ජ්‍යේෂ්ඨ වෘත්තීය වේදියෙකි.
ඇය ගුවන්විදුලියේ අද්විතීය වැඩසටහන් නිෂ්පාදිකාවක් ලෙසින් ජාත්‍යන්තර උණ්ඩා අභිනන්දන සම්මානයෙන් පිදුම් ලද්දීය.
ළමා මනස මැනවින් හදුනා ගෙන ,ළමුන් තම වැඩසටහන වෙත ආකර්ෂණය කර ගැනීම උදෙසා නිසගයෙන් ම ඇය සතුව පැවති නිර්මාණශීලී කුසලතාව එහා පැතිරුණු නිපුණතාවක් ද අපට ඇය කෙරෙන් දිස්වේ. ඒ මාතෘත්වයේ සෙනෙහසින් ඔදවත්වූ ඇයගේ දයාබරිත වාග් කෞෂල්‍යයයි.
ළමා සිතුම් පැතුම් පිළිබදව පුර්ණ අවබෝධයෙන් යුතුව සුමණා ජයතිලක සැලසුම් කළ හද මාමා ගුවන් විදුලි ළමා වැඩසටහනෙහි ගුණාත්මක ස්වරුපය, ළමා පරපුරේ අභිනන්දය උදෙසා ඉටු කළ මෙහෙවර ප්‍ර ස්තය.හද මාමා වැඩසටහන සැලසුම් කිරීමේදී, ළමා පෞරුෂ වර්ධනය කෙරෙහි, හේතුකාරක වන , දැනුම කුසලතා හා ආකල්ප යන තෙවැදෑරුම් සාධක සාධනයෙහි හා වර්ධනයෙහි ලා සුවිශේෂී අවධානයක් යොමු කර ඇති බැව් එම වැඩසටහන් කෙරෙන් විද්‍යාමානවේ.
හද මාමා ඇසුරේ සිටි ළමා ලපටීන් , පසු කලෙක නිර්මාණශීලී කලා කරුවන්, සාහිත්‍යවේදීන් මෙන් ම ,විද්වත් වෘතිකයින් විලසින් සමාජය වෙත දොරට වඩමවන්නට එදා මෙදා තුර හද මාමා ළමා වැඩසටහන මෙහෙයවමින් ,සුමනා ජයතිලක ශුරිය ඉටු කළ අපරිමිත
මෙහෙවර කෘතවේදීත්වයෙන් සිහිපත් කරමින්,අභාප්‍රාප්ත
ඇයට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
ආචාර්ය ගාමිණී කාරියවසම්. .
( ගුවන්විදුලියේ හිටපු අධ්යක්ෂ ජනරාල්.)