වජිරාරාම වාසී ඥානසීහ හිමිපාණන්ගේ – (ඕල්කොට් ගුණසේකර )- 9o වන ජන්ම සංවත්සරය සැමරේ. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ඥානසීහ හිමිපාණන්
Image Source : fctc.org
වසර 1957 වසරේ පැවති සිවිල් සේවා විභාගයෙන් සමත් වූ තරුණ මානවකයින් හය දෙනෙකි. සිවිල් සේවයේ කීර්තිමත් නිලධාරියකු වූ ඕල්කට් ගුණසේකර මහතා එම දක්ෂයින් අතර සුදක්ෂයෙකි.
මෙම සුදක්ෂයා 2025 පෙබ.18 දින , සිය 9o වන ජන්ම දිනය සමරන්නේ ඕල්කට් ගුණසේකර ලෙසින් නොව, වජිරාරාම වාසී ඥානසීහ හිමිපාණන් ලෙසිනි.
මෙම උත්තරීතර ජීවන කියවීම,ගිහි දිවියෙන් පැවිදි දිවියට පියමං කිරීමේ මග සලකුණු වලින් ආරම්භ කිරීම වඩාත් අර්ථාන්විතවේ යැයි හැඟේ.
දිනය 2015 පෙබරවාරි 18.ශාන්ත පෙනුමෙන් අනූන,සන්සුන් ඉරියව් ඇති ප්‍රඥාවන්ත,පුද්ගලයෙක් මා මනසෙහි සිත්තම්වේ. හෙතෙම සුදු වතින් සැරසී,සියල්ල අත්හැර ,හිස් අතින්,එනමුදු සැහැල්ලු සිතින් මෙම අභිනිෂ්ක්‍රමණය කරන්නේ බම්බලපිටියේ වජිරාරාමය වෙතය.සෙනෙහෙබර බිරින්දෑ අනුලාවන්,ලබැඳි පුත් අශෝක් සහ දියණි ඖෂධී ඇතුළු පවුලේ සියලු දෙන, එතුමා පෙරටු කොට ගමන් ගත්හ.
ඒ, එතුමාගේ ජීවිතයට අතිශයින්ම වැදගත්වූ දිනයකි.එතුමන් ගේ දිවි ගමනේ 80 වන ඉසව්ව සනිටුහන් වන්නේත්, එතුමන් පැවිදි දිවියට එළඹෙන්නේත් එදිනය. බම්බලපිටිය වජිරාරාමස්ථ දායක සභාව සහ මහා සංඝරත්නය,චාරිත්‍ර අනුකූල වතාවත් සපුරාලීම පිණිස සැදී පැහැදී සිටියහ.අතිපූජ්‍ය ත්‍රීකුණානාමලයේ ආනන්ද මහා ස්ථවිරයන් වහන්සේ විසින්,මෙම ප්‍රඥාවන්තයාගේ හිස මුඩු කොට ,ශ්‍රමණ භූමියට ඇතුළත් කරගනු ලැබිණි . මෙනයනින් , රජගල්ගොඩ ගමගේ ගෝෂක ඕල්කට් ගුණසේකර ගිහි ප්‍රාඥයා, සිරි ඥානසීහ හිමිපාණන් නමින් සසුන් කෙත වෙත පිවිසියේ,දිවියේ අනියතතාව මැනවින් පසක් කර ගනිමිනි.
1935 පෙබරවාරි 18 වන දින,රජගල්ගොඩ ගමගේ ගෝෂක ඕල්කට් ගුණසේකර කුමරු ජන්ම ලාභය ලබන්නේ,අවිස්සාවේල්ල ග්‍රායේ ජේම්ස් ගුණසේකර සහ සීලා විජේසිංහ දම්පතීන්ගේ,පස් දෙනෙකුගෙන් යුත් පවුලක තෙවන දරුවා ලෙසිනි.
ඔහුගේ පියා ,ජේම්ස් ගුණසේකර ස්ථාන මාරු සහිත රාජ්‍ය සේවයෙහි නියුක්තව සිටි නිලධාරියෙකි.ඒ හේතුවෙන්, ස්ථානමාරු ලද සෑම අවස්ථාවකම ඔහුට සිය පවුලේ පිරිස සමග පදිංචිය වෙනස් කිරීමේ ප්‍රවනතාවයට අනුගත වීමට සිදු විය. ඒ අනුව ඕල්කොට් දරුවා පාසල් ගණනාවක සිප් සතර හැදෑරීමට යොමු විය.ගාල්ලේ සවුත්ලන්ඩ්ස් ;හැටන්හි ශ්‍රී පාද; මහනුවර යහපත් එඬේරා කන්‍යාරාමය; ධර්මරාජ ;පන්නිපිටිය ධර්මපාල;කොළඹ ශාන්ත ජෝසප් යන ශිල්ප ශාලිකා රැස ඔහු ප්‍රාථමික අධ්‍යාපනයෙන් පෝෂණය කළහ. 1946-52 දක්වා කොළඹ රාජකීය විද්‍යාලයෙන් හේ සිය ද්විතීයික අධ්‍යාපනය සම්පූර්ණ කිරීමට සමත් විය.
එතුමන්ගේ දැක්ම සහ ආභාෂය තම දෙමව්පියන්ගෙන් සහ පන්සල සමඟ පැවති සමීප සම්බන්ධතාවය මත නිපන්නකි. එතුමා ගේ පවුලේ උරුමය වුයේ , ඉකුත් පරම්පරා තුන හතරක් තිස්සේ භක්තිමත් බුද්ධ ඇදහීම සහ නිර්මාංශිකත්වයයි.
තුරුණු ඕල්කොට් , පේරාදෙණියේ ලංකා විශ්ව විද්‍යාලයෙන් ඉතිහාසය පිළිබඳ ශාස්ත්‍රවේදී පළමු පන්ති උපාධිය ලබා ගති.අනතුරුව කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයෙන් ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගැනීමට සමත් වේ . ඔහුට 1975 දී ඇමරිකා එක්සත් ජනපදයේ පැලෝ ඇල්ටෝ හි ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ විධායක පාඨ මාලාවක් හැදෑරීමේ අවස්ථාව ද උදාවිය. ඕල්කොට් ශූරීන්ගේ භාර්යාව අනුලා, පුත් අශෝක් සහ දියණි ඖෂධී කුඩා අවධියේ.
ලංකා විශ්ව විද්‍යාලයේ 1957 ඉන්දියානු ඉතිහාසය සඳහා වූ අශෝක් ත්‍යාගය; 1993 දී පාලි සහ බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය සඳහා වූ ශ්‍රීමත් බාරොන් ජයතිලක ත්‍යාගය ඔහු දිනාගත් ශාස්ත්‍රීය සම්මාන කිහිපය අතරින් අතලොස්සකි
ඕල්කොට් ශූරීන්ගේ වෘත්තීය ජීවිතය ආරම්භ වූයේ 1958 වසරේ ,කීර්තිමත් ලංකා සිවිල් සේවයට (CCS) සම්බන්ධ වීමත් සමගය .එතුමා රාජ්‍ය සිවිල් සේවයට පිවිසීමෙන් පසුව,1973 දක්වා ,දිසාපති,අමාත්‍යංශ ලේකම්, තානාපති වන් උසස් නිලතල දරමින් දැය වෙනුවෙන් සුවිසල් මෙහෙවරක් ඉටු කළේය.
ඔල්කොට් ගුණසේකර මහතා තුරුණු වියේදී සිය භාර්යා අනුලාවන් , පුතු හා දියණිය සමග.
එතුමා රජයේ සේවයේ , එක් අවස්ථාවක දී, දිස්ත්‍රික්කයේ ඉහළම තනතුර වන මුළු නැගෙනහිර පළාතේම (1964-65) රජයේ නියෝජිතයා විය; එම කාල වකවානුවේ ,එම ප්‍රදේශයේ ගැටළු පිළිබඳව,ජනතාව තෘප්තිමත් වන අන්දමේ විශේෂ වැදගත් තීරණ ගණනාවක් ලබා දීමට මූලික විය.
හෙතෙම 1973 දී ලංකා සිවිල් සේවය අහෝසි කිරීමත් සමඟ විශ්‍රාම ලබා ගති. විශ්‍රාම ගිය වහාම අලුතින් පිහිටුවන ලද සමුපකාර කළමනාකරණ සේවා මධ්‍යස්ථානයේ සභාපති ලෙස රජය විසින් එතුමන් පත් කළේය.1980 වසර දක්වා එම තනතුරේ සේවහි යෙදෙමින්,එවකට පිරිහෙමින් පැවැති සමුපකාර ක්ෂේත්‍රය සංවර්ධනය පිණිස එතුමාගෙන් අනූපමේය මෙහෙවරක් ඉටුවිය.
එතුමා 1980 – 1991 දී බැංකොක්හි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (RAPA) ප්‍රාදේශීය කාර්යාලයට අනුයුක්තව සමුපකාර, ණය සහ අලෙවිකරණයේ කලාපීය උපදේශක ලෙසින් ,එම සංවිධානය යහපත් දිශානතියකට මෙහෙයවීය. අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උපදේශකවරයෙක් ලෙසින්ද, මත් ද්‍රව්‍ය නිවාරණ ජාතික කිටුවේ සභාපති ලෙසින් ද උදාර සේවාවක නිමග්න වෙමින්,එතුමා සිය විශ්‍රාමක දිවිය ද සමාජ මෙහෙවර වෙනුවෙන් කැප කළේය.
ධර්ම විජය පදනම බිහිවන්නේ එතුමාගේ සංකල්පයක් පදනම් කර ගනිමිනි.ධර්මවිජය පදනමේ මූලික මූලධර්ම පදනම් වී ඇත්තේ, සමගි සම්පන්න සමාජයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය පරිදි සියලු ආගමික සම්ප්‍රදායන්ට පිළිගත හැකි බුද්ධාගමේ අඩංගු ශික්ෂා පද පහ මත ය.
රතුකුරුස සංවිධානයෙහි අන්‍යාගමික මුහුණුවර නිසා,එහි ව්‍යුහයට සමාන බෞද්ධ ප්‍රථමාධාර සේවාවක් රතු පියුම් සංවිධානය නමින් ස්ථාපනය කෙරෙහි මුල්වුයේ ද මෙතුමාය.අසරණ සරණ රෝහල් සේවය,සම්මා සංජීව සමාජය වන් ජාතික ආගමික ප්‍රබෝධයක් ඇතිකළ සංවිධාන කිහිපයක නිර්මාතෘ ලෙසින් ද එතුමන් මහත් ඇගයීමකට බඳුන්වේ. එතුමන් අතින් සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ශාස්ත්‍රීය සදහම් කෘති කිහිපයක් ද ලියැවී ඇත.
මෑතකදී ප්‍රකාශයට පත් “නිස්සරණ යාත්‍රා “ නම් වූ ශාස්ත්‍රීය කෘතීය, උන්වහන්සේගේ චරිතාපදානය ප්‍රකට කෙරෙන කැඩපතක් බඳුය.තම දෙමාපියන්,තමන් හැදුනු වැඩුන නිවසේ ආදර්ශනාත්මක පරිසරය,තම බිළිඳු සහ පාසැල් විය, විශ්ව විද්‍යාලීය අධ්‍යාපනය, රාජ්‍ය සේවයෙහි ඉටු කළ සුවිසල් මෙහෙවර, දේශීය සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජනයෙන් බුදු දහම ව්‍යාප්ත කිරීමෙහිලා අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කළ ප්‍රශංසනීය විලාශය, “නිස්සරණ යාත්‍රා “ කෘතියෙන් වර්ණවත් කෙරෙන්නේ හෘදයාංගම භාෂා ශෛලියකිනි. පරිපාලන ව්‍යුහයෙහි නිර්මාණාත්මක වෙනස්කම් වලට සක්‍රීය දායකත්වය ලබා දුන් අයුරු, විශ්‍රාම යාමෙන් පසුව සිදු කළ ජාතික ආගමික සහ සමාජයීය මෙහෙවර,ශ්‍රමණ භූමියට පිවිසීමට හේතු වූ පසුබිම ද මෙම කෘතියෙන් විවරණය කෙරෙන්නේ පාඨකයා ආකර්ෂණය කර ගන්නා සුළු ගද්‍යමය ස්වරූපයෙනි.
මෑතකදී ප්‍රකාශයට පත් “නිස්සරණ යාත්‍රා “ නම් වූ ශාස්ත්‍රීය කෘතීය,
රට දැය වෙනුවෙන් අපරිමිත සේවාවක් ඉටුකළ,සිරි ඥානසීහ හිමිපාණන් වෙනුවෙන් ආශිර්වාදාත්මක පුණ්‍ය උත්සවයක් 2025 පෙබරවාරි 18 වන දින පස්වරු 5 ට බම්බලපිටියේ සිරි වජිරාරාම විහාරස්ථානයෙහි පැවැත්වීමට නියමිතය.මෙහිදී , “Buddhism in Practice “ ලිපි සමුච්චය ඇතුළත් ග්‍රන්ථාවලිය සැදැහැවතුනට ප්‍රදානය කිරීම ද සිදුවේ.
සිය උත්තරීතර පැවිදි දිවියේ ප්‍රථම දශකය සහ සිය ජීවන මංතලාවේ 90 වන විය සපුරන ආදර්ශ්නාත්මක චරිතයකින්ශෝ භමාන වූ මෙම යතිවරයාණන් වහන්සේට අප නිරෝගී, සුවපත් චිර ජීවනයක් ප්‍රාර්ථනා කරමු. ( සේයා රූ “නිස්සරණ යාත්‍රා “ කෘතියෙනි.)
ආචාර්ය ගාමිණී කාරියවසම්.
If you missed Gaminis’ last Article – here it is ! මහාචාර්ය දයා ඉදිරිසිංහ ශුරීන් – ආචාර්ය ගාමිණී කාරියවසම්.