News & Community eLanka

eLanka

Wednesday, 13 May 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » නාවික සෙන්පතියෙක් , පරෙවියක් තුඩඟ, දියවන්නාවට එවූ සන්දේශය. – By ආචාර්ය ගාමිණී කාරියවසම් .
ArticlesDr. Gamini Kariyawasam

නාවික සෙන්පතියෙක් , පරෙවියක් තුඩඟ, දියවන්නාවට එවූ සන්දේශය. – By ආචාර්ය ගාමිණී කාරියවසම් .

eLanka admin
Last updated: October 27, 2023 10:18 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
9 Min Read
SHARE
Views: 12

නාවික සෙන්පතියෙක් , පරෙවියක් තුඩඟ, දියවන්නාවට එවූ සන්දේශය. – By ආචාර්ය ගාමිණී කාරියවසම් .

Dr.Gamini Kariyawasam.

dove

පුස්තකාලයේ පොත් රාක්කයක් අසල පොත් තෝරමින් සිටි අවස්ථාවක, අපුර්ව සංදේශ කාව්‍ය ග්‍රන්ථයක් මා නෙත් ගැටිණි. සන්දේශයක් පිලිබදව අසන්නට ලැබුණු සැනින් අප මනස දිවයන්නේ කෝට්ටේ යුගය වෙතය. ඒ සමගම තොටගමුවේ සිරි රහල් හිමි ප්‍රතිරූපය  ,අප මනසේ සිත්තම්වේ. 

පරෙවි සංදේශය ,කෝට්ටේ යුගයේ දී , තොටගමුවේ සිරි රහල් යතිවරයාණන් විසින් ජාතියට දායාද කළ රසාලිප්ත කාව්‍ය නිර්මාණයක් බව අප දනිමු.

රහල් සමිදුන් ,සිරි පැරකුම්බා නිරිඳුන්  රැක දෙන ලෙසත්, චන්ද්‍රාවතී  රාජ දූ  කුමරියට සුදුසු හිමියෙකු ලබා දී, මතු රජවන පිණිස පුත් රුවනක් ද ලබාදෙන ලෙස අයැදිමින්  දෙවිනුවර උපුල්වන් දෙවිදුන් වෙත යැවීමට සැකසු කාව්‍යමය අස්න  පරෙවි පක්ෂියා තුඩග රදවයි.

dove

dove

dove

තත්කාලීන සමාජය නව මානයකින් දකින

නුතන පරෙවි සංදේශය.

පුස්තකාල පොත් රක්කයේ   මා දෑස ගැටුණු , නුතන පරෙවි සංදේශය කාව්‍ය ග්‍රන්ථය සංදේශ කාව්‍යක් වුවද,එය ලියැවී ඇත්තේ උතුරේ  පශ්චාත්  යුද්ධ ගැටුම් පැවති සමයේය.එහි කතුවරයා යතිවරයාණන් කෙනෙකුන් නොවේ. නාවික සෙන්පතියෙකි. වත්මන් පරෙවි සදෙස් කව නීර්මානය  වන්නේ 20 වන සියවසේ අග භාගයේ , කන්කසන්තුරේ මහා සමුදුර පාවෙන නැවක ,රට රැකීමේ කාර්ය භාරය මෙහෙයමින් සිටි නාවික  රියර් අද්මිරාල් වරයෙක් අතිනි. හේ රියර් අද්මිරාල් සරත් වීරසේකර නාවික සෙන්පතියාණන්ය.

dove

dove

හේ නැවියෙක් මෙන් ම කිවියෙකි. සාහිත්‍යධරයෙකි.  මේ  සොදුරු මිනිසා වත්මනේ පර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. කලක් , මහජන ආරක්ෂක අමාත්‍ය ධුරය හෙබවීය.  අතිශයින් කාර්ය බහුල දිවියක් ගත කළ ද,ඔහු තුළ  නිසගයෙන් ම පිහිටි ජාතික අබිමන හා මුසුවූ   කවි සිත විකසිතවූ  සෙයකි. එපමණ ද නොව යුද්ධයට නොබියව මුහුණදී ,දේශයෙහි එක්සත් භාවය ආරක්ෂා කර ගැනීම පිණිස රට කරවන ඇත්තන්ගේ  නොමද අවධානය යොමු කිරීමේ ජාතික මෙහෙවර ද ,නුතන පරෙවි සංදේශයෙන් ඉටුව ඇති බැව් කදිමට නිරීක්ෂනයවේ,

සැරද පරෙවිඳු සඳ – පඬුවන් සුරත් සරණින්

පහළ වූ කිරි මුහුදින් – සහ පබල පලු සක්වන්.

තත් ආසිරි කවියෙන් තොටගමුවේ සිරි රහල් හිමි , පරෙවි  සදෙසේ සිය දුත කාර්යයෙහි  යොදවන පරෙවියා වර්ණනහි යෙදෙමින් සිය සංදේශ කාව්‍යයට මුල පුරන ආකාරය මෙහිදී අප මනසේ සිත්තම්වේ. එම ආකෘතියට අනුගත වත්මන් පරෙවි සදෙස් කරුවා ද,සිය සංදේශ හාරක  පරෙවියා වර්ණනා කරමින් , එම පක්ෂියාට ආසිරි පතන්නේ සරළ සුගම පද සංයෝජනයක නිමග්න වෙමිනි.

සුවද මුසු කොට කරදියේ

පැළද පිනි මුතු අසිරියේ

අපගේ ඇරයුම අනුව සපැමිණි

සැරද සුදු මුදු පරෙවියේ

 

ඉපැරණි පරෙවි සංදේශය වෙතින් මෙන් ම,නුතන පරෙවි සංදේශය වෙතින් ද, තත්කාලීන ආර්ථික, සමාජයීය, ආගමික, සංස්කෘතික , දේශපාලනික තොරතුරු ද චිත්තජ රූප මවමින්  හුවා දක්වන සෙයක් දුට හැකිය.

රහල් හිමි සිය සංදේශ හාරක පරෙවියා පිටත් කරවන්නේ  ජයවර්ධන පුරවරයෙනි. එතැන් සිට දකුණේ දෙවි නුවර උපුලන් දෙවොළ  දක්වා පියාසර කරන පරෙවියා  නෙත ගැටෙන මග විසිතුරු සජීවීමත් ලෙසින් චිත්‍රණය කරන්නට රහල් හිමි දක්වා ඇති සාමාර්ථය සුළුපටු නොවේ.

dove

නුතන පරෙවි සදෙස් කිවියා තම දුතයා පිටත්කර යවන්නේ කන්කසන්තුරේ සිට දියවන්නාවේ මැති සබය වෙතය. සතුරන් මැඩ , සංහිඳියාවෙන් යුක්තව එක්සත්ව  නැගී සිටිනා,තිරසාර සාමයෙන් පිරිපුන් ජන සමාජයක් බිහි කරලන්නට මග පෙන්වීම නුතන පරෙවි සංදේශ කරුවාගේ මුලිඛ අභිප්‍රායවේ.

dove

dove

සතුරන් රුදුරු  අවි බිම ලන්නට      පළමු

උන් හා කතා පල නැති බැව් දැන   ගනිමු

දරුවන් මරණ රකුසන් හා යුද        වදිමු

යුද්ධය දිනා රට වැසියන් රැක       ගනිමු

 

මෙම උත්තරීතර පණිවිඩය රැගෙන  ගගනත  පියාසර කරන විහග  නෙතට දර්ශනය වන ගම්, නියං ගම්හි විසිතුරු පමණක් නොව ඒවායේ ඓතිහාසික වැදගත්කම ද රසික සිත්හි කුළු ගන්වන්නට සරත් වීරසේකර කිවිදු දක්වා ඇත්තේ අසාමාන්‍ය කුසලතාවයකි.

 

හිරු රැස් පතිත  වන

තුරු පත් යසට දිලිසෙන

“මාදගල් “යන තැන

ගැටෙනු ඇත දැන් ඔබේ දෙනයන

ක්‍රි.පුර්ව 288 දී සගමිත් තෙරණිය ,ශ්‍රීමහාබෝධි ශාඛාව සිය සිරස රදවාගෙන සිරිලකට සැපත්වූ යාපා පටුනේ මාදගල් තොට ,නුතන පරෙවි සදෙස් කතුවරයාට සිහිපත් වෙයි.

dove

එන  සගමිත්  තෙරිදු

දෙවනපෑතිස් නර නිදු

කර  වටක් ගොස්  සිදු

බැති පෙමින් පිළි ගතැයි පරසිදු

දෙවනපෑතිස් රජු  කරවටක් මහ මුහුදේ බැස මහ බෝධීන් වහන්සේ  සිය සිරස තබා  මහත් බුහුමනින් පිළිගත් අයුරු කවියා සරල,සුමට සිවු පද  පෙළින්  මුර්තිමත් කරන්නේ සිය ප්‍රතිභාව මොනවට පළ කරවමිනි.

පෙර දවස උතුරු ප්‍රදේශය ආක්‍රමණය කළ සොළී සේනාවන් ,ඉපැරණි රජ දවස සිට භාවිත සිංහල ග්‍රාම නාම වෙනස් කර ඇති ආකාරය නුතන පරෙවි කතුවරයාගේ අවධානයට යොමුවෙයි.

ඇවිදින් සොලී සෙන් උතුරට  වරින්වර

සිහළුන්  එළා  උන් උතුරෙන් ඉවත් කර

දෙසවන් පිනුව එම හෙළ නම් වෙනස් කර

එදනන්  බස් අනුව සැ දුවයි නොයෙක් වර

 

සරත් වීරසේකර වියතා, සිංහල ග්‍රාම නාම වෙනස්වූ අයුරු  සිය කෘතියෙහි    කාව්‍යට නගන්නේ කිසියම් විරිතකට අනුගත එළිවැට රැක ගනිමිණි. හේ අර්ථ රසයට ද බාධාවක් නොවන පරිද්දෙන් , ශබ්දාලංකාරයද  ද්වනිත වන ලෙසින් එළි සමය පවත්වාගෙන ගිය අපුර්වත්වය  මෙම කවියෙන්මැ නවින් ස්ඵුට වේ. නිර්මානතා විලාශය සහ මටසිළුටු  භාෂා නිපුණතාව ද රැක ගැනීමට හේ සමත්වූ සෙයක් ද මෙම පද්‍යය යුගලෙයෙන්  පිළිබිඹු වේ.

dove

ගම  හුණු දුන්න හුණු  ගම අද චුන්නාකම්

ගම මල්  දුන්න මල් ගම අද මල්කාමම්

ගම වැලි දුන්න වැලිගම  අද  වලිකාමම්

ගම කොඩි දුන්න කොඩි  ගම අද කොඩිකාමම්

 

තිබුන වරින් වර දළ රුපුන  ගෙන් මුදා

පින්වත්  එබිම හෙළ  හද බැති කැරිණි   සදා

එනමුත් කදුරුගොඩ රජ මහා වෙහෙර එදා

හඳුනත්  කන්දරෝඩෙයි යන නමින්   මෙදා

 

dove

කදුරුගොඩ රජ මහා වෙහෙර

කෝට්ටේ යුගයේ බිහි වූ ,පැරණි  පරෙවි සංදේශය ,  රාජකීය කුල කතුන්, පුරඟනන්, තුටින් දිය කෙළියෙහි යෙදෙන මනෝරම්‍ය යුවතියන්ගේ කෙළි ලොල් ස්වභාවය .රසිකයා හද මෙලෙසින්  සිත්තම් කෙරේ.

 

සොබමන් වුවන් නෙත් පියයුරු බැම සසල

අගනන් දිය කෙළිනු දැක මෙහි ගෙදිගු වීල

ගනරන් පියුම් නිලුපුල්  තිසර  බිඟු කැ ල

දනකැන් දනිති තොරතුරු ඇසුමෙන් තෙප ල

 

උතුරේ ත්‍රස්තවාදය පැවතී   සමයේ  ලක් වනිතාවන්ට නිදහසේ සරන්නට, ගං තෙර පිහිනමින් දිය කෙළියේ නිරත වන්නට සුදුසු වාතාවරණයක් නොපැවතිණි .සිය දේශය ත්‍රස්ත උවදුරින් ආරක්ෂා කර ගන්නට ,වනිතාවන්ට සිය සියුමැලි දෑතෙහි ගිනි අවි දරමින් , හමුදා සේනාංකයන්හි ක්‍රියාකාරී සේවයේ නිරත වන්නට සිදුවිය.  නුතන පරෙවි සංදේශ කරුවා  මෙම සංසිද්ධිය මෙසේ  අපුර්වත්වයෙන්  කාව්‍යයට නගන්නේ සිය ප්‍රතිභා ශක්තිය මොනවට විශද කරවමිනි.

dove

dove

සිදබිද ඇතත් තැන තැන තල් තුරු සළුව

නැගිසද  පෙනේ ගුවනට  රක්ෂිත මළුව

රුපුනොද නැසු එහි සිය දහ බිදු  හෙළුව    

සකිසද පෙනේ හෙළ වනිතා   බල මුළුව

 

දිනකර අවර ගිර ගිලෙමින් ගුවන්  තෙරේ

ගනදුර ඇදෙන විට දස අත  නිරන්තරේ

පින්බර  සෙබළියන් පෙළ පෙළ ගමන් කෙරේ

බංකර දෙසට නොවැ අවිගෙන හෙමින්සැරේ    

 

කොටි ත්‍රස්‌ථවාදීන් විසින් මව් තුරුලේ සිටිය යුතු ,බාල වයස්කාර දරුවන් පැහැරගෙන ගොස්,උන්  අත ගිනි අවි රදවා තිබෙනු දකින මහී කාන්තාව  වැළපෙමින් කෙතෙක් කදුළු සළා ඇත් ද යත්, ඇයට  හෙලන්නට තවත් කදුළු ඉතිරිවී  නොමැති සෙයකි. තල් අරඹේ වියළි අතු  ඒ බැව් පවසන්නාක්  සේ  කවියාට හැගේ. අපුර්ව ,ප්‍රතිභාපුර්ණ උපමා උපමේයකි.

dove

 

අම්මාවරුන්ගේ  ඇකයේ  සිටිය යුතු

පෙම් මා පුතුන් ඇත අවි  ගෙන බලන මිතු

මිහිකත හඬා තව නැති බැව් කඳුළු මුතු

පෙන්වයි යසට  තල්ගස්වල වියළි අතු

 

නුතන පරෙවි සංදේශ කතුවරයා ,සිය දුතයා කැලණිය සරසවිය පසුකර පියාසර කරද්දී දුටු ,විශ්වවිද්‍යාල  ක්ෂේස්ත්‍රයේ නිරන්තරයෙන් සිදුවෙමින් පවත්නා ඛේදනීය දසුනක් මුර්තිමත් කරන්නේ,පෙර දවස පිරිවෙන් සිසුන්ගේ ශික්ෂකාමීත්වය ද සිහිපත් කරමිනි.

 

dove

හෙළ දරු දැරියන්  වියතුන්  කරන  සබේ

දේශන ඇතත් මෙහි ගුටි කෙළි මැවෙති  ඉබේ

පොතපත සේම පොලු මුගුරු ද  කඩු ද   තිබේ

වසරට  දස  වරක් වත්  මෙය  වසනු ලැබේ

 

සියවස්  පහට පෙර අප දත් තොටගමුවේ

සුපතළ විජයබා පිරිවෙන මට සිහිවේ

පන් දහසකට වැඩි පිරිසක් තුරු ගොමුවේ

සිප් සත උගත යුරු  අප සැම දත යුතු වේ

 

dove

එදවස උතුරු කරයේ ත්‍රස්තවාදීන් ,වාර්ගික භේදය මුල්කරගෙන ජනතාව හිංසනයට පත් කරද්දී, කොලොම්පුර පෙදෙසේ සිංහල දෙමළ ජනතාව සමීප සබදතාවකින් සිය ජීවන වෘත්තියෙහි නියැළී  සිටින අයුරු කවියා  සනිටුහන් කරන්නේ ළගන්නා සුළු විලාශයකිනි.

 

එතැනින් හනික ගොස් ඇති පිටකොටුව මැද

නරඹනු හෙට්ටිවීදිය නිසි තැනක හිඳ

එ හි නිති යනෙන  ජනයා දෙස බලන සඳ

සිංහල දෙමළ ගැටුමක් හෙම පෙනෙනවද

dove

 

ලෝ සස්න රකිනා ‍උපුල්වන් සුරිඳු දැක,තම අභිප්‍රාය සහිත  හස්න උන්වහන්සේට   පිරිමන ලෙස තොටගමුවේ සිරි රහල් හිමි පරෙවියා යොමු කරවන්නේ,උපුල්වන් දෙවිදුන්ගේ ප්‍රභාශ්වර තේජස  කුළු ගන්වන සුළු කාව්‍යමය වදන් මාලාවකිනි.

ගත් රුසිරු සුර කුමරකු මෙන් බැබළු

යුත් ගුණ නැණ දනුමැති තෙපල කිවි නළු

මෙත් කර මෙලක රකිනුව දැරුමෙන් කිරුළු

පුත් රුවනක් දෙන ලෙස අයදින්  යහළු

 

විපුල් කුළුණු මෙත් ගුණයෙන් ලෙව්  සස්න

කොපුල් අත දළැස ලෙස තෙද රැස් ඉස්න

තෙපුල් ගෙන සුරිඳු රකිනා ලෙව් යස්න

උපුල් වන් සුරිඳු දැක දෙවු මේ  අස්න

 

වත්මන් පරෙවි සන්දේශ නිර්මාපක සරත් වීරසේකර කවීන්ද්‍රයා  , සම්මත සංදේශ කාව්‍ය  රටාවට අනුගතව, තම උත්තරීතර අපේක්ෂාවන් ඇතුළත් සංදේශය ,දේශයේ බල කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන මැති සබය  සහ එහි  විරාජමාන  ජනතා නියෝජිතයින්   වෙත පිළිගන්වන්නට ,සිය දුත කාර්යයෙහි යෙදුණු පරෙවියා අමතයි.

කොඩිවිනයක්  වෙමින් වින  කරනා  දැයට

ඇවිළෙන මෙ යුද ගින්නෙන් දැවෙනා අයට

අපමන සහනයක් වන  ලෙසිනා ළයට

යනු  මැන පියබා දියවන්නා ඔයට

 

දෙනයන ගැටුණු විගසින් වන දැහැන් ගත

දනමන පිනයි සුලකළ පහ සුපින්වත

හොබවන මැතිසබේ සේනාපතින්   වෙත

දෙනුමැන රැගෙන ගොස් මේ කවි හසුන් පත

 

සරත් වීරසේකර කිවියා විසින්  නිර්මාණය කළ ,නුතන පරෙවි සංදේශය විමංශනයට බදුන් කිරීමේදී ,මා දුටු  සුවිශේෂීතා ගෙනහැර දැක්වීමේ අභිලාෂයෙන් සැකසු  මෙම ලිපිය කියවීමේදී , අසුවේ දශකයේ මෙරට පැවති යුදමය වාතාවරණය ද සිහියේ තබා ගැනීම වැදගති.   ඉපැරණි  සංදේශ කාව්‍ය සම්ප්‍රදායට අනුගතව නිර්මාණිත  නුතන පරෙවි සංදේශය සිංහල  සාහිත්‍යවංශය  පෝෂණයට මෙන් ම  සමකාලීන සමාජයේ පැතිකඩක් කාව්‍යමය දැක්මකින්  අව්‍යාජ ලෙස ඉදිරිපත් කිරීමක් ලෙස ද ඇගයුමට බදුන් කළ  හැකිය.

යුද්ධ සමයේ දේශය ආරක්ෂා කර ගැන්ම උදෙසා ,අභීතව පෙරමුණ ගත්, නුතන පරෙවි සංදේශය නිර්මාණය කළ, සාහිත්‍යධරයෙක් සහ චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙක්වූ , ආචාර්ය  රියර් අද්මිරාල් සරත් වීසේකර ශුරීන් ගේ ජන්ම දිනය ඔක්තෝම්බර් 29 වන දිනට යෙදෙන අතර එතුමන්ගේ  චිර ජීවනය වෙනුවෙන් ආසිරි පිරිනැමීමට ද මෙය අවස්ථාවක් කර ගැනීම යෙහෙකි.

ආචාර්ය ගාමිණී කාරියවසම් .

gaminee@gmail.com

රියර් අද්මිරාල් සරත් වීරසේකර ශුරීන්  විසින්,2011 වසරේ අධ්‍යක්ෂණය කරන ලද ,1999 ගෝනගල ත්‍රස්තවාදී ප්‍රහාරය ආශ්‍රයෙන්  සැකසුනු ගාමණී චිත්‍රපටිය ,පහත දැක්වෙන යොමුවෙන් ,ඔබට සජීවී ලෙසින් නැරඹිය හැකිය.

 

TAGGED:Paravi Sandeeshayaතොටගමුවේ සිරි රහල් යතිවරයාණන්දෙවිනුවර උපුල්වන් දෙවිදුන්පරෙවියක්රියර් අද්මිරාල් සරත් වීරසේකරශ්‍රීමහාබෝධි ශාඛාවසගමිත් තෙරණිය
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Xondra La-Brooy - eLanka Xondra La-Brooy, has won not one but TWO AWARDS at the International Fair Play Country Music Red Carpet Awards in the Netherlands
Next Article Good News From Jayam Good News From Jayam – By Jayam Rutnam
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
Most Read
10 Pictures With Fascinating Stories Behind Them!

“A PICTURE SPEAKS A 1000 WORDS” – By Des Kelly

Look past your thoughts so you may drink the pure nectar of this moment

A Life Hack for when we’re Burnt Out & Broken Down – By Uma Panch

Narration of the History of our Proud Ancestral (Orang Jawa) Heritage. by Noor R. Rahim

eLanka Weddings

eLanka Marriage Proposals

Noel News

Noel News

Noel News

Noel News- By Noel Whittaker

Appreciation: Eileen Mary Sibelle De Silva

K.K.S. Cement Factory

Dr.Harold Gunatillake’s 90th Birthday party

Sri Lanka's women's cricket squad in Melbourne

Cricket: Sri Lanka’s women’s squad in Melbourne

- Advertisement -
Ad image
Related News
Articles Dr Harold Gunatillake

China’s steady commitment: How a simple yet meaningful ceremony in Akurana reaffirmed a beautiful, longstanding friendship-by Harold Gunatillake

Vesak celebration
Articles

Vatican’s Vesak 2026 Message: Buddhists and Christians Called to be “Artisans of Peace”

Dark Affair Melbourne 2026, Ananthaya Entertainment, Sri Lankan events Melbourne, Melbourne Sri Lankan community, Sri Lankan concert Australia, Sri Lankan music event Melbourne, Dark Affair live music, Sri Lankan cultural events Australia, Melbourne nightlife events 2026, Sri Lankan entertainment Melbourne, Victorian Sri Lankan community, live music Melbourne, Sri Lankan social events Australia, multicultural events Melbourne, Sri Lankan diaspora Australia, Sri Lankan artists Melbourne, community events Victoria, eLanka Australia, Sri Lankan gatherings Melbourne, Ananthaya Entertainment Australia, Melbourne cultural celebrations, Sri Lankan youth events Australia, Sri Lankan party Melbourne, Melbourne entertainment news, Sri Lankan lifestyle Australia, Melbourne community celebrations, Sri Lankan music lovers Australia, premium Sri Lankan events Melbourne, Sri Lankan cultural unity, Australian Sri Lankan events
Articles

Melbourne Experiences a Night to Remember at Ananthaya Entertainment’s “Dark Affair”

Asgiriya Stadium
Articles

Trinity College Kandy Opens State-of-the-Art Badminton Complex at Asgiriya Stadium

Articles

Positioning Ceylon Tea as a Global Benchmark in Hubei, China

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.