පරිකල්පනයෙන් හා මානව භක්තියෙන් පිරිපුන් ලීල් ගුණසේකර – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

පරිකල්පනයෙන් හා මානව භක්තියෙන් පිරිපුන් ලීල් ගුණසේකර – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

දෙසැම්බර් 09 වන දින සිය 91 වන ජන්ම දිනය සමරණ ලීල් ගුණසේකර ශුරීන්ගේ දිවි මං තලාවේ පියසටහන් ආවර්ජණයට බඳුන් කෙරෙන විශේෂ සටහනකි.

ලීල් ගුණසේකර

විසිවන සියවස මැද භාගයේදී  පළාත් නවයේ පරිපාලනය  දිසාපති නිලය  දැරූ සිවිල් සේවකයන් නව දෙනෙකු වෙත පැවරී පැවතිණි. ඒ යුගයේ  රජරට අගනුවර වූ අනුරාධපුරයෙහි මහා දිසාපති ධුරය හොබවන ලද්දේ  ලීල් ගුණසේකර මහතාය. යොවුන් , කඩවසම් දිසාපති වරයා , තම ජීප් රිය  කලාවැව බැම්ම දිගේ පදවාගෙන යමින් සිටියදී , දිය රෙද්දෙන් සැරසී සුරූපී  ගැමි ළදක් වැවේ නිල් දියේ තනිවම නාමින් සිටිනු ඔහු නෙත් ගැටිණි. එම දසුන  තරුණ නිලධාරියාගේ සිත කුල්මත් කරනා සුළු විය.  තාරුණ්‍යයේ  හදවත නිපන්  ස්වභාවික ආවේගය පාලනය කර ගැනීමට හේ  සමත් විය, පරිපාලකයාගේ පරිකල්පන ශක්තිය පුබුදුවා ලීමට මෙම දසුන සමත්වූ සෙයකි. අපුර්ව කාව්‍යමය සංකල්පනාවක්  ඔහු සිය දින පොතේ  සටහන් කළේය.

Leel Gunasekara

Leel Gunasekara

පනහ හැට  දශකයන්හී  සිවිල් සේවා සංස්කෘතියේ පැහැදිලි වෙනසක් ඇති කිරීමට පුරෝගාමීවූ නව සිවිල් සේවකයන් අතරෙන් ලීල් ගුනසේකරයන්ට ප්‍රමුඛස්ථානයක් හිමිවේ.ලංකා සිවිල් සේවයේ පැරණි බළකාය ඉංග්‍රීසි පන්නයෙහි ගැලී සිටියහ. කථාව,ලිවීම කලේ ඉංග්‍රීසි බසිනි.ඔවුහු නිති  ඇසුරු කලේ ඉහල පැලැන්තියේ පුද්ගලයින්ය.

පැරණි සිවිල් සේවකයින්  පොදු ගැමි සේවා ලාභීන් ගේ  ගැටළු,පොදු අවශ්‍යතා සපුරා දීමේ කාර්ය ඉටු කළේ ,තමයටත් ශ්‍රේණිවල නිලධාරීන් හරහාය. මහජනතාව සමඟ ඍජුව ගනුදෙනු කළේ කලාතුරකිනි. ඔවුන් තම ශීත නිල කාමර වසා තබාගති. ඇතුල්වන ස්ථානයේ මහත් තේජසින් පොදු මිනිසුන් හමුවුයේ  ආරච්චි නම් නිල ඇඳුමින් සැරසී සිටි සේවකයක්  විසිනි. එවකට ආරච්චිලා,පියන්ලා වන් සුළු සේවකයින්කච්චේරියට එන ගැමි ජනයා හමුවේ තේජස විහිදුවමින් ඔවුන් අපහසු තාවයට පත් කළ අයුරු ලීල් ගුණසේකර  දිසාපති වරයා ට නිරීක්ෂනයවූ සෙයකි.

ලීල් ගුණසේකර මහතා කෑගල්ලට මාරුවක් ලබා පැමිණ, නව දිසාපතිවරයා ලෙස කච්චේරියේ වැඩ භාර ගන්නා විට ඔහුට අවශ්‍ය වූයේ තම නිල කාමරයේ දොර ජනෙල් සියල්ල විවෘතව තැබීමටය. ඒ  නැවුම් වාතය ඇතුළු වීමට පමණක් නොව, පොදු මහා ජනතාවගේ අදහස්, අවශ්‍යතා කෙලින් ම තමා වෙත ලබා ගැනීමට නිසි අවකාශයක්මෙ මගින්  සැලසුනු  බැව් හේ වරක් පැවසීය.හතර කෝරළයේ ඉපැරණි සම්මතය වූ ‘ඉර හද කොඩිය’ නිල කාමරය ඇතුළත බිත්තියක එල්ලා කෑගල්ලේ අනන්‍යතාව සේවා ලාභීන්ට සිහිපත් කර දුන්නේය. ඉංග්‍රීසියෙන්ලි යා  තිබුනාමපුවරු සහ සමරු ඵලක නැවත සිංහලයෙන් ලියවීමට හේ පියවර ගති.අනාදිමත් කාලයක්.  රෙසිඩන්සි ය ල සින් හැදින්වූ දිසාපති නිල නිවස  දිසාපති මන්දිරය බවට පත් වන්නේ නව දිසාපති වරයාගේ නියමයෙනි.

සල්පිටි කෝරළයේ  ජඹුරලිය ලීල් ගුනසේකරයන්  ජන්මය ලද ගම පියස සේ සැලකේ. 1932 දෙසැම්බර් 9 වන දින ලීල් උපත ලබන්නේ  හපුතන්ත්‍රීගේ දොන් සරනේලිස් ගුණසේකර මහතා සහ තලගල ආරච්චිගේ දෝන පොඩිනෝනා දෙමහල්ලන් ගේ දූ දරුවන් අට දෙනෙකුගේ පවුලේ හත් වැන්නා ලෙසිනි.ජඹුරලිය මිශ්‍ර පාසලින් මෙම මානවකයා 5 වන ශ්‍රේණිය උසස් අන්දමින් සමත්ව ඩෙන්හැම් ශිෂ්‍යත්වය ලැබ 1943 දී පාණදුරේ ශාන්ත ජෝන් විද්‍යාලයට පිවිසීමේ භාග්‍ය හිමිකර ගැනේ.එම වසරේදී  පියා ගේ අකල් වියොව නිසා , පියාගේ සහෝදරයා ලීල් ඇතුළු දරු කැළ මාතලේ තමන් පදිංචි විඩ්මෝර් කොටේජ් නිවහන වෙත ගෙන්වා ගති. පදිංචියේ වෙනස් වීම මත,ලීල්  මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත්වේ. එහිදී ඔහු ජේෂ්ඨ විභාගය සමත්වී,1950 දී උසස් පෙළ හැදෑරීම පිණිසඇතුළත් වන්නේ   මහනුවර ශාන්ත සිල්වෙස්තර් විදුහල්  සෙවණ වෙතය. 1952 සරසවි පිවිසුම සමත් ලීල් තරුණයාට  පේරාදෙණිය සරසවි වරම් හිමිවේ.1955 දී හේ ශාස්ත්‍රවේදී උපාධිය සමත්වේ.1956 වසරේදී උපාධිධාරී ගුරුවරයෙක් ලෙසින්,මාතලේ විජය විද්‍යාලයෙන් ඔහු සිය වෘත්තීය ජීවිතය අරඹයි.

Leel Gunasekara

1957 වසරේදී ඔහු තමන් යායුතු ගමන් මග නිවැරදිව තෝරා ගත යුතු   වෘත්තීමය කඩඉමකට ලගාවේ.එවකට පැවති ඉතා තරගකාරී සහ කීර්තිමත් ලංකා සිවිල් සේවා විභාගයෙන් ඔහු උසස් ලෙස සමත්වේ. ඒ සමඟම ඔහු පෙනී සිටි විදේශ සේවා විභාගයේ ප්‍රතිපල නිකුත් වන්නේ ද ඔහුගේ ජයග්‍රහණය සනිටුහන් කරමිනි. ඔහු හද නිදන්ව පැවති දේශප්‍රේමීත්වය, තම මව්බිමට සේවය කිරීම සඳහා ලංකා සිවිල් සේවයට බැඳීමට ඔහු සිත මෙහෙයවීය. 1957 අප්‍රේල් 25 වන දින සිවිල් සේවා කැඩෙට් නිලධාරියෙක් ලෙසින් මහා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ පුහුණුවට කැදවනු ලැබිණි.1957 අගෝස්තු මාසයේදී මන්නාරම කච්චේරියේ සිවිල් සේවා කෙඩෙට් නිලධාරී තනතුරට ඔහු අනුයුක්ත කෙරේ. අනතුරුව ඔහු දිස්ත්‍රික් පරිපාලනයේ මන්නාරම, අනුරාධපුර, කෑගල්ල, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල ජනප්‍රිය දිසාපතිවරයෙකු ලෙස සේවය කළේය. ඔහු රත්නපුර දිසාපති ලෙසින් රාජකාරියේ නියුක්තව සිටිඅවදියේ ,1967 ජුනි 29 වන දින විවහප්‍රප්ත විය. ඔහු අතිනත ගත් මනාලිය  ඉන්දුමතී වික්‍රමසිංහ මෙනෙවියයි.

Leel Gunasekara

“මගෙ  පුතු ලීල්  ගුණසේකර දිසාපති
අතිනත ගත් මනාලිය ප්‍රිය ඉන්දුමති
ගෙදරට එන දවස හවසට   යෙදී ඇතී
උළෙලට ඇරයුමයි ඔබ හට සිතින් බැතී “

තම විවාහ මංගල්‍යයේදී ,නිවසට  ඇරයුම් කිරීමේ ඉහත සදහන් ආරාධනා පත්‍රය සැකසුවේ තම මෑණියන් විසින් බව එතුමා වරක් අප හා පැවසීය. විපුලී සහ මංජුලා නමින්වූ සෙනෙහෙබර දියණියන්  දෙදෙනා, ඔවුනගේ යුග දිවිය ආලෝකමත් කළහ.

leel gunasekara

සිය වැඩිමහල්   දියණිය සමග

Leel Gunasekara

සිවිල් සේවය තුළ ඔහුගේ විශේෂීකරණ ක්ෂේත්‍ර වූයේ පරිපාලනය, සමාජ සංවර්ධනය,ප්‍රතිපත්ති සම්පාදනය,සාහිත්‍ය හා සංස්කෘතික කටයුතු සැලසුම් කිරීම,සමාජීය වශයෙන් අවදානමට ලක්විය හැකි කණ්ඩායම්හී ප්‍රජා සංවර්ධනයයි.

ලංකා සිවිල් සේවයේ පළමු පන්තියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස ලීල් ගුණසේකර මහතා ආරක්ෂක, විදේශ කටයුතු, යෞවන කටයුතු, සංස්කෘතික කටයුතු සහ සමාජ සේවා වැනි ඉතා වැදගත් අමාත්‍යාංශ කිහිපයක ඉහළ මට්ටමේ තනතුරු දරා ඇත.  ශ්‍රී ලංකාව තුළ ගුණසේකර මහතාට පැවරී ඉහළම වගකීම වුයේ,අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජයේ අමාත්‍ය මණ්ඩලයේ ලේකම් ධූරයයි. එහිදී 1971 කැරැල්ලට සම්බන්ධ වූ තරුණ තරුණියන් 20,000කට ආසන්න පිරිසක් පුනරුත්ථාපනය කිරීම පිණිස  ඔහු.අද්විතීය දායකත්වයක් ලබා දුන් අයුරු අපට සිහිපත්වේ.

leel gunasekara

රටේ නීතිය හා සාමය නැති වූ අවස්ථාවක, එවකට පොලිස්පතිව සිටි ස්ටැන්ලි සේනානායක මහතා විදේශ ගතවසිටි කාලය තුළ ,සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය, ලීල් ගුණසේකර මහතා  පොලිස්පතිවරයා ලෙස පත් කළාය.ලීල් ගුණසේකර හුදු  විශිෂ්ට රාජ්‍ය සේවකයෙකු  පමණක් නොවේ. ඔහු සාහිත්‍ය, සංස්කෘතික,සමාජ සේවා නවෝදයක් උදෙසා මෙන් ම ජන  වාර්ගික සංහිදියාව ස්ථාපිත කිරීම වෙනුවෙන් සුවිසල් මෙහෙවරක් ඉටු කළ ජාතික ප්‍රතිමූර්තියක් සේ ඇගයුමට බදුන්වේ.

1967 සිට ප්‍රධාන ජනවාර්ගික කණ්ඩායම් දෙක එක්සත් කිරීම සඳහා දෙමළ ලේඛකයින්=ද ඇතුළත් සිංහල ලේඛක සංවිධානය පිහිටුවා සිංහල හා දෙමළ ප්‍රජාවන් අතර වාර්ගික ධ්‍රැවීයතාව යම් දුරකට සමනය කිරීමට ඔහුට හැකි විය.සමාජ සේවා අධ්‍යක්ෂවරයා ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලීල් ගුණසේකර මහතා 1982 වසරේ වියානානුවර පැවති එක්සත් ජාතීන්ගේ වයස්ගත වීම පිළිබඳ ලෝක සමුළුවට සහභාගී විය. ඔහු උත්කෘෂ්ට කථිකයෙක් ලෙසින් දේශීය හා ජාත්‍යන්තරව මහත් සම්භාවනාවට පාත්‍රවූ වියතෙකි. ගැටලුවක් විශ්ලේෂණාත්මක දෘෂ්ටිකෝණයකින් බැලීමට සහ පැහැදිලි කිරීමට අපුර්වතම කුසලතාවයක් නිසගයෙන් ම ඔහු සතුව පැවතිණි.

වසර 50 ක අඛණ්ඩ සංස්කෘතික සේවය වෙනුවෙන් දේශනේත්‍රු රාජ්‍ය සම්මානය,ක්‍රියාකාරී ජ්‍යෙෂ්ට පුරවැසියා සඳහා වූ ජනාධිපති සම්මානය, සර්වෝදය ජාතික සම්මානය වැනි සම්මාන කිහිපයකින් ඔහු ගෞරවයපාත්‍ර වී ඇත.

කීර්තිමත් ලේඛකයෙක් ලෙස ඔහු නවකතා තුනක්, කෙටිකතා එකතුවක්, කාව්‍ය සංග්‍රහයක් සහ ළමා පොත් හතක්,පර්යේෂණ අධ්‍යයන වාර්තා රාශියක්  රචනා කර ඇත.උතුරු මැද පළාතේ ගැමි ජනතාව පිළිබඳ සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක් වන ‘පෙත්සම’ නවකතාව ඔහුගේ ප්‍රථම ප්‍රබන්ධ කෘතියවේ.

“රජ රට වැසියාට සොබා දහම සැපට වඩා දුක ගෙනදේ, වතුර ලැබුනොත් ඔවුන්ගේ කෙත් සරුවේ. පරිසරය පාලනය කර ගැනීමට ශක්තියක් ඔවුන්ට නොමැත.සොබා දහමෙන් මෙන්ම  සමාජයෙන් ද ඔවුන්ට නොයෙක් ගැහටවිදින්නට සිදුවේ ඒ සමාජයේ ගැමි දරුවකු මගින් පොදු චරිතයක් ඇසුරෙන් මේ කතාව කියවේ.” පෙත්සම පෙර වදනින් ලීල් මෙසේ  කතාවේ තේමාව හකුළුවා දක්වයි. පෙත්සම කතාව අවසානයේ ලීල් විසින් ජන කවි ආරට සමීප වෙමින් පබැදු  කව්‍යාවලියෙන් ඔහු හද පෙළූ ගැමියාගේ අනන්ත අසරණ  දුගී දිවි පෙවෙත ද කදිමට  මුර්තිමත්වේ.

‘වැස්සක් ආවත් දුක පැමිණෙනවා
නියගක් ආවත් දුක පැමිණෙනවා
අලියෙක් පැන්නත් දුක පැමිණෙනවා
දුප්පත් අපටම දුක පැමිණෙනවා
උඩ බැලුවොත් නිල් අහස පෙනෙන්නේ
බිම බැලුවොත් මහා පොළව තිබෙන්නේ
මේ දෙක අතරෙය අප තෙරපෙන්නේ
අයියන  දෙවියනි ඇයි නොබලන්නේ

මෙවන් අනන්ත අසරණ දිවි පෙවෙතකට උරුමකම් පෑ  ගැමියන්ට ලීල් ගුණසේකර මානව හිතවාදී දිසාපතිවරයා,ඔවුනගේ ලතැවුල් පිස දමන සිහිල් පවනක් වන්නට ඇතැයි  උපකල්පනයවේ.  1962 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන  උළෙලේදී පෙත්සම  නව කතාව ගෞරවනීය ජාතික රාජ්‍ය සම්මානය දිනා ගැනීමට සමත් විය.

Leel Gunasekara

ලීල් ගේ දෙවන නව කතාව “ අත්සනට” කේන්ද්‍රීය වන්නේ ගොවි ජනතාව මුහුණ දෙන භුමියේ ඉඩම් හා සබැදි ගැටලුය. මෙම කතාවේ සන්දර්භය සරළ ස්වරුපයෙන් විකාශනයවේ. මෙම නව කතාවේ එන, වියලි කලාපයේ ගැමියන්ගේ වහරින්  ආභාෂය ලත් යෙදුම් හා උපමා සහෘදයාට සිහි ගන්වන්නේ සද්ධර්ම රතනාවලියේ  කතුවරයාගේ උපමා උපමේයන්ය. මං නැතිදා ඔහු අතින් නිර්මාණිත තෙවන නව කතාවයි. අනතුරුව ඔහු සාහිත්‍ය මං තලාවට එක් කරන්නේ කෙටි කතා සංග්‍රහයකි. “ඉර හද කොඩියට අධිපති පෙදෙසේ “නම්වූ එම කෙටිකථා සංග්‍රහයෙහි එනකථා වලින්, ගැමි සමාජයෙහි විවිධ පුද්ගලයින්ගේ සංකීර්ණ චරිත ලක්ෂණ කදිමට නිරූපිතය.ඔහු විසින් ලියනලද“බුහුටිගේ නෑයෝ “ළමා සිත් තුළ කරුණාව,දයාව වඩන  සුළු , ළමුන් වෙනුවෙන් ම නිර්මිත කෘතියක් ලෙසින් අගය කළ හැකිය. ”ත්‍රීකෝණ අරගලය “  ලීල් ගුණසේකර ශුරීන් අතින් නිර්මිත, ඔහුගේ  ප්‍රතිභාපුර්ණ  කවීත්වය මැනවින් ඉස්මතු වන කාව්‍ය  සංග්‍රහයකි.

Leel Gunasekara

රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු දැරූ කීර්තිමත් තනතුරු රැසක් අතරින් හෙල්ප්ඒජ් ශ්‍රී ලංකා ආයතනයේ ඔහු දැරූ ජාතික අධ්‍යක්ෂ තනතුර පිළිබදව විශේෂයෙන් සඳහන් කළ යුතුය.හෙල්ප්ඒජ් ආයතනය ඵලදායී ලෙස ක්‍රියාත්මක වන සේවා නැඹුරු ගෞරවනීය ආයතනයක් බවට පත් කිරීමට ඔහු සුවිසල් කාර්ය භාරයක් ඉටු කළේය.
ඔහු සිවිල් සේවයට ඇතුළත්වූ මුල් යුගයේ දිසාපති තනතුර හෙබවූ අනුරාධපුරයට සිය විශ්‍රාමික දිවියේදී යළි  පා තබන්නට ඔහුට දෛවය  විසින් යළි අවස්ථාවක්  ලබාදුන් සෙයක් හැගේ.ඒ  රජ රට  විශ්වවිද්‍යාලයේ  කුලපති ධුරයෙන් ඔහු පිදුම් ලැබීම නිසාය.මහලු විය හා වයස්ගත වීම හා සම්බන්ධ අධ්‍යයනය සේ සැලකෙන වයෝවෘද්ධ විද්‍යාව ඔහු වඩාත්ම ඇළුම් කළ  විෂය ක්ෂේස්ත්‍රය සේ සැලකේ.ඔහු සිය 73 හැවිරිදි වියේ දී (2005 දී )ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන්  වයෝවෘද්ධ විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය දිනා ගත්තේ ,ඉගෙනීමට වියපත් බව බාධාවක් නොවන බැව් සනාථ කරවමිණි.

කාර්ය කෞශල්‍යය සහ ජන මෙහෙවර තුළින්  තම තනතුර බැබලවූ, පරිකල්පන ප්‍රතිභාවයෙන් සිංහල සාහිත්‍ය වංශයේ  නොමියෙන සලකුණු තැබූ ලීල් ගුණසේකර ජේෂ්ඨ වියතාණන්ට දිගාසිරි පැතුම්.

ආචාර්ය ගාමිණී කාරියවසම්

gaminee@gmail.com

 

ලීල් ගුණසේකර වත 

ආචාර්ය ලීල් ගුනසේකරයන් ශිල්ප හැදෑරූ පේරාදෙණි සරසවිය පිලිබදව මතකය අවදිකරමින්

Comments are closed.