ආචාර්ය පරාක්‍රම බණ්ඩාර ඒකනායක-පරිපාලන සේවයේ ප්‍රවීනයෙක් දිවි සැරියෙන් සමු ගනී-by Gamini Kariyawasam


මහනුවර සහ කුරුණෑගල මහා දිසාපති ධුරය හොඔවමින් ,වසර ගණනාවක් එම ප්‍රදේශයන්ගේ ජනතා සුබ සෙත වෙනුවෙන් අනල්ප මෙහෙවරක් ඉටුකළ ආචාර්ය පරාක්‍රම බණ්ඩාර ඒකනායක මහතා නොබෝදා අභාවප්‍රාප්ත විය.
1949 වසරේ සැප්තැම්බර් 19 වන දින කෑගල්ලේ එලගල්ල ග්‍රාමයේ එතුමා ජන්ම ලාභය ලැබීය.එලගල්ල ප්‍රාථමික විද්‍යාලයෙන් සහ කෑගල්ල ශාන්ත මේරි විද්‍යාලයෙන්, පරාක්‍රම සිප් සතර හදාළේය. අනතුරුව හෙතෙම 1967 වසරේ පේරාදෙණි සරසවි වරම් හිමිකර ගනී.ඔහු පේරාදෙණී සරසවියෙන්,භූගෝල විද්‍යාව පිලිබදව විශේෂ ශාස්ත්‍රවේදී උපාධිය හිමිකර ගැනීමට සමත්විය.උසස් අධ්‍යාපනය කෙරෙහි ඇලුණු,බැදුණු පරාක්‍රම ශාස්ත්‍රවේදී උපාධිය හමුවේ නොනැවතී,ආචාර්ය උපාධිය ද ලබා ගැනීමේ අපේක්ෂාව ද සපත කර ගත්තේය.
ඔහු හාපුරා සිය ජීවන වෘත්තීය අරඹන්නේ මහජන බැංකු ආයතනයෙනි.විභාග ජය ගැනීමේ සමතෙක්වූ ඔහු, පසු කාලයේ ශ්‍රීලංකා පරිපාලන සේවා තරග විභාගයෙන් සමත් වන්නේ වාර්තා තබමිනි.ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන අභ්‍යාස ආයතනයෙන් ලද පුහුණුවෙන් අනතුරුව හෙතෙම දකුණු පළාතේ සහකාර මැතිවරණ කොමසාරිස් ලෙසින් රාජකාරි ඉටු කළේය.
1995 වසරේ කුරුනෑගල මහා දිසාපති තනතුරට පත්වන හෙතෙම, ප්‍රදේශයේ වාරි කර්මාන්ත සංවර්ධනය කෙරෙහි ප්‍රමුඛත්වය ලබා දුන්නේය.පරාක්‍රම මහනුවර මහා දිසාපති නිලයට පත්වන්නේ 2000 වසරේදීය.ශ්‍රී දළදා මාලිගාවේ සංවර්ධනය වෙනුවෙන් මෙන් ම මල්වතු අස්ගිරි උභය විහාරයන්ගේ අවශ්‍යතා සපුරා දීමට හෙතෙම සුවිශේෂී උනන්දුවකින් කටයුතු කළේය.
පරාක්‍රම ඒකනායක මහතා,2002 වසරේදී සුරා බදු කොමසාරිස් ලෙසින් වැඩ භාර ගති. 2009 වසරේ සැප්තැම්බර් 19 දින ඔහු රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබීය.ඒ වන විට ඔහු රාජකාරියෙහි නිරතව සිටියේ ,වැවිලි කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙසිනි.
මේ මොහොතේ මගේ මතකය ,වසර දශක කිහිපයක් ඈතට පිහියඹා යන සෙයක් හැගේ
එතුමා කුරුණෑගල දිසාපති ලෙස සේවය කළ කාලයේ වාස භවනයවූ ,රන් තාලිය වැව් තෙර නිල නිවාසය ට පැමිණෙන ලෙසට සවස් කාලයේ ඇරයුම් ලබන අප නිතරම සතුටින් හා විනෝදයෙන් කාලය ගෙවූ අතර එබදු සාද වලදී ගීත ගායනා හා හිටිවන කවි කීම පුරුද්දක් විය.


ගෙමිදුලේ,රන් තාලිය වැව් දිය පිස හැමු මදනලින් පමණක් නොව අප අත රැදී මදු විතින් ද ප්‍රමුදිතව සිටි පිරිසේ ගැවසුණු,එවකට ( !998 අගෝස්තු) කුරුණෑගල අතිරේක දිසාපති ලෙස සේවය කළ මහින්ද මොරගොල්ල පරිපාලන සේවා සහෘද කවින්ද්‍රයා තෙපළු මනෝ රම්‍ය පැදි කිහිපයක් ද පහතින් සනිටුහන් කරන්නේ,අද අප අතර නැති පරාක්‍රම සුමිතුරානන්ගේ නිරහංකාර රුප කාය ලෙන්ගතුව සිහිපත් කරමිනි.
අහංකාර ගති කිසිවක් හදෙහි නැති
ඔබ ගැන සැවොම ආදරයෙන් කතා වෙති
පැරකුම් බංඩාර විලසට නම් පැවති
ඇතුගල්පුර ට එතුමා මහ දිසාපති
ගතිගුණ දකිමි හැමවිට නිරහංකාර
ගිය ගිය හැම තැනම එම වැඩයට සූර
පෙන්වා දෙන්න අප හට යායුතු පාර
රටටම වස්තුව ක් පැරකුම් බංඩාර

ආචාර්ය පරාක්‍රම ඒකනායක මහතාගේ අභාවයෙන් , ඔහු බිරිද ස්වර්ණා ඒකනායක , ධම්මික ,අනුරාධ යන දෙපුතුන් සහ ඔහුගේ සමකාලීන මිතුරු කැළ ඉමහත් ශෝකයට පත්ව සිටිති.
අභාවප්‍රාප්ත පරාක්‍රම බණ්ඩාර ඒකනායක සහෘදයාට ,අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
ආචාර්ය ගාමිණී කාරියවසම්.

