ජපන් සංස්කෘතියේ අනන්‍යතාව – ගීෂා ළදුන් – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ජපන් සංස්කෘතියෙහි සජීවී සංකේතයක් ලෙස සැලකිය හැකි ගීෂාවන් පිලිබදව කලකට ඉහත , ජපානයේ සරද්දී මවිසින් සියැසින් ස්පර්ශිත තොරතුරු සමුදායක් මගේ මතකයට නැගිණි.
සෑම වසරකම මැදභාගයට ආසන්නව එළඹෙන වසන්ත සමය, ජපානයට ගෙන එන්නේ අති ප්‍රබෝධමත් අසිරිමත් කාල පරිච්ඡේදයකි. වසර කිහිපයකට පෙර එවන් අසිරිමත් සමයක ජපානයේ කියොතෝහි ගීෂා ගම්මානයක් වන හනාමචි ( මලින් ගැවසී නගරය ) වෙත පිවිසීමට අපට අවස්ථාවක් උදා විය.එම අවස්ථාවේ නෙතින් ස්පර්ශ කළ,සවනින් අසා සිතින් ග්‍රහණය කළ අතීත ස්මරණයන් සජීවීමත් කරන්නට ගත් ප්‍රයත්නයක් ලෙසින් මෙම ලිපිය සැකසිණි.
ගීෂා සුන්දර යුවතියන් මෙම මල් ගම්මානයේ පමණක් නොව,මුළු මහත් ජපානයෙහිම ජීවමාන ප්‍රතිරූපය බැව් මෙහිදී විශේෂයෙන් සනිටුහන් කිරීම යෝග්‍යවේ.
ජපාන සංස්කෘතිය තුළ ගීෂාගේ භූමිකාව වසර සිය ගණනක් තිස්සේ විකාශනය වී ඇති අතර,වර්තමානයේ ගීෂා ජීවන රටාව සුවිශේෂී සංස්කෘතියක් බවට පත්ව ඇත .
කියොතෝහි ගීෂා ගම්මානයක් වන හනාමචි
( මලින් ගැවසී නගරය )
හනා
ගීෂා ගම්මානය මැදින් ගලා බස්නා කමෝ
ගංගාව
මුළු පරිසරය සැදෑ හිරු කිරණින් වර්ණවත් වී තිබූ නිමේෂයකි.ගම්මානයේ “ඔකියා” වෙතින් ගීෂා ලදුන් යුහුසුළු ගමනින් ගං තීරයේ පිහිටි රංග මණ්ඩපයට පියමන් කරනු අප දුටිමු. ගීෂා ළදුන් ගේ නිවාස හැදින්වෙන්නේ “ඔකියා”යන ජපන් වදනෙනි. මද වෙලාවකින් ගීෂා ලලනාවන්ගේ සම්ප්‍රදායික රැගුම් ආරම්භ වුයේ ,ප්‍රසංගය මෙහෙයවන ජේෂ්ඨ ගීෂාවකගේ හදුන්වා දීමේ ගීතාත්මක වදන් වැලකට අනතුරුවය. ආරම්භක වාද්‍ය වෘන්දයෙන් පසුව රූමත් යොවුන් ගීෂා යුවතියන් පිරිසක්කරලියට පිවිසියේ අමුත්තන්ගේ අත්පොලසන් නාදය මධ්‍යයේය. ඔවුහු නන් වන් පැහැ ආකර්ශනීය කිමෝනා ඇදුමින් සැරසී සිටියහ.
සොදුරු මුදු
හදවත නිපන්
මිහිරි ගැයුමන්
සකුරා සුවද
මුසුවී
හමා යයි
දසත
දුර සිටින
ඔබ උවන
ආගන්තුක මුහුණුමත
දිස්වේ
මහද නතරවේ
ඒ ඔබම නොවන බව
පසක්වූ සද
ගයන්නෙමි
නිබදවම
හිරු අබියස
අදුරු සෙවනැලිය
සදු අබියස මැවෙන්නේ
සොදුරු සෙවනැලිය
ඒ , ලලනා ලාලිත්‍යයෙන් අනූන ගීෂා ළදුන් ,සිය සුරත රැදි අවන් පත් , වැයෙන සංගීත රිද්මයට ලෙළවමින් ,උකුල් තල සලමින්, සිය දෑස බිගු කැළුම් ව්හිදුවමින් ආගන්තුක සහෘදයන් උන්මාදයට පත් කරමින් ගැයූ ගීතයක අරුතය. ජපන් බසින් ගැයුණු තත් ගීතයේ අරුත,මා ඉහත සටහන්කි රීමට ග්‍රහණය කර ගත්තේ , මෙම ගීෂා ගම්මානය වෙත මා කැදවා ගෙන ගිය මගේ ජපන් ජාතික මිත්‍ර යොශිනොරි කුසේ සන් විසින් කරනු ලැබුණු පැහැදිලි කිරීම තුළිණි.
ගීෂා ගම්මානය
එම ගමනේදී ගීෂා ළදුන් පිලිබදව තොරතුරු දැන ගන්නට මා සිත්හි පැවති කුහුළ අවබෝධ කර ගත්,ජපන් සමාජය පිළිබදව පුළුල් අවබෝධයකින් යුක්ත මගේ මිතුරා , ගීෂා සංස්කෘතිය පිලිබදව තොරතුරු සමුදායකින්,මගේ දැනුම පුළුල් කළ අයුරු මෙහිදී සිහිපත් කරන්නේ නොමද කෘතවෙදීත්වයෙනි. ගීෂාවන් සිය රංගනයේදී උපයෝගී කර ගන්නා විවිධත්වයෙන් යුතු මෙම ගීත සම්ප්‍රදාය හැදින්වෙන්නේ “ කොතෝ “යනුවෙනි. එහි අරුත ඉතා සරල කෙටි කාව්‍යොක්තිය යන්නයි.
කොතෝ ගීත සම්ප්‍රදායේ මිහිරියාව ,පහත යොමුවෙන් ඔබට ද රසාස්වාදනය කල හැකිය.
ගීෂාවන් විසින් වසර පුරා රංගන රාශියක් සංවිධානයෙන් සැලකිය යුතු ආදායමක් උපයා ගනිති. මෙම රංගන අතරින් අප්‍රේල් මාසයේ දී පැවැත්වෙන මියාකෝ-ඔඩෝරි නොහොත් “චෙරි මල් නැටුම” බෙහෙවින්ම ජනප්‍රිය ආකර්ශනීය රංගනයක් සේ සැළකේ.
මීට අමතරව ගීෂාවන් උත්සව හා රාත්‍රී භෝජන සංග්‍රහ සඳහා නැටුමින්,ගැයුමෙන් විනෝදාස්වාදය සැපයීම සදහා සහභාගී වෙති.
ගීෂා යන්නෙන් ජපන් බසින් ගම්‍ය වන්නේ නර්තන දැරිය යන්නයි. ගීෂා බොහෝ විට ඔවුන්ගේ පුහුණුවේ මුල් අවධීන් ආරම්භ කළේ ඉතා කුඩා අවධියේදීය.
පුහුණුව වන ගීෂා මයිකෝ ලෙසින්ද ,අවුරුදු හතරක් හෝ පහක පුහුණුවක් ලද විට, තරුණිය ගයිකෝ ලෙසින් ද හැදින්වේ.මයිකෝ රතු කොලර් සහිත කිමෝනෝවකින් සැරසීමත් ගයිකෝ සුදුපැහැ කොලරයක් සහිත කිමෝනාවකින් සැරසීමත් , අතීතයේ පටන් පැවත එන පිළිවෙතකි. . මයිකෝ බොහෝ විට දිගු අත් සහිත කිමෝනෝ පැළඳ සිටින අතර, ගයිකෝ සාමාන්‍යයෙන් කෙටි අත් සහිත කිමෝනාවන් පැළඳ සිටිති.
හනාමිචි ගීෂා ගම්මානයේ එම යුවතියන් පුහුණු කිරීම පිණිස ශිල්ප ශාලිකා පහක් පවත්වා ගෙන යනු ලැබේ. ගමේ පාසලේ ද්වීතීය අධ්‍යාපනය මැනවින් සම්පුර්ණ කරන සිසුවියන්ට පමණක් පුහණු ශිල්ප ශාලිකාවකට පිවිසීමට අවස්ථාව හිමිවේ.
ගීෂා යුවතියන්ගේ කැපී පෙනෙන අංගයක් වන්නේ මුහුණේ සුදු පැහැති වේශ නිරූපණය සහ චෙරි පැහැ තොල් සහිත පෙනුමයි.මීට අමතරව ගීෂා සම්ප්‍රදායික ඇදුම් කට්ටලයට විසිතුරු කිමෝනාව , කොණ්ඩා මෝස්තර, කන්සාෂි ලෙස හැඳින්වෙන අලංකාර හිසකෙස් ආභරණය,සහ සම්ප්‍රදායික වේශ නිරූපණය ඇතුළත් වේ. කිමෝනාවේ පිටුපස ඕබි නොහොත් පිරුණු ගමන් මල්ලක ස්වරූපයේ සැරසිල්ලකි.
ආකර්ශනීය පෙනුමට අමතරව, ජපානයේ ගීෂා එතරම් ප්‍රසිද්ධියට පත්වීමට එක් හේතුවක් වන්නේ සාම්ප්‍රදායික කලාව පිළිබඳ ඔවුන්ගේ දැනුමයි.
සාමාන්‍යයෙන්ගී ෂාවන් සාම්ප්‍රදායික ජපන් නැටුම් ගායනය සාහිත්‍යය කවි නිර්මාණය මල් සැකසීම සහ සාම්ප්‍රදායික සංගීත භාණ්ඩ වාදනය කිරීම වැනි කලාවන් කිහිපයක ප්‍රවීණයෙකු වීම අත්‍යාවශ්‍යවේ. ගීෂා කලාව තුළින්විනෝදාස්වා යට අමතරව සංවාද කලාව පිළිබඳව මෙන්ම සම්ප්‍රදායික තේපැන් සාදය පැවැත්වීම පිලිබදව ද මනා දැනුමක් ආධුනික ලයේදී ඔවුන් විසින් අනිවාර්යයෙන් ම ප්‍රගුණ කළ යුතුවේ.
ගීෂාගේ නැටුම් විලාසය සාම්ප්‍රදායික ජපන් නාට්‍ය කලාවට බලපෑම් කළ අතර සෑම නර්තනයකින් හා චලනයකින් ම කිසියම් ජන වෘත්තාන්තයක කොටසක් ප්‍රකාශිතය.
හනාමිචි ගම්මානයේදී අපට ගීෂා විසින් මෙහෙයවනු ලබන ජපන් සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහයට සහභගී වීමේ අවස්ථාව ද උදා විය.
ගීෂා ලදුන්ගේ ජපන් තේ උත්සව කලාව
ජපන් සංස්කෘතිහි තේ උත්සවයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි.තේ පිළියෙළ කිරීම සහ පානය කිරීම යනු එදිනෙදා ජීවිතයේ ගැටලු අමතක කරවන සුළු මොහොත සේ සැලකේ.තේ පානයෙහි නියැළීමට අවස්ථාව සැලසීමෙන්සහභාගිවන්නන් සිත් සතන්හී උපශාන්ත සන්සුන් භාවයක් මෙන්ම මානසික සමබරතාවය ගෙන දෙන භාවනා ක්‍රියවලියකට පිවිසීමක්සේ ඔවුන් තුළ විශ්වාසයක් පවතී .
ගීෂාවන්ගේ මෙම අපුර්ව උත්සවයේදී අපට සාම්ප්‍රදායික ජපන් ආගන්තුක සත්කාරය භුක්ති විඳීමට සහ ජපන් ජීවන දර්ශනය පසක් කර ගැනීමට කදිම අවස්ථාවක් උදාවිය ජපන් භාෂාවෙන් තේ පිළියෙල කිරීම හා පිළිගැන්වීමේ චාරිත්‍රය සාඩේ හෝ චැඩේ ලෙස හැඳින්වේ . මෙහිදී තේ හැදින්වෙන්නේ ඕචා යන වදනෙනි .
අපතේසාදය සංවිධානය කර තිබු කුටියේ පිව්සුම් දොර අසලට පැමිණි මොහොතේ ගීෂා යුවතියන් දෙපලක් හිස නමා ආචාර කර ඔවුන්ගේ
නිහතමානිකම හා ගෞරවය පළ කරනු ලැබිණි . අනතුරුව ඔවුහු අමුත්තන්ට විශේෂයෙන් සකස් රන ලද කුෂන් දෙසට අත යොමු කරමින් ,” ස්වත්තේ කුදාසයි “ යනුවෙන් පවසමින් අසුන් ගන්නා ලෙස දැන්වූහ.
ජපන් තේ උත්සවය පියවර කිහිපයකින් සමන්විත වෙයි.උඳුනෙනහි ගිනි මොලවා වතුර උණුකර තේ පිළියෙළ කර අමුත්තන්ට පිළිගැන්වීම දක්වා කාර්ය දාමය ගීෂා යුවතිය අතින් සිදු වනුයේ කිසියම් සන්සුන් ඉරියවු සහිත පිළිවෙතකට අනුගතවය.
ගීෂා වෘත්තිය ඇතැම් බටහිර රටවල ගණිකා වෘත්තිය සමඟ සම්බන්ධ වී ඇත . එනමුදු ජපානයේ සම්ප්‍රදායික ගීෂා කිසි විටෙකත් ගණිකා වෘත්තියේ නොයෙදුණු අතර , ඔවුහු සාම්ප්‍රදායික ජපන් කලාවන්හි විශිෂ්ටත්වය තුළින් ප්‍රේක්ෂකයින් වින්දනයට පත් කරවන සංස්කෘතිමය ප්‍රවාහයක්වූ බැව් සදහන් කළ යුතුය.
කිසියම් දිනක ජපානයේ ගීෂා යුවතියක් නෙත ගැටුණු කවර පුද්ගලයෙක් තුළ වුවද , එම ළදුන් ගේ සුරූපී තාවය,ලලනා ලාලිත්‍ය, නෙතග කැළුමන්, සංයමයෙන් පිරිපුන් ඇවතුම් පැවතුම්, විසිතුරු කිමෝනා ඇදුම් කට්ටලයෙන් මතුවන සාම්ප්‍රදායික රම්‍යතාව මුළුමහත් ජීවිත කාලයටම අමතක නොවන සුළුය.
1968 දී සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය දිනාගත් ජපන් කතුවර යසුනාරි කවාබතාගේ “යුකිගුවානි “(හිම දේශය)නව කතාවෙහි කේන්ද්‍රීය චරිතය වන ෂිමාමුරා නමැති ධනවත් ,වියපත් ව්‍යාපාරිකයාගේ මනෝභාවයන් යෝකෝ නම් සුරූපී ගීෂා තරුණිය ඇසුරින් උන්මාදයට පත්වූ අයුරු ඉහත නිගමනය මැනවින් තහවුරු කරවන සුළුය.
ආචාර්ය ගාමිණී කාරියවසම්.
gaminee@ gmail.com
පහත යොමු වෙත පිවිසීමෙන් ඔබට ජපන් ගීෂා ළදුන්ගේ සජීවී රැගුම් දැකගත හැකිය